රෝඩ් සේෆ්ටි ශූරතාව දෙවැනි වරටත් ඉන්දියාවේ නතර වෙයි

201

අපරාජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අවසන් මහා තරගයේදී ලකුණු 33ක පරාජයකට ඇද දමමින් ප්‍රවීන ක්‍රිකට් තරු එකට  ගැටුණු ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ් කණ්ඩායම සමත්විය. ඒ පිට පිට දෙවැනි වරටත් එම ශූරතාව තමන් සතුකර ගනිමිනි.

 රායිපූර්හිදී පෙරේදා (01 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය ලෙජන්ඩ් නායක සචින් තෙන්ඩුර්කාර් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී මුළු ලකුණු 195ක් රැස් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමට ලබා ගත හැකියූයේ පන්දු වාර 18.5කදී සියලු දෙනා දැවී ලකුණු 162ක් පමණි.

 ආරම්භයේදීම ඉන්දීය පිතිකරුවන්ට තර්ජනයක් වෙමින් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක් ලබා දීමට නුවන් කුසලසේකර සමත්විය. ඒ පළමු පන්දු වාරයේ අවසන් පන්දුවේදී ඉන්දීය නායක සචින් තෙන්ඩූර්කාර් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කරමිනි. අනතුරුව ක්‍රියාත්මක කළ සිය දෙවැනි පන්දු වාරයේදී සුරේෂ් රයිනා ලකුණු 4කට දවා ගැනීමට කුලසේකර සමත්වූයේ ඉන්දීය ලකුණු පුවරුව පන්දු වාර 3ක් අවසානයේ කඩුලු 2කට ලකුණු 19ක් ලෙසින් සටහන් කරමිනි.

 ඉන්දීය තෙවැනි කඩුල්ලට ආරම්භක පිතිකරු නමන් ඕජා සමගින් පිටියට එක් වූ විනේ කුමාර් ශ්‍රී ලංකාව දෙසින් තරගයේ වාසිය ඉන්දියාව දෙසට හැරවූයේ එම කඩුල්ලට වේගවත් ලකුණු 90ක සම්බන්ධතාවක් එක් කරමිනි. විනේ කුමාර් පන්දු 36කදී ලකුණු 21ත් රැස් කළේය.

 හෙමින් ඉනිම ඇරැඹූ නමන් ඕජා එම ඉනිම ශතකයක් කරා ගෙනගියේ පන්දු වාර 20 පුරාම නොදැවී කඩුල්ලේ රැඳෙමිනි. එහිදී පන්දු 71කට මුහුණ දුන් ඕජා හයේ පහර 2ක් සහ හතරේ පහර 15කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කරමින් ලකුණු 108ක් රැස් කළේය.

 තරගාවලිය පුරා අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සහ පන්දු රැකීම අවසන් මහා තරගයේදී දුර්වල ස්ථානයක පැවැති අතර එහිදී ලකුණු ලබා ගැනීමටත් පෙර නමන් ඕජා ලබා දුන් අසීරු උඩපන්දුවක් නායක ටී. එම්. ඩිල්ශාන් අතින් ගිලිහීම සහ උපුල් තරංග අතින් ඕජාගේ ස්ටම්ප් කිරීමක් මගහැරීම ශ්‍රී ලංකාවේ පරාජයට බෙහෙවින් හේතු සාධක විය.

 ලකුණු 195ක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ඩිල්ශාන් මුණවීර, සනත් ජයසූරිය, ටී. එම්. ඩිල්ශාන් සහ උපුල් තරංග මුළු ලකුණු 41ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 44ක් එක් වෙද්දී අසේල ගුණරත්න සහ ජීවන් මෙන්ඩිස් පිටියෙන් ඉවත් කළ ඉන්දීය පන්දු යවන්නෝ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට සමත්වූහ.

 කෙසේ වෙතත් ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වූ ඉෂාන් ජයරත්න සහ මහේල උඩවත්ත 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් රැස් කළේය. මහේල උඩවත්ත ලකුණු 26ක් ලබා සිටියදී දැවී යෑමත්

 සමගින් යළිත් වරක් ශ්‍රී ලංකා බලපොරොත්තු බිඳ වැටුණි. ඉෂාන් ජයරත්න හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 51ක් ලබා සිටයදී ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය.

 ඉන්දීය ලෙජන්ඩ් කණ්ඩායම දෙවැනි වටරත් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ ශූරයන් බවට පත්වෙද්දී ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමට දෙවැනි වරටත් අනුශූරයන් ලෙසින් සෑහීමකට පත් වන්නට සිදුවිය.

 අවසන් මහා තරගයේ වීරය ලෙසින් සම්මාන ලබා ගැනීමට නමන් ඕජා සමත්වෙද්දී ශ්‍රී ලංකා නායක ටී. එම්. ඩිල්ශාන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

 ලකුණු සාරාංශය

 ඉන්දීය ලෙජන්ඩ් පන්දු වාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 195යි (නමන් ඕජා (නොදැවී) 108, විනේ කුමාර් 36, යුවරාජ් සිං 19, නුවන් කුලසේකර 29/3, ඉසුරු උදාන 34/2, ඉෂාන් ජයරත්න 44/1)

 ශ්‍රී ලංකා ලෙජන්ඩ් පන්දු වාර 18.5කදී සියලු දෙනා දැවී ලකුණු 162යි (ඉෂාන් ජයරත්න 51, මහේල උඩවත්ත 26, ජීවන් මෙන්ඩිස් 20, අසේල ගුණරත්න 19, අභිමන්්‍යු මිතුන් 27/2, විනේ කුමාර් 38/3, )

advertistmentadvertistment
advertistmentadvertistment