බලවත්තු රෑනක් නැගෙනහිර ඉඩම් කොල්ලයක

185

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග එක්වූ අන්තවාදී කල්ලියක් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති රජයේ සහ පෞද්ගලික ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා මුදලට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක යෙදී සිටින බව ප්‍රදේශයේ සිවිල් සංවිධාන සඳහන් කරයි.

මෙම කල්ලිය විසින් මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින සියලු අණපනත් උල්ලංඝනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති රජයේ ඉඩම් අක්කර දෙදහසකට අධික ප්‍රමාණයක් රුපියල් කෝටි ගණනකට අලෙවි කර ඇතැයි ද පැවසෙයි.

මෙම ඉඩම් කොල්ලයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල, නොතාරිස් කාර්යාල, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අදාළ ප්‍රාදේශීය කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් ආදී වශයෙන් වූ රජයේ සෑම අංශයකින්ම සහාය හිමිවීම හේතුවෙන් කොල්ලකන ලද ඉඩම්වල මුල් ඔප්පු විනාශ කර දමා ව්‍යාජ ඔප්පු ලියාපදිංචි කිරීමට ද මෙම කල්ලිය කටයුතු කර ඇතැයි ද සිවිල් සංවිධාන සඳහන් කරයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලනඥයන්ගේ දේශපාලන ශක්තිය යොදා ගනිමින් කාලයක සිට මෙම කල්ලිය සිදුකර ඇති ඉඩම් කොල්ලයේ දී මඩකලපුව එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වැඩිම බලපෑමක් එල්ල වී ඇතැයි ද පැවසෙයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment