‘සාකච්ඡාවට එන්න’ ඩයස්පෝරාවට ජනපති කියයි! – එජාප මහලේකම් හමුවේ ජනපති සහතික වෙයි – රඳවා සිටින ද්‍රවිඩ තරුණයන්ට ජනපති සමාව දෙන්න සුදානම්

494

* පොරොන්දු ඉටුකිරීමට කොවිඩ් බාධාවක් වුණා

 * බෙදුම්වාදය නැතත් අන්තවාදය ගැන පරීක්‍ෂාව අවශ්‍යයි

 අභ්‍යන්තර යාන්ත‍්‍රණයකින් ගැටලූ විසඳා ගැනීම සඳහා සාකච්ඡාවකට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ජනපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඇරයුම් කර ඇත. ජනපතිවරයා මේ කරුණු අනාවරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා පෙරේදා (19 දා) පස්වරුවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී හමුවූ අවස්ථාවේදීය.

 මේ සාකච්ඡාව සම්බන්ධව ජනපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව මෙසේය.

 ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ‍්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම`ග පැවසීය.

 පෙරේදා (19 දා) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

 එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල කළ සංචාරයන් හා ශ‍්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවධි කළේය.

 එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් ලෙස ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ. වසර 30 කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ‍්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්‍ෂා කරන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සමග සාකච්ඡුා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ෙඡ්දයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහ ලේකම් ධුරයට පත්වීම පිළිබඳව සිය සුභාශිංසන ඔහු වෙත පිරිනැමීය.

 කුඩා ආර්ථිකයක් ඇති ශ‍්‍රී ලංකාව වැනි රටක් කොවිඞ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් කළේය. කොවිඞ් වසංගතය හමුවේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.

 මේ වන විට සමස්ත ජනගහනයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15 ට වැඩි සියලූ දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරීමට සියලූ කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.

 එන්නත්කරණයේදී ශ‍්‍රී ලංකාව අත්කරගෙන ඇති ප‍්‍රගතිය මෙහිදී මහ ලේකම්වරයාගේ ප‍්‍රශංසාවට ලක් විය.

 2019 වසරේ දී ජනාධිපති ධුරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඞ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම තත්ත්වය හමුවේ වුවද වසර 30 කට අධික කාලයක් පැවති ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප‍්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ද සවිස්තරාත්මකව පැහැදිළි කළේය.

 වින්දිතයන්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභා සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.

 අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගනනා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහලේකම්වරයා සමග පැවසීය.

 ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයන් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත්, දිගු කලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍යය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැළිකෙන බවත් පැවසීය.

 ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙර මෙන් බැටන් ප‍්‍රහාර, ජල ප‍්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරය ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැහැදිළි කරනු ලැබීය.

 ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලූ රටේ අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත් ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡුා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

 එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සෑමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ‍්‍රී ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත් ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ‍්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරික්‍ෂාකාරී විය යුතු බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment