ලබන මාර්තුවේ දී පාර්ලිමේන්තුව විසුරුවයි ද…?

244

ආරම්භයේ පැහැදිලි අහසක් සහිත පැහැබර දින දෙකක් ගෙවී ගියත් පසුගිය මුළු සතියම ගැනුණේ අඳුරු වැහිබර සතියක් ලෙසය. පසුගිය සතියේ රටේ දේශපාලන තත්ත්වය ද එසේ ම විය.

ඒත් කැපී පෙනෙන සිදුවීම් කීපයක් නිසා වැසි සහිත ශීත කාලගුණික තත්ත්වයක වුවද දේශපාලන කරලියේ මද උණුසුමක් දැනෙන්නට විය. පාර්ලිමේන්තුවත් පසුගිය සතියේ නොපැවති හෙයින් මැති ඇමැතිවරුන් හා දේශපාලන පක්ෂවල දේශපාලන ක්‍රියාකාරකම් දක්නට නොවීමෙන් ලියන්නටද කිසිවක් නොමැති තරම්ය. එහෙත් උණුසුම් මාතෘකා කීපයක් පසුගිය සතියේත් දේශපාලන කරලියේ කතාබහට ලක්විය.

මීට සති දෙකකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියූ එක්තරා කතාවක් කීවේය. සමන්තා පවෙල් මැතිනිය පැමිණි වෙලාවේ දී මැතිවරණ ක්‍රමය ගැන කතා කළ ඔහු එය සංශෝධනය කළ යුතු බව යෝජනා කළේය. ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් සහයෝගයක් නොලැබුණහොත් ජනතා සහයෝගය ලබා ගැනීමට ජනමත විචාරණයක් පවත්වන බවද කීවේය.

තවත් තැනකදී ඔහු ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ගැන යමක් කීවේය. දැනට ලංකාව පුරාම 8000 කටත් වැඩියෙන් සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව රටට දරාගත නොහැකි බව පෙන්වා දුන් ඔහු කීවේ එය 4000ක් දක්වා අඩු කිරීම කාලෝචිත බව ය.

● පුංචි ඡන්දයද කලගෙඩි සෙල්ලමද..?

මෙබඳු කතා ගණනාවක්ම තැන තැන පැවති සාකච්ඡාවලදී හා විවිධ අවස්ථාවලදී එළි දැක්වීම නිසා පසුගිය සතියේ දේශපාලන කරළිය තුළ ඒ සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇති විය. වැඩි දෙනෙක් පෙන්වා දුන්නේ එදා 82දී රනිල්ගේ සීයා ලාම්පු කලගෙඩි සෙල්ලම පෙන්වමින් කළ දේශපාලන සෙප්පඩ විජ්ජාව අද මුණුබුරාත් රටට පෙන්වන්නට සූදානම් වන බවයි.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදාත් ජනමතවිචාරණ කතාව වෘත්තීයවේදීන් සමග කරන ලද සාකච්ඡාවකදී ද නැවත ප්‍රකාශ කළේය…

“මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා. ඒක කරන්න පාර්ලිමේන්තුවෙන් ඉඩක් නොලැබුණොත් ජනමත විචාරණයකට යනවා…”

මෙම කතාව ඇසීම නිසා වඩාත් කලබලයට පත්වූයේ විපක්ෂයයි. ඔවුන් කිව්වේ ජනාධිපතිවරයා දැන් මැතිවරණ සිතියම අකුලන්න ට පටන් ගෙන ඇති බවකි.

පසුගිය සඳුදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඇමැතිවරු කිහිපදෙනෙක් ජනාධිපති හමුවන්නට පැමිණියහ.

“සර් මැතිවරණය කල් දමන්න යනවා කියලා ලොකු කතාවක් රට ඇතුළේ යනවා. විපක්ෂය තමයි ඒක කර ගහගෙන යන්නේ…” මනුෂ නානායක්කාර කිව්වේය.

“මම කිව්වේ එක කතාවක් ඒගොල්ලන්ට තේරිලා තියෙන්නෙ වෙන කතාවක්…”

“මිනිස්සු බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමත් එක්ක එකතුවෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ආර්ථිකය ගොඩනඟයි කියලා. මිනිස්සු ඡන්දයක් ඉල්ලන්නෙ නෑ…” ප්‍රසන්න රණතුංග කීවේය. ඔය කතාබහ ටික වේලාවක් එසේ ඇදී ගියේය.

එදා පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපති වික්‍රමසිංහ කටුනායක බලා පිටත්ව ගියේය. මීට වසර කිහිපයකට පෙර කටුනායක ප්‍රදේශයේ ඉදිකළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක වැඩකටයුතු නිමවා නිෂ්පාදනය ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සවයට ජනාධිපතිවරයා සහභාගි විය. ඒ සඳහා පසුගිය කාලයේ හිටපු සියලු සෞඛ්‍ය අමාත්‍යවරුන්ට ද ආරාධනය කර තිබිණි. ජනාධිපතිවරයා දුටුවේ තම කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක උත්සවේදී මහත් අපහසුවෙන් එක්තරා තැනක වාඩිවී සිටින බවයි. ඔහුගේ දෙපසින් සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා නිමල් සිරිපාල ද සිල්වා යන දෙදෙනාය.

රනිල් ඒ දෙස බලා සිනාසෙනු දුටු සාගල… “මටත් හරි තැනක් තමයි මේ සංවිධායකයෝ ලෑස්ති කරල තියෙන්නෙ” කියා කීවේය.

“ඇයි ඒ මොකද… අපි වගේ අයත් එක ළඟ වාඩි වෙලා ඉන්න ඔබතුමා කැමති නැතුව ද…”

“අනේ නෑ. ඒක නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පතාක යෝධයො දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන මං වගේ යූඑන්පී කාරයෙක් මැදින් වාඩි වුණාම නිකම් මොකක්ද මොකක්ද වගේ.

මෛත්‍රිපාල හා නිමල් සිරිපාල එතරම් සුහදව කතාබහ කරනු කවුරුවත් දුටුවේ නැත. සාගල විහිළුවක් කළේ ය…

“දැක්කෙ නැද්ද… මගේ මේ අනිත් පැත්තෙ ඉන්නෙ ඔබතුමාගේ නායකයා…”

“ඔව් ඔව්… එතුමා තවමත් මගේ පක්ෂයේ තමයි…” මෛත්‍රිපාල සිරිසේන එය කියූ සැටියෙන්ම බොහෝ දෙනාට සිනා පහළ වූහ.

මේ අතර උත්සවයේ වැඩකටයුතු පැවැත්වෙමින් තිබිණි. ඖෂධ නිෂ්පාදනාගාරය එහි සිටි වැඩිදෙනකුගේ සම්භාවනාවට ලක් වූයේ රැකියා දහස් ගාණක් උත්පාදනය කරන, ඖෂධ සඳහා විදේශ රටවලට ඇදී යන මුදල් සම්භාරය ඉතුරු කරන ඉතා හොඳ ව්‍යාපෘතියක් ලෙස ය.

● ශිෂ්ට ප්‍රයෝගයක් බංකොළොත් නෑ….

එදා අප කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී කාරණාවක් පිළිබඳ වැඩි දෙනකුගේ අවධානය යොමු විය. ඒ ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම වෙනස් කිරීමට ගෙන එන ලද කැබිනට් යෝජනාව ගැනය. මේ පිළිබඳව වැඩි දෙනකුට ලොකු අවබෝධයක් තිබුණේ නැත. යෝජනාවෙන් ඉදිරිපත් කර තිබුණේ ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබීම වෙනස් කර පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණයට ඇතුළත් කිරීමයි.

මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබිණි. එහෙත් එය රටට එළිදරව් කිරීමේ දී බොහෝ දෙනකුට ප්‍රශ්න මතුවිය. කැබිනට් රැස්වීම ඉවර වූ පසුවත් සමහර දේශපාලනඥයෝ මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් විමසන්නට වූහ.

“ඇයි සර් මේ වගේ යෝජනාවක් ගෙනල්ල අපිම අපේ රට පල්ලෙහාට දාගන්නේ…. ලෝකෙ අපට තියෙන ඉහළ පිළිගැනීම ඇයි අපි නැති කරගන්නේ. මේක අයි.එම්.එෆ්. කොන්දේසියක්ද…”

“නෑ නෑ… මේකෙන් අපිට අවාසියක් වෙන්නෙ නෑ. මේකෙන් වෙන්නේ සමහර රටවල්වලට අපිට උදව් කරන්න අවස්ථාවක් සැලසෙන එක.”

ජනාධිපති රනිල් එහෙම කිව්වත් සමහරුන්ට එය තවදුරටත් වැටහුණේ නැත.

“නැගී එන රටවල්වලට උදව් කරන ජාත්‍යන්තර සංවිධාන හා රටවල් ඉන්නවනෙ. ඒ ගොල්ලන්ටත් ඒගොල්ලන්ගෙ මුදල් රෙගුලාසි තියනවා. මුල් කාලයේ එයාලා අපිට උදවු කළේ අපි පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස තිබියදී. ඒක තමයි එයාලගේ සීමාව. අපේ ආදායම වැඩි වෙලා ඉහළ මැදි ආදායම් ලබන තත්ත්වයට පත් වුණාම බොහෝ සංවිධාන අපිට ආධාර උපකාර කරන එක නතර කළා.”

ජනාධිපති රනිල් එසේ විස්තර කළේ පී එල් 480 වැනි ඇමෙරිකානු ආධාර කණ්ඩායම්වල ආධාර උපකාර පහුගිය කාලයේ නතර වීමට හේතු ගැන ය.

“ඇත්ත වශයෙන්ම අපි මේක කරන්නේ අපේ රට ආර්ථිකමය වශයෙන් පහළ වැටිච්ච නිසා නෙවෙයි. මේ වෙලාවේ අන්‍ය රටවල උදව් ලබා ගැනීම අත්‍යවශ්‍ය නිසා. අඩු පොලී ණය, මූල්‍ය ආධාර, මූල්‍ය සහන මගේ වාසි ගොඩක් ලබන්න මෙයින් අපට අවකාශ ලැබෙනවා. අපි ඉක්මනට ජනතාවට මේ කතාව කියන්න ඕන. නැත්තම් ජනතාව අතර වැරදි මත ප්‍රචාරය වෙන්න පුළුවන්…” රනිල් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය අංශයට හා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දුන්නේය.

● පුංචි ඡන්දයද මහ මැතිවරණයද…

2023 වසර මැතිවරණ වසරක් විය හැකි බව බොහෝ දෙනකුගේ මතයයි. අපේ රටේ මැතිවරණ සිත් සිතියමට අනුව ලබන වසරේ මුලදී පළාත් පාලන ඡන්දය පැවැත් වීමට නියමිතය. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සූදානම් වන්නේ පළාත් පාලන ආයතනවලටද පළාත් සභාවලට අත් වූ ඉරණම උරුම කර දෙන්නට බව විපක්ෂයේ තර්කය විය.. මේ සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළේ ලොකු කතාබහක් ඇති විය.

රනිල් වික්‍රමසිංහ මොනව කීවත් මැතිවරණ සිතියම අකුළන්නට දෙන්නේ නැතිව ලබන වසරේ කෙසේ හෝ සියලු මැතිවරණ ලබාගැනීමට කටයුතු කරන බව විපක්ෂයේ පොදු බලාපොරොත්තුව වූහ. ඒ සඳහා දැන් සිටම දේශපාලන පක්ෂ රට පුරා සංවිධාන කටයුතු වේගවත් කළ යුතු බව විපක්ෂයේ මතය විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එම මැතිවරණ ව්‍යාපාර ඉලක්ක කරගෙන පසුගිය සතියේ තම ප්‍රචාරක රැස්වීම් ජාලය ආරම්භ කළේ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධනගේ කාර්යාලයේ පැවති රැස්වීමෙනි. පසුගිය සෙනසුරාදා පැවැති මේ රැස්වීම පිළිබඳව මුළු රටේම අවධානය යොමු වී තිබුණේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මීට සහ සහභාගි වීම නිසාය. එදා උදේ 9.30 පමණ වනවිට රැස්වීම් ශාලාවේ පනවා තිබූ ආසන තුන් දහසක් පමණ පිරී අවසන්ව තිබිණි. අරගලකරුවන් විසින් ගිනිබත් කරන ලද රෝහිත අබේගුණවර්ධනගේ කාර්යාලයේ මෙම රැස්වීම් සංවිධානය කර තිබූ නිසා උත්සවයේ නිවේදන කටයුතු මෙහෙයවූ සංජීව එදිරිමාන්න හැඳින්වූයේ අළු මතින් නැඟිටින රූබසං පක්ෂියා සේ කළුතරින් පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන බවකි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊළඟට වේගවත් දිග කථාවක් කළේය. එය තරමක් උණුසුම් කතාවක් විය. බොහෝ දෙනකුට රිදෙන කතාවක් ද විය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටි කළුතර ජනතාව ඔහු කතා කරන්නට එන විට නැඟිට ඔල්වරසන් දෙන්නට පටන් ගත්හ. ඔහුගේ කතාව ඉතා කෙටි එකක් විය. මේ අසීරු අවස්ථාවේදීත් කළුතරින් හා කළුතර ජනතාවගෙන් ලැබෙන සහයෝගයට ඔහු ස්තුතිවන්ත විය. පක්ෂයට හා පක්ෂයේ ආරක්ෂාවට සහය දුන් සැමට ද ස්තුති කළේය. විශේෂයෙන් වත්මන් ජනාධිපතිවරයාට ස්තුති කළේය. එහෙත් ඒ වෙලාවේ දී රනිල් වික්‍රමසිංහගේ නම ඔහුට කියවුනේ ගෝඨාභය රාජපක්ෂ ලෙසය.

“කාටත් ඉතින් මේ අසීරු කාලේ ඩාම් වෙනවා ඩූම් වෙනවා. අපේ මහින්ද ජනාධිපතිතුමාටත් එහෙමයි. ඕවා ගණන් ගන්න ඕනේ නෑ…” කියමින් සංජීව එදිරිමාන්න වරද නිවැරදි කළේය.

“ඔය වගේ දෙයක් එක පාරක් චන්ද්‍රිකා මැතිනියටත් වුණා…. 2003 දී කළුතර තිබුණ රෝහිත මහත්තයාගේ රැස්වීමක්. අගමැති රත්නසිරි වික්‍රමනායක. එතුමා ඉදිරියෙදීත් චන්ද්‍රිකා මැතිනිය එතුමාගේ නම කිව්වේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලයි. මුළු සභාවම හිනා වුණාම තමයි චන්ද්‍රිකා දන්නේ වරදක් වුණා කියලා” එතන සිටි වැඩිහිටියෙක් අතීතය මතක් කළේය.

● සිරිමා ගුණසමරා උත්සව දෙකක්ම….

පසුගිය සතියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ සමරු උත්සව දෙකක් ද පැවැත්විණි. ප්‍රධාන ගුණ සමරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවැත්විණි. සෙනසුරාදා රාත්‍රියේ පිරිත් සජ්ඣායනාවකුත් පසුදින උදෑසන දානමය පිංකමකුත් ඒ නිමිත්තෙන් පැවැත්වුණි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර භාර ගත් කිසිදු මැති ඇමැතිවරයකුට ආරාධනා කර තිබුණේ නැත. එහෙත් පිරිත් අහන්නට විශේෂ ආරාධිතයන් කිහිපදෙනෙක් පැමිණ සිටියහ…. ඒ වූ කලී ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමකි. මේ පිරිස් පැමිණ සිටින බව දුටු සමහරු අනාගතයේ ඇතිවිය හැකි දේශපාලන එකමුතුවක හැඩරුව ගැන කතා කරන්නට වූහ. පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන හුදෙකලාව සිටිනු දුටු එක් ආසන සංවිධායකයකු මේ වෙලාවේ ඔහු ළඟට ගියේය. ඒ රක්වාන ආසන සංවිධායක කණිෂ්ක අමරසේකරයි….

“නායකතුමා… අපේ පක්ෂයේ මතයට පිටුපාලා වැඩ කරපු මන්ත්‍රීවරුන්ට මොකක්ද කරන්න යන්නේ. විනය ක්‍රියාමාර්ග අරගෙන ඒගොල්ලන්ව අයින් කරන්න කටයුතු කරනවා ද නැත්තම් සමාව දෙනවද….“

“නෑ නෑ අපි එහෙම තවම තීන්දුවක් අරගෙන නෑ….” ඉස්සරහට බලමු කියමින් මෛත්‍රි ප්‍රශ්නය මගහැරියේය.

මේ වගේ වෙලාවක අපි කරන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු බලය ඒකරාශී කරන එක…. ඩලස්ලා වාසුලා වුණත් සහයෝගයට ඉන්නවා. මේ වෙලාවේ දුමින්දලා නිමල් සිරිපාලලා අමරවීරලාත් මෙතන හිටිය නම් තමයි හොඳ… ඒක අපිට ලොකු ශක්තියක්….” සමහරු කියන්නට වූහ. ඒ අතරතුර මෛත්‍රිපාලටත් දයාසිරිටත් තව ප්‍රශ්නයක් ඇතිව තිබුණි…. නිමල් සිරිපාල සිල්වා තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ගොස් තිබූ බැවින් පක්ෂ නායකයාටත් මහලේකම්වරයාටත් උසාවියේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබිණි. මේ ගැන ද ලොකු කසුකුසුවක් එතැන ඇති විය.

මේ වෙලාවේ තවත් තැනක සිරිමාවෝ මැතිනිය වෙනුවෙන් සමරු උත්සවයක් පැවැත්විණි. එහි ප්‍රධානත්වය චන්ද්‍රිකා හා සුනේත්‍රාගේය. චිත්‍රපට සංස්ථාවට අයත් තරංගනී ශාලාවේ පැවති මෙම උත්සවයේ විශේෂත්වය වූයේ “සිරිමාවෝ” නමින් සුනේත්‍රා රාජකරුණානායක නිර්මාණය කළ චිත්‍රපටිය මෙම අවස්ථාවේ ප්‍රදර්ශනය කිරීමයි. අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, කුමාර වෙල්ගම ඇතුළු දේශපාලඥයෝ කීප දෙනෙක් ද මෙයට සහභාගි වීම විශේෂත්වයක් විය.

● මහින්ද බලන්න මිතුරෙක් ඇවිත්….

පසුගිය සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට ඔහුගේ පැරණි ජාත්‍යන්තර මිතුරකු පැමිණියේය. ඒ එරික් සෝල්හයිම් ය. කලක් ඔහු ලංකාවේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රසිද්ධ චරිතයක්ව සිටියා අපට මතකය. ඊළාම් යුද්ධය හා සාම සාකච්ඡා පැවැති සමයේ ඔහු කටයුතු කළේ නෝර්වේ විශේෂ සාම නියෝජිතයා ලෙසයි. කෙසේ වෙතත් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පත්වීම සම්බන්ධයෙන් සුබපතන්නට නොබෝදා ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරයා ඔහුට කාලගුණ හා දේශගුණ විපර්යාස සම්බන්ධ ජනාධිපති ජාත්‍යන්තර උපදේශක තනතුරක් ද පිරිනමනු ලැබුවේ මේ අවස්ථාවේදීය.

ඒ අතරතුර ඔහු මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසන්නට පැමිණීම විශේෂත්වයකි. දෙදෙනා පැරණි මිතුරන් ලෙස එකිනෙකා වැළඳ ගැනීමෙන් අනතුරුව සාකච්ඡාව පටන් ගත්හ…

“ඔබතුමා වෙනදා වගේමයි. වයසට ගිහින් නෑ… තවමත් සටන්කාමී තරුණ පෙනුම අඩුවක් නෑ…” සෝල්හයිම් කීවේය.

“එහෙම තමයි අපි කවදත් සටනේ ඉන්න මිනිස්සු…” කියමින් මහින්ද රාජපක්ෂ ද ඔහු සමඟ ඉතා කුළුපගව කතාබහ කළේය.

● පළාත් සභා සුදු අලියෙක්ද…

ප්‍රාදේශීය සභා හා පළාත් සභා අනවශ්‍ය මුදල් නාස්තියක් ලෙස කතාබහක් රටේ ඇති වී තිබෙන මේ මොහොතේ මාධ්‍ය කණ්ඩායමක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හමුවීමට පැමිණියේය. වර්තමාන දේශපාලනය සම්බන්ධයෙන් මේ පිරිස ඔහුගේ මතය විමසමින් සම්මුඛ සාකච්ඡාවක් ගත්තේය.

එහිදී ප්‍රශ්නයක් නැඟූ නිවේදකයා පළාත් සභා සුදු අලියෙක් දැයි ඔහුගෙන් විමසා සිටියේ ය…

“මම ඒ කතාව විශ්වාස කරන්නේ නෑ. මමත් අවුරුදු විස්සක් දකුණු පළාත් සභාවේ හිටියා. රටට ඒකෙන් කෙරුණ සේවය මම දන්නවා. උදාහරණයක් කියන්නම්. එක කාලයක් දකුණු පළාත් සභාව අධ්‍යාපනය අතින් ලංකාවේ හිටියෙ හත්වැනි තැන. පළාත් සභාවේ දී අපි මේ ගැන කතා වෙලා දකුණෙ අධ්‍යාපනය ඉහළ නංවන්න වැඩපිළිවෙළක් සකස් කළා. ඒ අනුව වසර දෙක තුනක් ඇතුළත අපිට අධ්‍යාපනය ලංකාවේ ඉහළම තැනට එන්න පුළුවන් වුණා. අදටත් ඕනම විභාගයකින් ඉහළම ලකුණු ගන්න දකුණෙ අයත් ඉන්නේ ඉදිරියෙන්. අදටත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. පළාත් සභා හරියට කරනවා නම් සුදු අලියෙක් වෙන්නේ නෑ.

මේ වගේම කතාබහක් පසුගිය දිනක කඹුරුපිටියේ පැවති උත්සවයක දී ඇති විය. එහිදී කතාබහ වූයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා සුදු අලියෙක් ද නැද්ද යන වග නොව, පළාත් සභා මගහැරියා මෙන් ප්‍රාදේශීය සභා ද මඟහැර යෑමට වත්මන් ආණ්ඩුවට ඉඩ ලබාදිය යුතු නැති බවයි. ආයුර්වේද මධ්‍යස්ථානයක් විවෘත කිරීම නිමිත්තෙන් කඹුරුපිටියේ පැවති මෙම උත්සවයට පළාතේ ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙන්ම කඹුරුපිටියේ ප්‍රදේශවාසී ඩලාස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ද පැමිණ සිටියහ. ආණ්ඩුවේ මැතිවරණ සිතියම හැකිළීමේ සැලැස්ම ගැන ඩලස් විවේචනාත්මක කතාවක් කළේය. ඔහුට පසුව කතා කළේ ආණ්ඩුකාර විලී ගමගේය.

“හිටපු ඇමැතිතුමා කරපු කතාව හරියටම හරි. දැන් මේ ප්‍රාදේශීය සභාවලට වෙන්න යන්නේත් පළාත් සභාවලට වෙච්ච දේම තමයි.”

ඩලස්ලා ඒ ගැන කතා කළා පමණක් නොව. ඒ ගැන විරෝධය පාන්නට ද පසුගිය සතියේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවට ගියහ. මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රමුඛ කණ්ඩායමක් එම ගමනට සහභාගි වූහ.

මැතිවරණ කොමිසම හමුවේ දී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉතිහාසයේ නඩු තීන්දු හයක් තමන්ගේ මතකයෙන්ම සිහිපත් කරමින්,…. මෙම තීරණය ගැනීම ඉදිරියේදී සිදුවුවහොත් එය තවත් එවන් නඩුවක ආරම්භයක් වනු ඇතැයි පුරෝකථනයක් කළේය.

“ජනාධිපතිවරයා මේ කතාව හිතුමනාපෙට කියලා තියෙන්නේ. අඩුම තරමින් ඒ ගැන මැතිවරණ කොමිෂන් එක එක්කවත් කතාබහ කරලා නෑ. මැතිවරණ කොමිසම එක්ක කරපු සාකච්ඡාවෙන් අපිට ඒක අනාවරණය වුණා….”ලලිත් මන්ත්‍රීවරයා කීවේය.

“ඔව්… අපට එහෙම තමයි අනුමාන කරන්න වෙන්නේ. මොකද ජනාධිපතිවරයා මේ ගැන කොමිසමත් එක්ක කිසිම සන්නිවේදනයක් ඇති කරගෙන නෑ…” නාලක ගොඩහේවා කීවේය.

“මං කියන්නේ අපි මේ වෙලාවේදී සැලකිලිමත් විය යුතුයි මේ ආණ්ඩුව කාගේ වුවමනාවට කවුරු සනසන්න මේවා කරනවා ද කියන එක ගැන…” ජී. එල්. කීය.

“වෙන කාවද ඉතිං.. අර ගහ උඩ හොට දිග කළු කුරුල්ලෙක් ඉන්නේ. අන්න එයාව සනසන්න තමයි” ඩිලාන් අන් සියලු දෙනා හිනස්සවමින් එසේ කීවේය.

● විපක්ෂය එක්කරන්න නිදහසෙන් පියවරක්…

ඇයි අපි මේ වෙලාවේ තනිවෙලා වැඩ කරන්නේ. විපක්ෂයේ ඉන්න අනෙකුත් සියලුම පක්ෂ මැතිවරණ ඉල්ලනවා. ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළනවා. ඉතින් අපට පුළුවන්නේ විපක්ෂයේ සියලුම පක්ෂ එකතු වෙලා මේ පක්ෂ එකතු වෙලා මේ ගැන පුළුල් විරෝධතාවක් දක්වන්න…” නිදහස ජනතා සභාව අභ්‍යන්තරයේ ඒ සම්බන්ධයෙන් දිගු කතාබහක් ඇති විය. මේ අතර ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ නාවල කොස්වත්තේ පිහිටි නිදහස ජනතා සභා කාර්යාලයේ පුංචි මාධ්‍ය හමුවක් පැවැත්විණි. ඊට සහභාගි වී සිටියේ ඉතා සීමිත මාධ්‍යවේදීන් පිරිසකි. රටේ අනාගත දේශපාලනය හා මාධ්‍යයට ඇති වගකීම ගැන මාධ්‍යවේදීන් සමග ඩලස් දිගු සංවාදයකට මුලපුරා සිටියේය.

ඒත් ඒ වෙලාවේ එතනට පැමිණි ඩිලාන් පෙරේරා ප්‍රමුඛ කණ්ඩායමක් නිසා විධිමත් සාකච්ඡාව කඩාකප්පල් විය. ඉන් පසුව අවිධිමත් සාකච්ඡාවක් පටන් ගැනුණි.

“මේ වෙලාවේ මැතිවරණයකට යන්න පොහොට්ටුව බයයි. පළාත් පාලන මැතිවරණය තිබ්බොත් පොහොට්ටුවේ ඇත්ත තත්ත්වය හෙළි වෙනවා. එහෙම වුණොත් ඒගොල්ලන්ට ඊළඟ මහ මැතිවරණයකින් නැඟිටින්න කිසිම ඉඩක් නෑ. ඒ නිසා මැතිවරණය කල් දානවා…” එතන සිටි මන්ත්‍රීවරයෙක් කීවේය.

“මගේ නම් දැක්ම ඔයිට වෙනස්. රනිල් පළාත් පාලන මැතිවරණය කල් දමලා මහමැතිවරණය ඉස්සරහට ගන්නවා.”

“ඒකට පොහොට්ටුව කැමති වෙන්න එපාය. පොහොට්ටුව කැමතිද පාර්ලිමේන්තුව විසුරුවල මැතිවරණයකට යන්න… කීයයි කිව්වත් නෑ. අනිත් එක රනිල් කැමති වෙයිද ආණ්ඩුව විසුරුවාලා තමන්ට තියන බලය නැති කර ගන්න…”

“ඕගොල්ලා මම කිව්වා කියල ලියාගන්න. මම කැට තියලා කියනවා… ලබන මාර්තු මාසෙදි රනිල්ට බලය ලැබුන ගමන් රනිල් පාර්ලිමේන්තුව විසුරුවනවා. මොකද රනිල් දන්නවා ඊළඟට එන කිසිම කෙනකුට බෑ තනියෙන් ආණ්ඩුවක් හදන්න. අනිත් එක යූඇන්පී එකටත් මන්ත්‍රීවරු විස්සක් විසිපහක් එනවා. කවුරු ආණ්ඩු හැදුවත් අමතක කරන්න එපා 2024 වන තුරු රනිල් ජනාධිපති. “මන්ත්‍රීවරයා ඉතා ශූර ලෙස පෙනෙන්නට තිබෙන දේශපාලන කරුණු විග්‍රහ කරමින් කීවේය.

මේ අතරතුර මැතිවරණ සිතියම හැකිළීමේ රනිල්ගේ ප්‍රයත්නයට විරුද්ධව විපක්ෂයේ එකමුතුවක් සාදාගන්නට නිදහස ජනතා සභාව විපක්ෂයේ විශේෂ හමුවක් සංවිධානය කළේය. හමුව 13වැනි බදාදා හවස තලවතුගොඩ පදබ්රජය සපචැරස්ක හි පැවැත්විණි. විපක්ෂයේ සියලු පක්ෂවලට ඊට ආරාධනා කළහ. ඒ අනුව කඩිමුඩියේ සියලු පක්ෂ නායකයන්ට සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි ආරාධනා කිරීමට තීරණය විය. ඒ මොහොතේම ඩලස් ඇමැතිතුමා සිය දුරකථනයෙන් දේශපාලන පක්ෂ නායකයන් ඇමතීය.

ප්‍රතිචාරය යහපත් විය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට සියලුම දේශපාලන පක්ෂවල විරෝධතාවය එල්ල විය. මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සහ සාකච්ඡා කිරීමට පක්ෂ නායකයෝ එකඟ විය.

සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි වුවත් තමා වෙනුවෙන් නියෝජිතයකු එවන බවට සඳහන් කර තිබිණි. නමුත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා නිදහස ජනතා සභාව සමඟ එකතු වන බව” දුරකථනයෙන් දැනුම් දී තිබිණි.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ “දැන් ඉන්නේ නුවර. ඒ නිසා එන්න විදිහක් හෝ හදිසියේ එවාගන්න කෙනෙක් නොමැති බවයි.” ඒ වුණාට අපි මේ වැඩපිළිවෙළ එක්ක ඉන්නවා” රවුෆ් හකීම් නැවතත් කීය.

පක්ෂ නියෝජිතයන්ගේ හමුව පැවැත්වීමට නියමිත වී තිබුණු “මොනාච් ඉම්පීරියල්” හෝටලයට 5:30 වන විට සියලුම මන්ත්‍රීවරු පැමිණ තිබිණි. පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් නායකයන් මෙයට සහභාගි වී සිටි අතර ඔවුන් පළමුව තේ පැන් සංග්‍රහය භුක්ති වින්දේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment