උ/නැ අර්බුදයට විසඳුම් ඉල්ලා දෙමළ පක්ෂ නායකයෝ ඉන්දීය නව මහකොමසාරිස් හමුවෙති

74

උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ඉකුත් 22 වැනිදා ගිය දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පැය දෙකක පමණ කාලයක් නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කොට ඇති අතර එහිදී මෙම ඉල්ලීම සිදු කොට තිබේ.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව විශාල වගකීමක් ඇත්තේ ඉන්දීය රජයට බැවින් වහාම එම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පැරණි වගන්ති ඉවත් කොට පරිසරයට කාලයට හා වත්මන් අර්බුදවලට ගැලපෙන ආකාරයට ව්‍යවස්ථාව යළි සංශෝධනය කළ යුතුව ඇතැයි දෙමළ දේශපාලන නායක පිරිස මහ කොමසාරිස්වරයාට ප්‍රකාශ කොට ඇත. අනතුරුව වර්තමානයට ගැලපෙන ආකාරයට සුදුසු විසඳුමක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රජය සමග ඉන්දීය රජය නිල වශයෙන් සාකච්ඡා කළ යුතුව ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ මතය වී තිබේ. මීට අමතරව දෙමළ ජනයාගේ ඉඩම් සම්බන්ධයෙන්ද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහිද බලය බෙදා ගැනීම සම්බන්ධයෙන්ද ඉන්දීය රජයේ අවධානය යොමු කොට ඒවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් කිරීමට ඉන්දියාව උත්සාහ කළ යුතු බවද දෙමළ දේශපාලනඥයෝ මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ. මේ සාකච්ඡාවට ආර්. සම්පන්ධන්, නෝහා රාධලිංගම්, එස්. ශ්‍රීධරන්, එම්.ඒ.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ගෝවින්දන් කරුණාකරන්, රාසමානික්කම් චානක්‍යන්, චාර්ල්ස් නිර්මලනාදන් යන දෙමළ දේශපාලනඥයෝ සහභාගී වී සිටියහ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment