උද්ධමනය තනි ඉලක්කමට පැමිණි පසු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට පුළුවන්

260

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති වෛi රමේෂ් පතිරණ
බැංකු ව්‍යාපාර පවරා ගැනීම වහාම නැවැත්විය යුතුයි – අනුර කුමාර දිසානායක (ජාජබ)
ව්‍යාපාර පවරා ගැනීම චක්‍රලේඛයකින් අත්හිටුවිය හැකියි – විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල
ආනයන සීමා ලිහිල් කිරීමේදී අපේ අපනයන ගැන හිතන්න – දයාසිරි ජයසේකර (ශ්‍රීලපොපෙ

මහ බැංකු පුරෝකථනයන් අනුව ඉදිරි මාස එකහමාරක කාලය තුළ රටේ උද්ධමනය නැවත තනි ඉලක්කමකට පැමිණි පසු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට හැකිවනු ඇතැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති වෛi රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (7 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

වාර්ෂික වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, අනතුරුව දිනට නියමිතවූ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපාන ගැටලු පිළිබඳ විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව කල් තැබීමේ විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින්, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ)- කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර පිළිබඳ අපි කතා කරනකොට අපේ රටේ තිබෙන ක්‍ෂුද්‍ර ව්‍යාපාර ගැනත් කතා කරන්න ඕනා. අපි අද අපේ වැඩි අවධානය දක්වන්න ඕනේ මේ ක්‍ෂුද්‍ර සහ කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත පිළිබඳවයි. අපේ ව්‍යාපාරවලින් සියයට අසූවක් පමණ මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. රැකියාවලින් සියයට 45ක්ම නිර්මාණය වෙලා තිබෙන්නේ මේ කර්මාන්තවලයි. මේ ක්ෂේත්‍රය දැන් දැඩි ලෙස කඩා වැටිලා තිබෙනවා. ඒක ආරම්භ වුනේ දින 52 ආණ්ඩු කුමන්ත්‍රනය හරහායි. ඉන්පසුව පාස්තු ප්‍රහාරය වගේම කොවිඩ් වසංගතය නිසාත් මේ ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටුණා. අපේ විපක්ෂනායකතුමා මේවා ගැන ඇහැව්වහම ආණ්ඩුව උසුළු විසුළු කළා පමණයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයට පහර වැදුනා. අද දැවැන්ත පහරක් වැදිලා. ඒ අයට හුස්ම ගන්න බෑ. ව්‍යාපාර වැහිලා. ජීවිත වැනසිලා තිබෙනවා. අපි දිගින් දිගටම කියනවා මේ ක්ෂේත්‍රයට උදව් කරන්න කියලා. උදව් කළේ නෑ කියලාම අපි කියන්නේ නෑ. මේ දේපළ ඉතා කෙටි කාලයක් තුළ 400 කට වඩා වැඩි ප්‍රමාණයක් අත් පත් කරගෙන තිබෙනවා. මේ අය කියන්නේ මේ අත්පත් කර ගැනීම් වසර දෙකකට තාවකාලිකව නවත්වන්න කියලා. මේක සාධාරණ ඉල්ලීමක්. ඊළගට ඒ සඳහා නීති සංශෝධනය කරගන්න ඕනා. ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනා. රට වැටුණු නිසායි ඔවුන් වැටුනේ. ඒ නිසා සාධාරණ වගකීමක් නැද්ද මේ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඒ වගේම අපි යෝජනා කරන්න කැමතියි හදිසි නීතියක් ගෙනල්ලා මේ අයගේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරන්න ක්‍රියා කරමු.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා: මේ රටේ ආර්ථික එන්ජිම සවි බල ගන්වන කුඩා හා මධ්‍යම පරිමාණ සහ ක්‍ෂුද්‍ර ව්‍යාපාර පිළිබඳ කතා කිරීමට ලැබීම හොඳ දෙයක්. මේ කර්මාන්තවලට ආණ්ඩුව ප්‍රමුඛත්වය දෙන්නේ නෑ කියලා පෙනෙනවා. අපි බැලුවොත් රටේ සියයට අසූවක්ම තිබෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරයි. රැකියා උත්පාදනය දෙස බැලුවහම ශ්‍රම බලකායෙන් සියයට 45ක් නිරත වෙලා ඉන්නේ මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තවලයි. කොවිඩ්වලින් පසුව මේ ක්ෂේත්‍රසේ වර්ධනය සියයට 2.2 යි. නමුත් ලෝක මට්ටමේ බැලුවොත් එය පහයි දශම ගණනක්. අපි මේ ක්ෂේක්‍රය ගැන මීට වඩා වැඩියෙන් අවධානය දැක්විය යුතුයි. විදෙස් රටවල් ගත්තත් ඒ අයගේ ආර්ථික ක්‍රියාවලියට මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ එහෙමත් නැත්නම් එස්එම්ඊස් නමින් හැඳින්වෙන ව්‍යාපාර වලින් තමයි සිදු වන්නේ. ඒ නිසා රටක අති වැදගත් ආර්ථික වර්ධනයක යෙදෙනවා. ඒ නිසා මේවාට අපි අපේ සහාය ලබා දෙන්න ඕනා.

ගැමි ආර්ථිකයටත් මේ ව්‍යාපාර දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා. ලෝක නායකයන් පවා පිළිගන්න දෙයක් තමයි මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලින් ලැබෙන දායකත්වය අතිමහත් කියලා. නමුත් අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මන්තකරුවන්ට ලැබිලා තිබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් ඒ ගැන කියන්න කණගාටුයි.

(ඉම්රාන් මහරුෆ් මහතා මූලාසනයට පැමිණේ.)

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති වෛi රමේෂ් පතිරණ මහතා- විපක්ෂය විසින් ගෙන එනු ලබන මෙවැනි සාධනීය යෝජනා ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න ක්‍රියා කරනවා කියලා අපි කියන්න ඕන. රටේ පසුගිය කාලයේ ඇති වූ තත්ත්වය හමුවේ මේ ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි කෘෂිකර්මාන්තයේත් කඩා වැටීමක් සිදු වුණා. අපේ රටේ ඇති වූ ආර්ථික පසුබෑම නිසා මේ ක්ෂේත්‍ර පසුබෑමට ලක්වුණා කියන කාරණයත් ඒ සම්බන්ධයේන ආණ්ඩුවෙන් යම් අඩුපාඩුවක් වූ බව අපි පිළිගන්නවා. මේ ක්ෂේත්‍රය නගා සිටු විය යුතුයි කියන කාරණය රජය පමණක් නොවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිළිගෙන එහි නියමයන් ලබා දී තිබෙනවා.

මේ නිසා අපහසුතාවට ලක් වී සිටින පවුල් ලක්ෂ 20 කට පමණ අඛන්ඩවම සහන සලසන්න කියලා අපිට ඔවුන් දන්වලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරනවා කියලා අපි ප්‍රකාශ කරනවා. මේ ක්ෂේත්‍රයේ සිටින අයට ප්‍රධාන ගැටලු 03ක් හඳුනාගෙන තිබෙනවා. අපි දැනටමත් මහ බැංකුව සමඟ කතා කරලා අඩු පොළී ණයක් ලබා ගෙන මේ ක්ෂේක්‍රයට සහන ලබා දෙන්න ක්‍රියා කරගෙන යනවා.

අනෙක අමුද්‍රව්‍ය හිඟතාවක් තිබෙනවා. ඒ සඳහා අපි අමුද්‍රව්‍ය ලබා ගැනීමට පුළුවන් සහයෝගය අපේ පරාසය තුළ හැමවිටම ලබා දෙන්න කටයුතු කළා. එහිදී ශාතීසය බහුතරයකට සහන සලසන්න කටයුතු කළා කියා කියන්න ඕනා. ඒ වගේම පාරිභෝගිකයන්ගෙනුත් ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ අයට මිලදී ගැනීමේ ශක්තිය අඩු වුණා. ඒ සම්බන්ධයෙන් මහ බැංකුව පියවර ගත්තා. ඒ වගේම අපේ රටේ අධි උද්ධමනයක් තිබුණා. අද වන විට අපේ උද්ධමනය සියයට 25 දක්වා අඩු වෙලා තිබෙනවා. මහ බැංකුවේ විශ්වාශය තමයි ඉදිරි මාස එකහමාරක කාලය තුළ ඒ කියන්නේ ජුලි මාසය අවසන් වන විට නැවත උද්ධමනය තනි ඉලක්කමකට ඒවි කියලා. එවිට අනිවාර්යයෙන්ම බැංකු පොළී අනුපාත අඩු වෙනවා. එමගින් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට නැවත හිස ඔසවන්න පුලුවන් වේවි.

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය –

ආනයන සීමාවේදී කර්මාන්තකරුවාගේ අමුද්‍රව්‍යලට ගැටලු මතුවුණා. ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග දහසකින් තවත් වැඩි ප්‍රමාණයකට මේ සතියේ දී සීමා ලිහිල් වෙනවා.

ආර්ථික අවපාතය නිසා රට ස්ථාවර මට්ටමට ගෙන යෑමට අපට දැඩි තීන්දු ගන්න සිදුවුණා. එහිදී කර්මාන්තවලට දැඩි බලපෑම් එල්ල වුණා.

අපි හැමවිටම අමුද්‍රව්‍ය ආනයනයේ දී නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගනය කළා. ඒ වගේම විදෙස් ණයවලින් සහන දුන්නා. අපි හැමවිටම මේ ක්‍ෂේත්‍රයට උදව් කිරීමට සූදානම්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) :

රටේ අර්බුදයට වගකිවයුතු කිසිවෙක් එයින් ව්‍යසනයට පත්වී නෑ. කබ්රාල් ඇතුළු නඩයටම කිසිදු ව්‍යසනයක් නෑ.

මෙතෙක් ඉදිරිපත් වූ ආර්ථික ප්‍රතිපත්තිවලින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දිරිගැන්වීමේ දිසාවක් තිබුණේ නෑ. දසක කිහිපයක සිට ක්‍රියාත්මක වූ ව්‍යාපාර කඩා වැටුණොත් ඒවා යළි පෙර ලෙස නගාසිටුවීම ඉතා අසීරුයි. ආර්ථිකය යම් ප්‍රමාණයක් ප්‍රකෘති වුවත් නැවත එම කර්මාන්ත පණ ගන්වන්න නොහැකි වෙලා.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ආර්ථිකය හැකිලවීමයි. මේ වසරේ තවත් හැකිලවීමයි ඔහුගේ අරමුණ. මේ තුළ වෙළෙඳ පොළ හැකිලීම වළක්වන්න බැහැ. ව්‍යවසායකයන්ට එය තදින්ම බලපානවා. ණය පොළී අනුපාතය සියයට 14-15 සිට සියයට 30 දක්වා වැඩි කළා. මේ නිසා ව්‍යාපාරිකයන්ගේ අරමුණු බිඳ වැටුණා. මේ පොලියෙන් මත්කුඩු ව්‍යාපාරිකයන්ට හැර කාටවත් දියුණුවක් නෑ. බැංකුවට ණය වාරිකයක්වත් දැන් ගෙවා ගන්න බැරිවෙලා. ව්‍යාපාර වෙන්දේසි වෙන තත්ත්වයටම පත්වෙලා. බැංකු විසින් ව්‍යාපාර පවරා ගැනීම වහා නැවැත්විය යුතුයි. හිතාමතා ණය ගෙවීම පැහැර හැරීමක් නොවෙයි සිදුව ඇත්තේ. මේ ගැන වහා තීන්දු ගන්න. දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියේ සිට ආනයන සීමා ලිහිල් කිරීමට තීන්දු තීරණ ගත යුතුයි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් මද්දුම බංඩාර (ශ්‍රීලපොපෙ) –

සුළු හා මධ්‍ය පරිමාණ සමහර ව්‍යාපාර බිඳ වැටීමට හේතුව සැලසුම් රහිත ක්‍රියාමාර්ගයි. මෙවැනි ආර්ථික අර්බුදයකදී ව්‍යාපාරිකයාගේ නිවැරදි ඉදිරි සැලසුම් අත්‍යවශ්‍යයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල –

ණය නොගෙවීම නිසා බැංකු විසින් ව්‍යාපාර පවරා ගැනීමට ඇති නීතිමය තත්ත්වය (පරාතේ නීතිය) වහාම නැවැත්වීමට නීති සම්මත කිරීමට පෙර චක්‍රලේඛ මගින් අත්හිටුවිය හැකියි. මීට පෙර සිදුකර තියෙනවා. දේශපාලන වුවමනාව තිබිය යුතුයි. නීති සම්මතකර ගන්න විශාල කාලයක් යනවා. වසර කිහිපයකට අත්හිටුවන්න.

අපි රට භාර දුන්නේ ඩොලර් බිලියන 7ක සංචිතයක් සහිතවයි. මේ ආණ්ඩුව සංචිතවලින් ණය ගෙව්වා. මේ නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ) –

ජනාධිපති 2048 ගැන හිතුවත් ඔහු සමග ඉන්න පිරිස ඒ ගැන හිතනවාද කියා සැකයි. ඔවුන් නිසා අද අපි ඉන්නේ 1948 කියලයි මට හිතෙන්නේ. අද රටේ පවතින තත්ත්වයට මේ ආණ්ඩුව වගකිව යුතුයි.

බැංකු හිතුමතේ ව්‍යාපාරිකයන්ට බලපෑම් කරනවා. 2020ට කලින් කුඩා කර්මාන්තකරුවන් ණය ගත්තේ අඩු පොළියට. අදඑය විශාල ලෙස වැඩිවෙලා. ඔවුන්ට සහන දෙන්න ආණ්ඩුව මැදිහත් වී නෑ.

ණය පමා සහන කාලයක් කොවිඩ් කාලයේදී කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට දුන්නා. එය යළිත් මාස හයකින් දීර්ඝ කළා. ඊට ඉල්ලුම්පත්‍ර ලක්‍ෂ 33ක් ලැබුණා. ඒ රුපියල් බිලියන 5940ක ප්‍රමාණයකට. නමුත් කුඩා කර්මාන්තකරුවන් බහුතරයකට සහන ලැබී නෑ. මේ ලක්‍ෂ 33ක ඉල්ලුම්පත්‍රවලට මොකද වුණේ. කාටද මේ සහන ගියේ. මීට ඩොලර් බිලියන 13ක ප්‍රාග්ධනයක් මහ බැංකුව මුදා හැරලා. ඒ නිසා වහාම ණය සහන ලබාදුන් සුළු පරිමාණ ආයතනවල නම් හෙළි කරන්න. පෞද්ගලික අංශය හා ස්වයං රැකියා ක්‍ෂේත්‍ර ආරක්ෂා කරගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිර ජයසේකර –

බැංකු බලෙන් කුඩා ව්‍යාපාරිකයන්ට ණය දෙනවා. නමුත් ව්‍යාපාර කඩා වැටුණු විට බැංකු ඔවුන්ට කිසිම සහනයක් දෙන්නේ නෑ.

බැංකු අතිවිශාල ලාබ ලබනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමයි ඒ ලාභවලට මුල් වන්නේ. ඒ නිසා ඒ සමාගම්වලට සහන දිය යුතුයි.

ණය ගෙවන්න බැරිවන ආයතනවලට වහාම වසර දෙකක්වත් බැංකුවලින් සහන දිය යුතුයි. ආනයන සීමා ලිහිල් කිරීමේදී අපේ අපනයන ගැන හිතන්න.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ) –

බැංකු වාරික නොගෙවීම නිසා වාහන පන්දාහකට වඩා මේ වනවිට මැර බලයෙන් උස්සලා. රටේ නීතිය තිබියදී මැර බලය යොදවන්නේ කොහොමද?

අද ඉදිකිරීම් කර්මාන්තය බිමටම වැටිලා. ගල්, වැලි, සිමෙන්ති මිල අධිකයි. ඒ වගේම විදුලි බිලත් ඊට නොදෙවෙනි ලෙස බලපාලා.

මෙපමණ ඩොලර් හිඟයක්තිබියදී සිමෙන්ති සමාගම් සිමෙන්ති ගෙන්වූවා. ඒත් සිමෙන්ති මිල අධිකයි.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම –

රට යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට කර්මාන්ත ක්‍ෂේත්‍රය ශක්තිමත් කළ යුතුයි. රජය ඒ සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කරනවා.

කර්මාන්තවලට සහන දෙන්න බැංකු හා අනෙකුත් ආයතන සමග සාකච්ඡා කරමින් පවතිනවා.

ආයෝජනවලට දිරිගැන්වීම් සිදුකරනවා. ඉන්දියාව, බංගලාදේශය, වියට්නාමය ආයෝජකයන්ට විශාල සහන දෙනවා. ඉන්දියාව ඉඩම් ආයෝජකයන්ට නිකන් දෙනවා. ඒ නිසා ලංකාව ඒ අභියෝග ජය ගත යුතුයි. ආයෝජකයන් ගෙනඒමට දිය හැකි සහන, ඇති කළ යුතු නීති ආදිය දැනටමත් සැලසුම් කරගෙන යනවා.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ) –

ව්‍යාපාර කඩා වැටීම ගැන බැංකුවලට බැනලා වැඩක් නෑ. දුර්වල ප්‍රතිපත්ති හා පරිපාලනය නිසයි ව්‍යාපාර කඩා වැටීම සිදුවන්නේ. ණය

ගෙවන්න බැරි අධික පොළී අනුපාත හා ඊට අදාළ කරුණු නිසයි.

ණය සහන කාලය දීර්ඝ කරන්න. ගෙවීමට පහසු ක්‍රමවේද හදන්න. බැංකුවලටම කරන්න බැහැ. ජාතික මට්ටමේ තීන්දුවක් රජය මහ බැංකුවත් සමග එක්ව ගන්න. මූල්‍ය අරමුදල කියන කියන පදයටම නටන්න ඕන නෑ. හදිසි දේවල්වලට හදිසි තීරණ ගත යුතුයි. මේ ප්‍රශ්නයට කෙලින් සිටගත යුතුයි.

පාර්ලිමේන්තුව නැවත අද (08දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment