ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 13ක් මරුට

242

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් පලස්තීනයට අයත් ගාසා තීරයට ඊයේ (09දා) අලුයම එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ කණ්ඩායමේ අණදෙන නිලධාරීන් තිදෙනකු ඇතුළු පලස්තීන ජාතිකයන් 13 දෙනකු මිය ගොස් තවත් 20 දෙනකු තුවාල ලබා තිබේ.

ඊශ්‍රායලය විසින් එල්ල කර ඇති මෙම ගුවන් ප්‍රහාරය ඉකුත් අගෝස්තු මාසයේ ඊශ්‍රායල හමුදාවන් හා ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ කණ්ඩායම අතර තෙදිනක් මුළුල්ලේ පැවති සටන්වලින් පසු හටගත් දරුණුම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර කාන්තාවන් 06 දෙනකු හා ළමුන් 04 දෙනකු සිටින බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් යුද ගුවන් යානා හා හෙලිකොප්ටර් 40ක් ගාසා තීරයේ පිහිටි නිවාස හා ගොඩනැගිලි ඉලක්ක කරගෙන මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඊශ්‍රායල රජය විසින් මෙම ප්‍රහාරය හඳුන්වා දී ඇත්තේ සිය රටවැසියන්ට බලවත් තර්ජනයක්ව ඇති සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගෙන දියත් කර ඇති මෙහෙයුමක් ලෙසයි. මෙම ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන බවට ඉස්ලාමීය ජිහාඩ් හා ගාසා තීරයේ සිටින සෙසු සන්නද්ධ කණ්ඩායම් විසින් තර්ජනය කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් දින ගණනක් පලස්තීන සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීම සඳහා සූදානම් වෙමින් සිටින බවද වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment