හිටපු ඇමැති නසීර් කෝටි 20 ක වාහන දෙකක් ගෙදර අරන් ගිහින්

360

හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා අමාත්‍යවරයාව සිටි කාල සීමාවේදී ඒ මහතාට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී ජීප් රථ දෙක ඇමැති ධුරය අහිමි වීමෙන් පසුව ආපසු භාර නොදී සිය පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් මත මීට මාස දෙකකට පමණ පෙර නසීර් අහමඩ් මහතාගේ ඇමැති ධුරය මෙන්ම මන්ත්‍රී ධුරය ද අහිමි වූ අතර එතැන් සිට ඒ මහතාට ලබා දී තිබූ මෙම ජීප් රථ ආපසු භාර නොදී තමන් සන්නතකයේ තබා ගැනීම බරපතළ වරදක් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

අමාත්‍යවරයාව සිටි කාල සීමාවේදී නසීර් අහමඩ් මහතාට පරිසර අමාත්‍යාංශය මගින් අංක CAS – 9010 සහ CAO 4118 අංක දරන අති සුඛෝපභෝගී ජීප් රථ දෙක පාවිච්චියට ලබා දී තිබිණි.

ඇමැති ධුරය අහිමි වීමෙන් පසු ජීප් රථ දෙක නැවත භාර නොදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය ඉකුත් 07 වැනිදා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ද කරන ලදි.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පරිසර අමාත්‍යාංශය මගින් හිටපු ඇමැති නසීර් අහමඩ් මහතා දැනුවත් කළ අතර ඒ හැම අවස්ථාවකදීම ඒ මහතා කියා ඇත්තේ අදාළ වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බවයි. එහෙත් මේ වනතුරුත් වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී නැත.

මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තම අමාත්‍යාංශය මගින් නිකුත් කළ වාහන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දිය නොහැකි බවයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment