වෙරළේ සිරි නරඹන්න ගිය අක්ක නගෝ දුම්රියේ හැපෙති: නංගී මරුට අක්කටත් බරපතළයි

902

වැල්ලවත්ත වෙරළ තීරය ආසන්නයේදී එකම පවුලේ අක්කා නගෝ දෙදෙනකු ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ නංගී මරුමුවට පත්වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි. මෙම සිද්ධිය පෙරේදා (28 දා) පස්වරුවේ සිදුවී තිබේ.

මියගිය තරුණිය පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් බවද පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව, ගෝල්ඩන්වත්ත පදිංචිව සිටි මාදවන් කිරීජා නමැති 22 හැවිරිදි තරුණියකි. ඇගේ වැඩිමල් සොයුරිය වන මාදවන් මනෝජා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබයි. මියගිය තරුණියගේ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක දේශබන්දු එස්. කේ. පී. ජානක කොඩිකාර මහතා හමුවේ ඊයේ (29දා) පැවැත්විණි. අදාළ තරුණියන් දෙදෙනා වැල්ලවත්ත වෙරළ තීරය වෙත ගමන් කිරීමට දුම්රිය මාර්ගය හරහා මාරුවීමේදී කොළඹ කොටුවේ සිට අලුත්ගම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී ඇතැයි හෙළිවූ බව හදිසි මරණ පරීක්‍ෂක ජානක කොඩිකාර මහතා ‘දිවයින’ට පැවසීය. මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment