ළමා පිළිකා නිසා වසරකට ශ්‍රී ලංකාවේ දරුවන් 250ක් මියයනවා – විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා

257

ළමා පිළිකාව හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ දරුවන් 250 දෙනකු පමණ මියයන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ්් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (15 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුවට අමතරව ජාතික අපස්මාර දිනය වෙනුවෙන් ද මාධ්‍ය හමුවක් පැවැත්විණි.

ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් වසරකට ළමා පිළිකා රෝගීන් 900 දෙනකු පමණ වාර්තා වන බවද ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා මෙසේද කියා සිටියේය.

උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ හඳුනා ගන්නා පිළිකා රෝග ළමා පිළිකා විදිහට හඳුන්වන්න පුළුවන්. ලෝකයේ සාමාන්‍යයෙන් ළමා පිළිකා රෝගීන් ලක්‍ෂ 4ක් විතර හඳුනා ගන්නවා. ලංකාවේ තත්ත්වය බැලුවොත් වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් විතර හඳුනා ගන්නවා. පසුගිය වසර කීපය පුරාම බැලුවම මේ සංඛ්‍යාව ටික ටික වැඩිවෙලා තිබෙනවා. 2020 ලංකාවේ සංඛ්‍යාලේඛන බලපුවාම පිළිකා වැළඳුනු පිරිමි ළමුන් 472කුත්, ගැහැනු ළමුන් 457කුත් වාර්තාවෙලා තියෙනවා. බොහෝ ළමා පිළිකා සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. එහෙම දරුවන් සුව කරගෙන ඔවුන්ව නැවත සමාජගත කරන්න පුළුවන්.

මේ වෙනකොට ළමා පිළිකා නිසා ලංකාවේ වසරකට දරුවන් 250ක් විතර මියයනවා. දරුවන් මේ විදිහට මිය යන එක අඩුකර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා හැම දෙනාගෙම දායකත්වය අවශ්‍ය වෙනවා.

මීළඟට ජාතික අපස්මාර දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා මෙසේ කීය.

අපස්මාර මොළයේ ක්‍ෂණිකව සිදුවන විද්‍යුත් ඒකකවල වෙනස්වීමක් නිසා දකින්න ලැබෙන එක්තරා විශේෂ ස්නායු සම්බන්ධ රෝග තත්ත්වයක්. මේක සාමාන්‍යයෙන් බැලුවොත් ලෝකයේ ඕනෑම කෙනකුට හැදෙන්න පුළුවන්. අපස්මාරය සාමාන්‍යයෙන් බෝවන රෝගයක් නොවෙයි. ඕනෑම වයස් කාණ්ඩයක කුඩා දරුවකුට, පාසල් වියේ දරුවන්ට, තරුණ කාණ්ඩයට, වයසක අයට ඕනෑම කෙනකුට මේ රෝග තත්ත්වය හඳුනා ගන්න පුළුවන්.

අපස්මාර රෝගියා සාමාන්‍යයෙන් දන්නේ නැහැ කිසිම දැනුම් දීමකින් තොරව සිදුවන සිහි නැතිවීම, බලාගෙන ඉන්න අයට තමයි හිතාගන්න පුළුවන් වෙන්නේ. රෝගියා සිහිමද ගතියට මුලින් යනවා. තව සිහිය නැතිවෙන්න පුළුවන්. ඒත් එක්කම ශරීරයේ චලනයන් දකින්න පුළුවන්. ඒ තමයි අපි වලිප්පුව කියන්නේ. වලිප්පුව සිහිමද ගතියත් එක්ක ඉතාම කෙටි කාලයක් තුළදී මේ රෝගියාට අනතුරක් වෙන්න පුළුවන්. අපස්මාර රෝගය කොයි වෙලාවේ හැදෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඕනම තැනකදී අපස්මාරය හැදෙන්න පුළුවන්. වාහනයක් පදවාගෙන යන වෙලාවක, වුණත් මේක හැදෙන්න පුළුවන්. මේ අවස්ථාවල් දැකපු කෙනෙක් හුඟක් වෙලාවට බියවෙනවා. නිසි කලට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතා වැදගත්.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment