සීනි බදුවලින් ගහපු සල්ලි ආපසු ගන්න හදයි – ක්‍රම සහ විධි කාරක සභාවෙන් උපදෙස්

144

සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත් රටට බදු මුදල් අහිමිවීමත් පිළිබඳ අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදෙන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව (15 දා) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුවූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

2020 ඔක්තෝබර් මස සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් ආනයන සමාගම් බිලියන 16 කට ආසන්න විශාල අනීතික ලාභයක් ලබා ඇති බවත් ඒ සම්බන්ධ විගණන වාර්තාවක් මගින් පෙන්වාදී ඇති බවත් ඊට අදාළ සමාගම් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදුකොට දේශීය ආදායම් පනත අනුව නිසි බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් මෙම කාරක සභාව ඉල්ලා සිටියේය.

එසේම මෙරටට තිරිඟු ආනයනය කොට පිටි සකස්කරන ප්‍රධාන සමාගම් දෙකට හැර අනෙක් සමාගම්වලට තිරිඟු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කිරීම නිසා පිටි නිෂ්පාදනය කළ ප්‍රධාන සමාගම් දෙකක් විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කරගත් බව සභාපතිවරයා කීවේය. අනතුරුව මාස කිහිපයකින් තිරිඟු පිටි සඳහා රු. 16 ක බද්දක් පැනවීමත් එමඟින් එම සමාගම් ද්විත්වය විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරට ජනතාවට හිමිවිය යුතු බදු සහනයන් නොලැබී යන බවත් ඒ මහතා පැවසීය.

තවද පසුගිය නොවැම්බර් 1 දින සීනි බදු වැඩි කිරීමට පෙර ඊට ආසන්නම කාලයේදී එනම් 2023 ඔක්තෝබර් අග පමණ වන විට අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8500 ක් පමණ ආයනයනය කොට ඇති බවත් ඉන්පසු සීනි බදු රු. 50 දක්වා වැඩිවීම සිදුවී ඇති බවත් සභාපතිවරයා කීවේය. සාමාන්‍යයෙන් මාසයකදී සීනි ගෙන්වා ඇත්තේ ටොන් 2000 ක ප්‍රමාණයක් වුවද බදු වැඩි කිරීමට ආසන්න කාලයේදී මෙසේ අසාමාන්‍ය ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ බදු වැඩිවන බවට තොරතුරු ආනයනකරුවන්ට ලැබීම නිසා බවට සාධාරණ සැකයක් මතුවන බවත් මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ අනුව මේ සම්බන්ධව අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබාගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අයකර ගන්නා ලෙස නිර්දේශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment