මුවාවෙන්ට ගසකුත් නැති වෙලාවේ පමාවෙලා ඇයි විසිතුන නොආවේ?

196

ලොව අනෙක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද 2022 වසර ගෙවමින් උදා වූ 2023 නව වසර පිළිගන්නා ලද්දේ නැවුම් ප්‍රබෝධයකින් හා අලුත් අපේක්‍ෂාවන්ගෙන් ද යුතුව යැයි පොදුවේ කිව හැකිය. වසරක් අවසන් වී අලුත් වසරක් ආරම්භ වීම යනු සාමාන්‍යයෙන් ජනතාව තුළ කිසියම් උත්කර්ෂයක් දනවන නිමේෂයකි. 2022 වසරේ අවසන් රාත්‍රිය වූ දෙසැම්බර් 31 වැනිදා මැදියම් රාත්‍රිය එළඹෙනතෙක්ම කොළඹ නගරයෙහි විචිත්‍ර විදුලි ආලෝක වර්ෂා විඳිමින් ජනතාව රැස්ව සිටි අයුරු සැණකෙළියක සිරි ගෙන තිබුණි. වෙනත් නගරවලද මෙබඳුම විචිත්‍රත්වයක් දැක ගත හැකි විය. මේ කෙළිලොල් මනස සාමාන්‍ය ජනයාගේ සරල ජීවන රටාව විදහාපාන්නක් ලෙස හැඳින්විය හැකිය. සත්තකින්ම වසරක් පුරා තමන් විසින් මුහුණ දෙන ලද දුක් දොම්නස් හා කටුක අත්දැකීම් මොහොතකට අමතක කරන ජනතාව තුළ අලුත් ජීවිතයක බලාපොරොත්තු පිබිදීම ඉතා අහිංසක මානසිකත්වයකි. මේ අතර අලුතෙන් ආරම්භ වන වසර දෙස බුද්ධිමය ලෙස හා ගැඹුරින් විමර්ශනය කරනු ලබන ස්වල්ප දෙනෙක් ද සිටිති. ඔවුන් බොහෝ විට කල්පනා කරන්නේ ද අලුතින් එළඹෙන වසර, ගෙවී ගිය හෙවත් අවසන් වසරට වඩා සුබදායක විය හැකිද යන්නත් තම ජීවිතය තුළ අභිනව වෙනසක් සිදුවිය හැකි ද යන්නත් පමණි.

බදාදා ලියවිල්ල තුළින් අප අපේක්‍ෂා කරන්නේ ද 2022 සිදු වූ වැරදි, අඩුලුහුඬු දැන හඳුනාගෙන එයින් මිදී 2023 රටටත් ජනතාවටත් යහපතක්, සමෘද්ධියක් උදාකර ගැනීමේ අභියෝගයට අකම්පිතව මුහුණදිය යුතු බවය. අප හිර වී සිටින අඳුරෙන් මිදී ආලෝකය වෙත ගමන් කිරීමට වුවමනා ප්‍රබුද්ධ මනසක් ද අපට තිබිය යුතුය. එසේම අපට මඟ පෙන්වන සමාජ දේශපාලන දැක්මක් සහිත නායකත්වයක් ද මෙහිදී අත්‍යවශ්‍ය වනු ඇත. වසරක් ගෙවී තවත් වසරක් උදාවීම යනු ස්වභාවික සංසිද්ධියකි. අලුත් අවුරුද්දක් යනු දින දර්ශනයෙහි අන්තිම කොලය ගලවා දැමීමෙන් පසු එහි මුලට යෑමක් ලෙස හඳුන්වන අය ද සිටිති. එය නොසිඳෙන ක්‍රියාවලියක් බව සැබෑය. දහවල් ගෙවී රාත්‍රිය එළඹී යළිත් දවස ආරම්භ වන නියත ක්‍රියාදාමයක් ලෙස ඔවුහු අලුත් වසර ද හඳුන්වති. එහෙත් ඒ ස්වභාවික ක්‍රියාදාමය පුද්ගල ජීවිතය හා සමාජය සමඟ බැඳී පවතින්නක් නිසා එයට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීම පුද්ගල සංවර්ධනයට අදාළ මූලික දෙයක් බව ද අප වටහාගත යුතුය. එනිසා එය හුදු කැලැන්ඩරයේ අන්තිම කොලය කඩා දැමීමක් පමණක් ම නොවේ. ඒ වූ කලී ගෙවී ගිය වසර සමඟ බැඳුණු හා අඛණ්ඩ වූ සිද්ධි සමුදායක ගලා යෑමක් ලෙස ද සඳහන් කළ යුත්තකි. එහෙත් එය කාලීනව මෙන්ම සංකල්පීය වශයෙන් ද ඉදිරියට යා යුතු ක්‍රියාන්විතයකි.

මුවාවෙන්ට ගසකුත් නැති වෙලාවේ පමාවෙලා ඇයි විසිතුන නොආවේ?

2022 වසර වනාහි මෙරටේ සමාජ – දේශපාලන ආර්ථික ක්‍රියාවලිය උඩුයටිකුරු කරන ලද ඓතිහාසික යුගයක සමාරම්භයකි. එය නිදහසින් පසු මෙරටේ තාරුණ්‍යය විසින් පැවති සමාජ දේශපාලනයට දක්වන ලද දැවැන්ත අභියෝගයක් බඳු විය. ප්‍රභූ දේශපාලන ආධිපත්‍යය වෙනුවට අභිනව සමාජ පරිවර්තනයක අභිලාශය ඒ තුළ ගැබ් විය. හැටනව ලක්‍ෂයක ජනවරමක් ලබාගත් ගෝඨාභයට සිය විධායක ධුරය අතහැර රටින් පලායෑමට තරම් ඒ යෞවන සමාජ පිබිදීම බලවත් විය. එහිම ඵලයක් ලෙස අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටම ඉල්ලා අස්වීමට ද සිදුවිය. ඒ ක්‍රියාදාමය දිගුකලක් මුළුල්ලේ පවත්වාගෙන එන ලද දූෂිත හා අමන දේශපාලන සංස්කෘතියට එල්ල වූ දැවැන්ත අභියෝගයකි. එය බලයේ සිටි රාජපක්‍ෂ කඳවුර දෙදරවීම පමණක් නොව විශාල දේශපාලන කම්පනයක් දැනවූ සිද්ධි දාමයක් ද විය.

ගාලුමුවදොර විරෝධතාව ලෙස හැඳින්වෙන ඒ ක්‍රියාදාමය පිළිබඳව මේ වන විට එකී ප්‍රභූ දේශපාලන කඳවුර විසින් කරනු ලබන විවේචන නිවැරදි නැත. එහෙත් එම විරෝධතාව තුළ උත්සන්නවූ සාහසිකත්වය හා ප්‍රචණ්ඩත්වය විසින් රටට කරන ලද දැවැන්ත විනාශයක් ද විය. රාජපක්‍ෂවරුන්ගෙන් පාලනය අතට ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස ඒ අරගලය මර්දනය කිරීමට සමත් වුවද එය ඉඳුරා සමනය කළ හැක්කේ අභිනව සමාජ දේශපාලන වෙනසකින් බව ඉතා පැහැදිලිය. ඕපපාතිකව පහළ නොවූ සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුදයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය නිවැරදිව තෝරා ගැනීම 2023 වසරේදී අනිවාර්යෙන් ම සිදුවිය යුත්තකි.

2022 දී අරගලයට තල්ලු කරන ලද විවිධ සමාජ කොටස්වල ප්‍රශ්න හා පීඩනය ජනාධිපති රනිල්ගේ ඇමැති මණ්ඩලය නිවැරදිව වටහා ගෙන ඇතැයි කිව හැකිද? ගොවියන් එදිනෙදා සුළු රැකියාවකින් යමක් උපයා ගත් පිරිස් පමණක් නොව පොදුවේ ජන ජීවිත බහුතරයක ඉරණම තවමත් දෝලනය වන්නේ දහසක් බාධක මැදය. මධ්‍යම පන්තිය, නාගරික කොටස් මෙන්ම වෘත්තිකයන් හා රාජ්‍ය සේවයේ බහුතරයක් ද අදත් ගෙවන්නේ අප්‍රසන්න ජීවන රටාවක් බව ආණ්ඩුවේ සමහරු ද දනිති. එහෙත් තවමත් දූෂණය, නාස්තිය, ආකාර්යක්‍ෂමතාව, වංචාව හා හොරකම් පිළිබඳව නැගෙන චෝදනා අප්‍රමාණව ඇසෙයි. ආර්ථික වශයෙන් කඩාවැටුණු බංකොලොත් රටක් ලෙස ලංකාව ලෝකය අබියස හෑල්ලුවෙමින් තිබුණත් අදත් සමහරුන්ගේ දේශපාලන ආකල්ප වෙනස් වී නැත. දරිද්‍රතාව විවිධ ආකාරයෙන් සමාජයත්, ජන ජීවිතයත් පෙළෙමින් ව්‍යාප්ත වෙමින් තිබුණත්, ඒවාට සංවේදී හා අලුත් විසඳුම් ලබාදෙන ඇමැතිවරු සිටිත්ද? ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීමට ජනාධිපති රනිල්ගේ අවධානය යොමු වුවත් තවමත් ගොවීන් බහුතරයකගෙන් ඇසෙන්නේ මැසිවිලි හා චෝදනා බව ද කව්රුත් දනිති.

2023 උදාවන්නේම ප්‍රශ්නකාරී තේමාවන් ද සමඟය. විශේෂයෙන් විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමේ සූදානම ආණ්ඩුවට පාරාවළල්ලක් වන ලකුණු ද පෙනේ. මේ විදුලි බිල ඉහළ දැමීමේ ක්‍රියාවලියට වගකිවයුතු සාමාන්‍ය ජනතාව නම් නොවේ. විදුලි මාෆියාවක් ගැන මෙන්ම එහි සිදුවන දූෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි චෝදනා තිබේ. විදුලි බිල නොගෙවූ දේශපාලනඥයන්ගේ නාම ලේඛනයක් ද පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් විය. විදුලිබල මණ්ඩලයට පොලු තැබූ සමහරු මේ වන විට ජීවිතයෙන් ද සමුගෙන ගොස් සිටිති. තවත් සමහරු අදත් දේශපාලනයේ නිරතව සිටිති. මුළු රටම කතා කරන මේ දේශපාලන විදුලිබිල් පොලුකාරයන් ගැන ආණ්ඩුව හෝ අදාළ ඇමැතිවරයා දක්වන ප්‍රතිචාරය ඉතා ලිහිල් ය. මහජන මුදලින් අදටත් යැපෙන දේශපාලන පොලුකාරයන් ගැන නොතකා ඇමැතිවරයා කඩුව අතට ගන්නේ අහිංසක විදුලි පාරිභෝගිකයාගේ ගෙල සිඳලීමට ද?

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මෙම විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව විවෘත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇත. ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානය අනතුරු අඟවන්නේ විදුලි බිල ඉහළ දැමුවොත් හර්තාලයක් සිදුවන බවටය. සියයට පන්සියයකින් පමණ විදුලි බිල ඉහළ යන්නේ කිසිදිනක හිඟ මුදලක් තබා නැති නීතිගරුක විදුලි පාරිභෝගිකයන්ට ය. මේ ආකාරයෙන් අධික විදුලි බිලක් ජනතාවට පැටවීම ගැන අගමැති දිනේෂ් ගුණවර්ධන තුළ නම් සංවේගයක් ඇති බව පෙනේ. එහෙත් එයට සහනයක් දීම ගැටලුවක් බව ද ඔහු පවසයි. අදාළ ඇමැතිවරයා නම් එබඳු සංවේදී චරිතයක් නොවන බව ඔහුගේ දැඩි ස්වරයෙන් කරන ප්‍රකාශවලින් ම පෙනී යයි.

අද ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම වී ඇත්තේ බදු ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාකරවීමෙන් ආදායම ඉපයීම බව පෙනේ. එයට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහනය ගැන ද අපේක්‍ෂා සහගතව සිටියි. ඒ ණය මුදල් හිමිවීම අවිනිශ්චිත බව කිව නොහැකි වුවත් එය ඈතට ඇදී යන ක්‍රියාවක් බව නම් පෙනේ. කුමක් වුවත් ආර්ථිකයේ මුළු බර වැඩ කරන ජනතාව, වෘත්තිකයන්, මධ්‍යම පාන්තික කොටස් මත පැටවෙන්නකි. මෙයින් විශාල පවුල් සංඛ්‍යාවක් තවත් දුගීභාවයට පත්වෙයි. එය යළි සමාජ අර්බුදයකට මෙන්ම දේශපාලන බල අධිකාරයේ පැවැත්මටද බලපාන්නකි. අනෙක් අතට බදු සහ පොලී අනුපාත රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කෙරෙහි ද දැඩි බලපෑම් කරන බව ද කිව යුතුය.

ජනාධිපති රනිල්ගේ පාලන සමය තුළ මෙරටේ ජනාව මුහුණ දුන් ඉන්ධන, ගෑස් වැනි ප්‍රශ්න අවසන් වුවත් භාණ්ඩ මිල, සේවා ගාස්තු අහස උසට නැඟ තිබේ. විදුලිය හා ජල බිල මෙන්ම ගෑස්වල මිල ඉහළ ගිය ආකාරය ද ජනතාවට මතකය. කිරිපිටි, ඖෂධ මිල අධික විය. මේ වන විට බිත්තර මිල සම්බන්ධයෙන් ඇත්තේ ද අර්බුදයකි. ඉහත සඳහන් කළ විදුලි බිල යළි ඉහළ දැමීමක් සිදුවුවහොත් යළිත් ජීවන වියදමට එය දැඩිව බලපානු ඇත. ඇත්ත වශයෙන් ම මේ කාලය තුළ ජනතාවගේ ආදායම කිසිදු ආකාරයකින් ඉහළ නොගිය බව ද රහසක් නොවේ. දරුවන්ගේ අධ්‍යාපනය, පාසල් ප්‍රවාහනය, පාසල් උපකරණ දෙතුන් ගුණයකින් ම ඉහළ ගොස් තිබේ. මේ කිසිවක් විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහායක් ද නැත. එසේම 2023 සිට ක්‍රියාත්මක වන නව බදු ක්‍රමය රාජ්‍ය හා පෞද්ගලික අංශවලට කරන බලපෑමද සුළුපටු නොවේ. මේ සියල්ල රටේ ආහාර සුරක්‍ෂිතතාව මෙන්ම ජීවන රිද්මය දුර්වල කරවීමට ද හේතු වනු ඇත.

2023 වසරේදී ආණ්ඩුව නව ප්‍රතිපත්ති මත වැඩකරන රටක් ලෙස ඉදිරියට යා යුතු බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජකාරි කටයුතු ආරම්භ කරමින් ජනාධිපති කාර්යාලයේ සිට රටට ලබා දුන් පණිවුඩය විය. එහෙත් මේ ආණ්ඩුව අලුත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණය පිළිබඳ දක්වන ප්‍රතිචාරය කුමක් ද? ජනාධිපතිවරයා මෙයට පෙර 2023 වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කළේත්, ආර්ථික කාඩවැටීම් මෙන්ම ජනතාවගේ ප්‍රශ්න ගැත තමන් සංවේදී බවත් සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් ය. රටේ තරුණ තරුණියන් විසින් ඉල්ලා සිටිනු ලබන ක්‍රමයේ වෙනස පිළිබඳව ද ජනාධිපතිවරයා සිහිපත් කර තිබුණි. ඇත්ත වශයෙන් ම මේ එකක්වත් මඟහැරිය හැකි හෝ උඩින් පැන යා හැකි දේවල් නොවේ. රාජපක්‍ෂ දේශපාලන ක්‍රමය ප්‍රතික්‍ෂේප කළ ගාලුමුවදොර අරගලයේ ප්‍රබල හා අවධාරණාත්මක බලකිරීම වූයේ ද මේ පවතින පවුල් කේන්ද්‍රීය දේශපාලනය වෙනස් විය යුතු බවය.

ජනාධිපති රනිල් ජනතා පදනමක් නැති රාජපක්‍ෂ දේශපාලන ඔලුගෙඩිවලින් හා පොලිසියේත්, හමුදාවේත් ශක්තියෙන් රට පාලනය කරන්නෙකු බවට විවෘත විවේචනයක් ඇත. ජනාධිපති රනිල්ට ව්‍යවස්ථානුකූලව හිමි වූ බලය හා ධුරය උපයෝගී කර ගනිමින් අලුත් දේශපාලන සංස්කෘතියකට පදනම දැමිය හැකිද? ගෝඨාභය සමඟ සසඳන විට ඔහු දේශපාලන වශයෙන් පරිණත හා ජ්‍යෙෂ්ඨ අයෙකි. අගමැතිවරයකු ලෙස කීපවරක්ම ක්‍රියා කළ අත්දැකීම් සහිත අයෙක් ද වේ. ජනාධිපති රනිල් පිළිබඳ ආණ්ඩුවෙන් පිටත සිටින සිවිල් හා සමාජ ක්‍රියාකාරීන් තුළ ඇත්තේ ද ඔහුට රට ගිලෙමින් තිබුණු අර්බුදයෙන් ගොඩදැමීමට ශක්තියක් තිබෙන බවය. එහෙත් එයට වුවමනා වෘත්තීය වශයෙන් පරිණත කණ්ඩායමක් හා දේශපාලන විචක්‍ෂණභාවයකින් යුතු කැබිනට් මණ්ඩලයක් ඔහුට සිටිත් ද?

ගෝඨාභයට ගෙදර යෑමට සිදුවූයේ ඔහු වටා සිටි අපරිණත හා අවිදග්ධ උපදේශකයන් ද නිසාය. වියතුන් ලෙස තමන් විසින් ම හඳුන්වා ගන්නා ලද පිරිසක් ද ඔහු වටේට වූහ. එහෙත් ඒ අයගේ වියත් බව, පැණසර බව සමාජය හමුවේ නම් නැත. ඇතැම් අය බර අඩි තබමින්, ටයි පටියට හිර වූ ගෙල කරකවමින් විකට රඟපෑම් කළහ. කිසියම් ආකාරයක වෘත්තීය නිපුණතාවක් සහිත කීපදෙනෙක් සිටියත් ඔවුනට ද දේශපාලන අවබෝධයක් නොවීය. අවසානයේදී ගෝඨාභයට ඒවාට වන්දි ගෙවීමට සිදුවිය. ජනාධිපති රනිල්ගේ තත්ත්වය කුමක් ද? ඔහු විසින්

තෝරාගනු ලැබ ඇත්තේ ද ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද, දේශපාලන වශයෙන් වුවද ගැඹුරු දැක්මක් ඇතැයි සිතිය හැකි ප්‍රාමාණිකයන් නොවන ඔහුට විශ්වාසවන්ත පිරිසකි. ඔහුගේ වර්තමාන කැබිනට් මණ්ඩලයේ සමහරුන් පිළිබඳ තිබෙන විවේචන ද බොහෝ ය.

ජනාධිපති රනිල් පවසන දේශපාලන – සමාජ ප්‍රතිසංස්කරණ සඳහා උචිත සමාජ දැක්මක් හෝ දේශපාලන විඥානයක් ඔහුට රට භාර දුන් බව කියන පොහොට්ටු කණ්ඩායමේ බහුතරයකට නැත. ඒ බව ජනාධිපති රනිල් ද දනී. ඇත්ත වශයෙන් ම අද පොහොට්ටුවේ සිටින සමහරු තම දේශපාලන ඉරණම කුමක් දැයි දනිති. කුමන ආකාරයකින් හෝ ඇමැති ධුරයක්, රාජ්‍ය ඇමැති ධුරයක් හෝ ලබාගෙන ඉතිරි වී තිබෙන කෙටි කාලයෙන් යමක් කමක් උපයා ගැනීම හැර වෙනත් අරමුණක් ද සමහරුන්ට නැත. ජනතා උදහසට ලක්ව දේශපාලනයෙන් ද විසි වී යෑම ඔවුන් බොහෝ දෙනෙකුගේ ඉරණම වී තිබේ. දූෂණය, නාස්තිය, වංචාව, හොරකම මැඬලීමත් පවිත්‍ර දේශපාලන සංස්කෘතියක් සඳහා පියවර ගැනීමත් දුෂ්කර වී තිබෙන එක් හේතුවක් වන්නේ ද එබඳු බලලෝභීන්ගෙන් හා රටට ආදරයක් නොමැති අයගේ සහාය ද ජනාධිපතිගේ බලය තීරණය කරන සාධකයක් වී තිබීම නිසා ය. 2023 වසර සාර්ථක කරගත හැකි වන්නේ ද අලුතින් හිතන හා රටට ආදරය කරන කණ්ඩායමකට පමණි. තවදුරටත් පරණ ක්‍රමයම නඩත්තු කරමින් දේශපාලන වනාන්තරයක මංමුළා වන්නේ ද යන ප්‍රශ්න විසඳා ගත යුත්තේ ද ජනාධිපති රනිල්ම ය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment