වැස්සොත් රස්සාව නෑ

ගුණසේකර මාමාගේ මුවහත් රැකියාවට අවුරුදු 50ක්

කොළඹ පරණම මුවහත්කරු

පරම්පරාගත රැකියාව

වෙනදා මෙන්ම අදත් කොළඹ නගරය කාර්යබහුලය. නගරයට ඇතුළුවන හා ඉන් පිටවී යන රථවාහන වලින් ගෑස්පහ හන්දිය හා කෙළින් වීදිය පිරී ගොසිනි. පදික වේදිකාව ද එකිනෙකාගේ ශරීර ගැටෙන තරමටම ජනයාගෙන් පිරී ඉතිරී යන්නේය. පිටකොටුව ප්‍රධාන බස් නැවතුම දෙසට හා කෙළින් වීදිය ඔස්සේ ගමන් කරනා රථ හසුරවන පොලිස් නිලධාරියාගේ නලාවෙන් නැගෙන්නේ කන් බිහිරිවන තරමේ හඬකි. පදික මාරුවේ කොනක සිට පාර මාරුවීමට ද අපට බොහෝ වේලාවක් බලා සිටින්නට සිදුවිය. පදික මාරුවේ සිටි පොලිස් නිලධාරියා පැමිණි රථ පෙළ නවත්වා බොහෝ වේලාවක් බලා සිටි අපට පාර මාරුවීමට අවස්ථාවක් දුන් හෙයින්, අපි හැකි ඉක්මනින්ම පාර මාරු වූවෙමු. උත්සව සමය පසුවුවද තවමත් බොහෝ දෑ සොයා ඇතැමුන් කොළඹ නගරයට පැමිණෙන්නේ තමන්ගේ ගමේ නගරයට වඩා වෙළෙඳ නගරයක් වන මෙහි ඇති බොහෝ දෑ මිලෙන් අඩුවන නිසාවෙනි. ගෑස්පහ හන්දියේ වටරවුමට යාබදව පිහිටි කඩමණ්ඩිය අසල දෙතුන් දෙනකු වටව සිට යම් පුද්ගලයකුගෙන් සේවයක් ලබාගන්නා ආකාරය අපගේ නෙත ගැටෙන්නට විය. අප එහි ගිය කාරණාව පසෙකට තබා, මේ නෙත ගැටුණ දසුන ළඟ මඳක් නතර වූයෙමු.

බැලූ බැල්මට පරණ පාපැදියක රිම් වළල්ලක් උපයෝගි කරගනිමින් ලී පොලු හා ලෑලි කිහිපයක් හා රවුම් ගිනි ගලක් ද එක්කොට සාදන ලද අපූරු උපකරණයක් එහි විය. එහි යට ලෑලිවලින් සකස් කරන ලද කුඩා පෙට්ටියකි. මිටියක්, අඬුවක් හා තවත් උපකරණ කිහිපයක් ද එහි විය.

සීරුමාරුවට වේගයෙන් කැරකැවෙන ගිනි ගල මත කතුරක මුවහත අල්ලා එක් ඇසක් වසා එහි මුවහත පරීක්‍ෂා කරන අයුරු කිහිප විටක්ම අපට දැකගත හැකි විය. තවද තම මහපට ඇඟිල්ල කතුරේ මුවහතේ කිහිපවිටක් ස්පර්ෂ කොට තම සේවාදායකයාගේ කාර්යය හරියටම ඉටුවූවා දැයි හේ සොයා බලන්නේය.

ජීවිතයේ සැඳෑ සමය ගතකරන පුද්ගලයකු වන ඔහු, උපකරණයේ එක් පසෙක ඇති ලීයකින් සාදන ලද ලීවරයක් මතට පා තබා නොනවත්වාම පාගන අයුරු ද, ඔහු අත ඇති කතුරක් එහි වූ ගිනි ගලක අතුල්වා වරක් නොව කිහිපවරක්ම එහි මුවහතේ නිවැරදිතාවය ද පරීක්‍ෂාකොට බලයි. ගිනි ගලෙන් නැගෙන ශබ්දයත් එළියට විසිවන ගිනි පුළුඟුත් දුටුවකුට ගෙන එන්නේ සුන්දර දසුනකි. තාක්‍ෂණය අතින් අප ඉහළ තැනක සිටිය ද ගමේ – නගරයේ නැති මේ උපකරණය කොළඹ ගෑස්පහ හන්දියේ දැකීමෙන් අපට ඇතිවූයේ අමුතු ආකාරයේ හැඟීමකි. නමුත් ගෑස්පහ හන්දිය නිරන්තරව පසුකරන ජනතාවට නම් එය අමුතු දෙයක් නොවන බවද අපට පෙනී ගිය කාරණාවකි. අපි එහි නැවතී බොහෝ වේලාවක් ගතවී ඇත. තවමත් මේ වියපත් මිනිසා ඔහුගේ මෙම උපකරණයේ ලීවරය පෑගිල්ල නවත්වන්නේ ද නැත. බොහෝ අය තවමත් ඔහු පිරිවරාගෙනය. ඇතැම් අය ඔහුට කියා කතුරු මුවහත් කර ගනියි. තවත් සමහරකු පිහි කිහිපයක් ගෙනැවිත් ඉන් එකිනෙක ගෙන ඔහුගේ අතින් පන්නරය තබාගෙන යන්නේය. තවත් කාන්තාවන් විවිධ කතුරු වර්ග ගෙන ඔහුගෙන් මුවහත තබාගැනීමට බොහෝ වෙලා බලාසිටින අයුරු පෙනෙන්නට විය. ඇතැම්විට එක් කකුලකට වෙහෙසකාරී අවස්ථාවලදී අනෙක් කකුලට එය මාරුකොට මේ තැනැත්තා කටයුතු කරන්නේය. පයෙහි වාරුවෙහි වේගයෙන් කැරකැවෙන ගිනි ගල මත තබා පිහි, කතුරු වැනි බොහෝ දෑ නියම තත්ත්වයටම මුවහත් කිරීමට ඔහු උපන් සමතෙකි. අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් මේ පුද්ගලයා ගෙවන්නේ ද ඉතා අමිහිරි කටුක දිවිපෙවතකි. තවද රැකියාවකටත් වඩා තම දිවි සරිකර ගැනීමට සිදුකරන්නා වූ මේ වෑයම දුටු බොහෝදෙනකුට බොහෝ දේ තේරුම් යන්නේය. ඔහු වටා සිටි, ඔහුගෙන් සේවය ගන්නට ආ පිරිස් අඩුවත්ම අපි ඔහුට කිට්ටු වුණෙමු.

“ආයුබොවන් මාමා කොහොමද ඉතින්” අපි මුලින්ම කාර්යබහුලව සිටි ඔහුගෙන් පත්තර කලාවේ සුපුරුදු ප්‍රශ්නයක් යොමු කළෙමු.

“හොඳයි, ඔහේ ඉන්නවා…. යැයි කියමින් මුවට නගාගත් අව්‍යාජ සිනහවකින් ඔහු අප පිළිගත්තේය.

කොහොමද අවුරුදු එහෙම…? අපි ඔහුගෙන් විමසුවෙමු.

“සල්ලි තියෙනවනම් හැමදාම අවුරුදු තමා…. ඔහු කියන්නට වූයේ දමා සිටි උපැස් යුවළ ද මඳක් ඇස් මට්ටමින් ඈත් කොටය.

ඔහුගේ මේ කර්තව්‍යය ගැන බොහෝ දෑ දැනගන්නට වුවමනාවක් අප තුළ තිබූ හෙයින්, ඔහු රැකියාව කරන අතරේ අවස්ථාව ලද සෑම මොහොතකම ඔහුගෙන් දිගින් දිගටම විවිධ දේ විමසුවෙමි.

“මගේ නම ගුණසේකර. පදිංචි වෙලා ඉන්නේ කොළඹ මෝදර” හේ කියන්නට විය. මම පොඩි කාලේ ඒ කියන්නේ අවුරුදු දහයේ ඉදන් මෙතැන තමයි වැඩ. එසේ කියමින් ඔහු ගිනිගලට ඇල්ලූ කතුරක මුවහත පරීක්‍ෂා කළේය. දැවෙන හිරුගේ රශ්මියෙන් ඔහු දැන් බොහෝ විඩාබරිතය. නළල් තලයේ සිට පහළට රූටා ආ දහදිය බිඳුවක් පිසදමා ඔහු නැවතත් කතුර ගිනි ගලට අල්ලන්නට විය. ගුණසේකර මාමා අද හරි කාර්යබහුලය. කොතරම් වැඩ අධික වුවත් අප ආ කාරණයට ඉඩහසර ලබාදෙන්නට තරම් ඔහු මානුෂික වන්නට විය.

“ඉතින් අහන්ඩ.. මොනවද කියන්න ඕන…” ඔහු නැවතත් වැඩකරන අතරේ අප සමඟ කතාවට වැටුණේය.

“අපට කියන්න මොනවද මේ මුවහත තියන ඒවා…”

“ගොඩක්ම කරන්නේ කතුරු තමා.. තව පිහි වගේ දේවල්….”

“මේක අපේ පරම්පරාවේ රස්සාව මහත්තයෝ… පොඩි කාලෙ ඉඳන්ම මෙතැන… දැන් අවුරුදු පනහක් විතර වෙනවා, මගේ මේ

රැකියාවට. මේක කලින් කළේ අපේ තාත්තා… ඊට පස්සේ මම.” ඔහු කියන්නට විය.

මෙම රැකියාව කොතරම් කර්කෂ වුව ද හේ රැකියාව ගැන කතා කරන්නේ තෘප්තිමත්වය.

“එතකොට ඉස්කෝලෙ ගියේ…?

“ඉස්කෝලෙ ගියේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ජයන්ති මහා විද්‍යාලයට. ඉගෙන ගත්තෙ පහට විතරයි.”

“ඇයි ඒ…”

‘ඒක ලොකු කතාවක් මහත්තයෝ…’ඔහු කියන්නට විය.

‘එතකොට පවුලේ විස්තර? අප නැවත ඇසුවෙමු.

ඔහු බොහෝ වේලා කල් අරින්නට වූයෙන් පෞද්ගලික විස්තර කියන්නට ඔහු ටිකක් මැලිබවක් අපට පෙනුණි. මේ නිසා අප ඔහුගේ
රැකියාව පිළිබඳ පමණක් විමසීමට වගබලා ගතිමු.

“අපේ පවුලෙ දරුවො නමයයි. මම හතර වැනියා. පොඩිකාලෙ ඉඳන් අපි ගොඩක් දුක්වින්දා ජීවත් වෙන්න. ඒ මැතිනිගෙ කාලේ. අපට කන්න බොන්න පවා හිඟ වුණා. ගොඩක් දවස්වල අපි කෑවේ අල, බතල, කවුපි වගේ දේවල්. ඒ රටේ ගොඩක් කලබල කාලෙ. ඉතින් මගේ පාසල් ගමන නවත්තන්නට වුණා. ඊට පස්සෙ මම තාත්තාගෙ ළඟ කතුරු පිහි මුවහත් කරන රැකියාවට ගියා. එදා ඉඳන් අද වෙනකන් මෙතැන. දැන් තාත්තා නෑ. මේක තමයි අපේ පාරම්පරික රැකියාව.”

තාත්තගේ රැකියාව

ඔහු කියන අන්දමට ගෑස්පහ හන්දියේ මුලින්ම මේ කතුරු පිහි මුවහත් රැකියාව කරන්නේ ඔහුගේ පියාය. ඒ මීට අවුරුදු සියයකට වඩා එහා ගිය අතීතයට දිවයන කතාවකි. ඔහු නැවතත් අප අතීතයට රැගෙන යන්නට විය.

“අපේ තාත්තට තනියම මේ රස්සාව කරන්න ඒ කාලෙ හරි අමාරුයි. ඉතින් මමත් ගිහින් උදවු වෙනවා. මගේ ගුරුවරයා තාත්තා තමයි. එදා අපේ පවුලෙ දහදෙනෙක් තාත්තගේ රැකියාවෙන් කාල බීල හිටියා. කොහොමහරි මේ රස්සාවට එනකොට මට වයස දොළහයි.”

ගුණසේකර මාමාගේ රස්සාවට වෙන රැකියාවල මෙන් වරු නිවාඩු කෙටි නිවාඩු නැත. හිමිදිරියේ ගෑස්පහ හන්දියට පැමිණෙන ඔහු ගෙදර යන්නේ හවස හයත් පසුවූ විටය. වැඩ අහවර වූ පසු ඔහුගේ මුවහත් කරත්තය ගෝනි පඩංගු හා ඉටි කවරයකින් වසා, වැස්සට නොතෙමෙන සේ ආවරණය කර ගෙදර යෑම ඔහුගේ සිරිතය.

වැස්සොත් රස්සාව නෑ

ඔහු කියන්නේ වැඩ කළොත් පමණක් කන්න පුළුවන් යන්නය. ගුණසේකර මාමා ජීවිකාව ගෙන යන්නේ පිහියක් කතුරක් මුවහත් කොට ඉන් ලැබෙන සොච්චම් මුදලෙනි. වෙනදා මහපාරේ අව්වට වේළී දූවිලි කමින් රැකියාව කළ ද වැස්ස දවසට නම් ගුණසේකර මාමාට සිදුවන්නේ මුවහත් කරත්තය වසාදමා කඩපිලට වී සිටීමටය. මේ කර්මාන්තය හිතන තරම් ලෙහෙසි පහසු නැත. පායන දිනකදී සොච්චම් මුදලක් සොයාගත්ත ද වැසි දිනයක් වුවහොත් සිදුවන්නේ වැඩ අතහැර ගෙදර යෑමටය. ඔහු එසේ කළ දින ගණන ද අනන්ත අප්‍රමාණ බව ඔහු අපට කියන්නට විය.

“වැස්ස දවසට ගෑස්පහ හන්දිය අඩි දෙකක් විතර යටවෙනවා. එදාට මේ හරියෙ වැඩ කරන්න බෑ. අහල පහල කඩවල පීලි වලින් වතුර වැටෙන්නේ මෙතැනට. වැස්සොත් ඉතින් එදාට අපි බඩගින්නේ. දුප්පත් අපේ ජීවිතේ ඔහොම තමයි මහත්තයෝ…”

ඉස්සර කොළඹ ලස්සනයි

කොළඹ අදට වඩා එදා හොඳ යැයි ගුණසේකර මහතා අපට කියන්නට ද අමතක නොකළේය. අද රට කොතරම් දියුණු වුව ද අදට වඩා එදා මෙරට බොහෝ දියුණුව පැවැති බවට ද ඔහු බොහෝ සාක්‍ෂි ඉදිරිපත් කරන්නේය.

“ ඒ කාලෙ කොළඹ ගොඩක් තිබුණෙ පැරණි දේවල්. කොළඹ ගොඩක් ලස්සන නගරයක්. ඒ කාලෙ ලංකාව කියන්නෙ වේගයෙන් දියුණු වෙච්ච හරි ලස්සන රටක්. මැතිනිය මේ රට හැත්ත ගණන්වල දියුණු කරන්න තමයි හැදුවේ. අල, බතල කාල හරි අපි වවලා රට දියුණු කරන්න හැදුවේ. අපේ රට විනාශ කළේ පස්සෙ ආපු දේශපාලකයො ටික. මැතිනිය හැදුවෙ අපේ රටේම හැමදේම නිෂ්පාදනය කරන්න. එදා, දුප්පතාට ආදරේ කරපු දේශපාලකයො හිටියා. ඒත් අද නෑ.” ගුණසේකර මාම එසේ කියන්නේ මීට පෙර රට පාලනය කළ ජනපතිවරයකුගේ ද නම සඳහන් කර ඔහු කළ වැඩ ද අපට සිහිගන්වමිනි.

“අපි පාන් රාත්තල 3.50 ට කාපු කාලයක් තිබුණේ. ඊට පස්සෙ ඔක්කොම නැතිවුණා. අද හැමදේම ගණන්, ජීවත්වෙන්න බෑ. රට වැටී ඇති තත්ත්වය ගැන ඔහු කීවේ එසේය.

කලබල කාලේ රස්සාව කරපු හැටි

එල්ටීටීඊය යුද්ධය තිබුණ කාලේ ගොඩක් බයෙන් තමයි අපි වැඩ කළේ. කොළඹ හැම තැනම බෝම්බ පුපුරනවා. මට මතකයි කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බය පුපුරපු දවස. මමත් දුවල ගිහින් සද්දෙට බැලුවා. බලනකොට මිනිස්සුන්ගෙ කෑලි නෑ. සමහර අයගේ කකුල් අතපය සීසීකඩ. මම තුවාල මිනිස්සුන්ව උස්සගෙන ගිහිල්ල ඇම්බියුලන්ස්වලට දැම්මා. මට ඒ කාලේ හොඳට හයිය තිබුණා. අපි මිනිස්සු වෙනුවෙන් ගොඩක් දේවල් කළා. කොටි කලබල කියල රස්සාව අතඇරියෙ නෑ.” ඔහු කියන්නේ එදා සිට මේ දක්වා විවිධ හැලහැප්පීම් තිබුණත් ඔහු තමන් කරගෙන ආ ජීවිකාව අත්නොහල බවකි. ඔහු අද වියපත් වුව ද ඔහු අතින් මුවහත් වන පිහියේ කතුරේ මුවහත අඩුවන්නේ නැත. එමෙන්ම එදා සිට අද දක්වා ඔහුගෙන් සේවය ලබාගන්නට එන මිනිසුන්ගේ ද අඩුවක් නැත.

ගතේ වෙහෙසට වඩා ලොකුලු බඩගින්න

ගුණසේකර මාමා ඔහුට එන ඕනෑම ප්‍රමාණයක පිහි, කතුරු නිසායාකාරව නිවැරදිව මුවහත් කරදීමේ සමතෙකි. තමා වටා එක්රොක් වන විවිධ තරාතිරමේ මිනිසුන් ඔහුගේ හපන්කම දෙස දෑස් යොමා බලා සිටින්නේ ඒ තුළ අමුතුම රිද්මයක් පවතින නිසාය.

‘අත සෙලව්වොත් කට සෙලවිය හැකියි’ යන කියමන ගුණසේකර මාමා දුටු සෑම කෙනකුටම පෙනී යන්නේ ඔහු ජීවත්වීමට අත්දෙකත් තම දෙපයත් උපයෝගි කොට ජීවත්වීමට ගන්නා වෑයම දුටු විටය.

“රිදෙන්නෙ නැද්ද කකුල්” යැයි අප ඇසූ පැනයකට හේ උත්තර දුන්නේ මෙසේය.

“මෙහෙමනේ… අපේ හිතේ තියෙන්නේ දුක විතරයි. එතකොට ඔය කකුල්වල අමාරුව පැත්තකට දාල තමයි අපි වැඩ කරන්නේ. අත හෙලෙව්වොත් විතරයි මහත්තයො කට හොලවන්න පුළුවන් වෙන්නේ.”

ගතේ වෙහෙසට වඩා හිතේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපම සොයාගත යුතු බවට ඔහු සපයන්නේ ද කදිම පිළිතුරකි.

මුවහත් කරත්තය අකුළගෙන ගෙදර ගිය හැටි

ගෑස්පහ හන්දියේ ගුණසේකර මාමාගේ මුවහත් කරත්තයට මීට වසර ගණනාවකට පෙර උදාවන්නේ නරක කලදසාවකි. එදා වේල හම්බ කරගත් ගුණසේකර මාමාට ජීවිතයේ අමිහිරි අත්දැකීමක් විඳීමට සිදුවූ ආකාරය ඔහු අපට විස්තර කරන්නට විය.

“පේමන්ට්වල තිබුණු කඩ සාප්පු අයින් කරන කාලයක් තිබුණා. ඒ කාලෙ මම හිටියෙත් මෙතැනම තමයි. පොලිසියෙන් ඇවිත් කිව්වා මෙතනින් අයින් වෙන්න කියලා. මම ගියේ නෑ. මොකද අපට කරන්න වෙන දෙයක් තිබුණේ නැති නිසා. පුරුදු රස්සාව මේක. පස්සෙ ඇවිත් මේක ගලවන්න කිවුවා. මට එදා ගොඩක් දුක හිතුණා. පස්සෙ මගේ අතින්ම මුවහත් කරත්තය ගලවලා දැම්මා. ලෑලි ටික ගෙදර ගිහින් ළිපේ දැම්මා. රිම් එකයි ගිනි ගලයි විතරයි මට ඉතුරු වුණේ. එහෙම රස්සාව නැතිව මාස ගණන් අපි දුක්වින්දා. මට දුක මගේම අතින් හම්බකරන් කාපු එක නැතිකරගන්න වුණ එකට.”

“අපට තවමත් ප්‍රශ්න මහත්තයෝ… ජීවත් වෙන්න හතර වටෙන්ම ණය ගත්තා. අපි තාමත් ඉන්නේ කුලියට. බිරිඳ දැන් ජීවතුන් අතර නෑ. මට එක දුවයි ඉන්නේ. එයා දැන් බැඳලා. මම ඉන්නේ මගේ නංගී ගාව. එයාගේ දුවත් අංගවිකලයි. හැමදාම බෙහෙත් ඕන එයාට. මම මේ කරන රස්සාවෙන් තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ.” ඔහු තමා මුහුණදී ඇති දුෂ්කරතාවන් පෙළින් පෙළට අපට කියන්නට විය. ඔහු අවසානයේදී අපට කියා සිටියේ තමන්ට මොන ප්‍රශ්න ආවත් තමන්ගේ මුවහත් රැකියාව කර ඒ සියල්ලටම පිළිතුරු තමන් විසින්ම සපයා ගන්නා බවය.

නැතිබැරිකමට එහා ගියපු මනුස්සකම

ඔහු කියන විදියට මේ රාජකාරියට ගතේ සවියට වඩා හිතේ සවිය තිබිය යුතුය. උදේ අටේ සිට සවස පහ හය වනතුරුම මුවහත් කිරීමට ඔහුට සිදුවෙයි.

“මේකට විදුලියෙන් වැඩකරන මෝටරයක් හයිකර ගන්න බැරිද? එතකොට ලේසියිනේ.. අපි ඔහුට පැනයක් යොමු කළෙමු.

“කොහොමද අපි එහෙම කරන්නේ. දැන් කතුරක් මුවත් තියන්න රුපියල් දෙසීයක් ගන්නවා. එතකොට කරන්ට් එකෙන් කළොත් ඒ ගාණ දෙගුණ වෙනවා. අපිට කටක් ඇරලා මිනිස්සුන්ගෙන් එහෙම වැඩි ගාණක් ඉල්ලන්න බෑ. එහෙම කරන එක අසාධාරණයි. මේ කර්මාන්තෙටත් පැවැත්මක් නෑ. ගුණසේකර මහතා තමන් සතු මානුෂීය ගුණය අපට කියා පෑවේ එලෙසය. තාක්‍ෂණය කොතරම් දියුණුව පැවැතිය ද එය උපයෝගි කරගැනීමට ඔහුට වුවමනාවක් නැත්තේ ද මිනිසුන් ගැන සිතාය. තම පියාගෙන් උරුම වූ රැකියාව කරන ඔහුගේ ජීවිතය ද මානුෂීය ගුණාංගවලින් ද අනූනය.

“ජීවිතයද ගුණසේකර මාමාගේ මුවහත් කරත්තයේ රිම් එක වැනි යැයි මට සිතුණු වාර ගණන අනන්තය. කිසිදු හා හූවක් නොමැතිව මේ රිම් වළල්ල ද එක හැල්මේ කැරකෙන්නේය. එහෙත් එයින් වැඩගත්තෝ ද බොහෝය. දිනෙන් දින දිරාපත් වන රිම් වළල්ල ද දිනෙක නවතිනු නොඅනුමානය. අපගේ ජීවිතය ද එසේය. එයද නැවතුමක් නිමාවක් නොදැනීම කැරකුණ ද නිමාවන දිනයක් ඇත. ජීවත් වෙන්නට බොහෝ වෙර දරන ගුණසේකර මාමාගේ ජීවිතයෙන් ද සමාජයට උගත හැකි පාඩම් බොහෝය. ජීවිතය කොතරම් දුෂ්කර කර්කෂ වුව ද නොපසුබස්නා උත්සාහය, අධිෂ්ඨානය, කැපකිරීම් තුළින් බොහෝ දෑ දිනාගත හැකිය. එහෙත් කිසිවක් සදාකාලික නැත.

දැන් අප ගෑස්පහ හන්දියේ බොහෝ වේලාවක් ගුණසේකර මාමා සමඟ ගතකළෙමු. බොහෝ දෑ ඔහුගෙන් ද දැන ඉගෙන ගතිමු. කාලය බොහෝ ගෙවීගොස් ඇති බැවින් අප ඔහුට ආයුබෝවන් කියා සමුදුන්නේ අප මුලින් යොදාගත් කාර්යයක් සඳහා පිටත්ව යෑමටය.

රමින්ද මාවතගේ
ඡායාරූප: සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment