යාපනයට ගිය බයිසිකල් සංචාරය 3
පූනරීන් – පේදුරුතුඩුව

නැවුම් සංස්කෘතියකින් වර්ණ ගැන්වූ පේදුරුතුඩුව පාර

අත්දැකීම් කියන්නේ හොඳම ගුරුවරයා . ඒ ගුරුතුමා අපිට ඊයෙ-පෙරේදා පාඩමක් කියා දුන්නා. ඒක මතක් වුණේ පළමු දවසේ මන්නාරම විජයබා හමුදා කඳවුරෙන් උදේ කෑමට පෙරැත්ත කරද්දී, අපි කෑම නොකා ගිහින් වෙච්ච දේ නිසා. (හොඳ වෙලාවට කෑම දෙකක් පාර්සල් කරලා දුන්නේ. කි.මි: 45 පමණ යන කල් මග කෑම කඩ නෑ.) ඒක පාඩමක් කරගෙන අද ගමනට පෙර උදේ ආහාරය ගත්තා. ලුතිනන් කර්නල් පුෂ්පසිරි අමරසිංහත්, කපිතාන් නලින් සේනාරත්නත් අපේ කෑම මේසය අසල සිටියේ ඊයේ රාත්‍රියේ වගතුග විමසමින්. මිත්‍රයින් දෙපළට කෘතඥතාවය පළ කර සමුගත්තත්, කපිතාන් නලින් පෙර ගමන් ආවා. ඊයේ පෝය නිමිතිකොට සැරසු බෞද්ධ කොඩි තවමත් ලෙළදෙමින් කඳවුරේ බුදු මැදුරට ආචාර පුදනවා. මමත්, චාමරත් බුදුන් වැඳ 22 විජයබා හමුදා කඳවුරෙන් සමුගන්නවා කපිතන් නලින් ඈත සිට බලන් සිටියා.

උදාහිරු හොඳින් අවදි ව සිටියත් අපට කිසිදු බාධාවක්, හිරිහැරයක් කළේ නෑ. අපිත් බයිසිකලය පැදගෙන පූනරින් හන්දියට ආවා. පාර තුනකට බෙදිලා. අප ආ මන්නාරම් පාරේ අග හිට ගත්තා ම, දකුණු පැත්ත පරන්තන් වලටත්, වම් පැත්ත යාපනයටත් බෙදෙන විදිහට පාර දෙකට ඉරිලා. චාමර පරන්තන් හන්දියේ අවුරුදු 16-17 උසස් පෙළ පන්ති යන ළමයින් කීප දෙනෙක් සමග කතාවට වැටිලා. මේ ළමුන් 6 දෙනාගෙන් එක් අයෙක් පමණයි, එක් වතාවක් හෝ කොළඹ ඇවිත් තියෙන්නේ. කොළඹ පැමිණිමට අනිත් ළමයින් ආසාවෙන් බලන් ඉන්නවා. අපිත් යෝජනා කළේ කිසිම බයක් සැකක් නැතිව කොළඹ ඇවිත් ලස්සන බලා සතුටුවෙන්න කියලා. ඔවුන්ට සමුදී අපි වැඩි කලබලයක් නැතිවම අවට නරඹමින් ඉදිරියට පැද්දා.

චාමරගේ කතාබහ ටිකක් වෙනස්. ඒ චාමර ගේ රැකියාව සමග ගැලපීම නිසා වෙන් ඇති. කතා බහේදී ලස්සන වචන එළියට දානවා. ටෙලි නාට්‍ය දෙබස් වගේ. චාමරගේ සම්පූර්ණ නම චාමර කොඩිතුවක්කු. චාමර හඳුනා ගත්තේ මේ වගේම බයිසිකල් ගමනක් ගිය බෙන්තොටදී. ඒ අවුරුදු එකහමාරකට ප්‍රථම. චාමර ටෙලි නාට්‍ය රචකයෙක්. ජාතික රූපවාහිනියේ විකාශනය වූ භවාන්තර ටෙලි නාට්‍යය චාමරගෙ නිර්මාණයක්. එම අවුරුද්දේ හොඳම පිටපත හිමි රාජ්‍ය සම්මානය ලැබුණා. අයි.ටී.එන් එකේ විකාශනය වුණු කණාමැදිරියෝ, ප්‍රාණ, තාදී ටෙලි නාට්‍ය ලිව්වේ චාමර. ටෙලි නාට්‍ය 16 ක් පමණ ලියලා තියෙනවා. කවුරුත් කතා කරපු කූඹියෝ ටෙලි නාට්‍යයේ රේඛීය නිෂ්පාදකවරයා වුනෙත් චාමර. මම චාමර හඳුන්වා දුන්නේ වෙනත් කතා බහක් නිසාම නොවේ. වෙනස් විදියට හිතන, පරිසරයට ඉතා තදින් ආදරය කරන. තමාගෙ ම අනන්‍යතාවක් හදාගත් පුද්ගලයෙක් නිසා.

දැන් දැන් තල්ගස් මණ්ඩි දෙපසින් සෘජුව හිටගෙන අප යන දෙපස බලා ඉන්නවා. හමා වූ සුළඟින් අතු හැපී ශබ්ද නඟා අපට සුබ පතනවා ඇති කියලත් හිතෙනවා. කිලෝ මීටර් 9 ක් පමණ පැදගෙන ආවා. මෙන්න අපට ඉදිරියෙන් යාපනය කිලාලි කලපුව ආඩම්බරෙන් බලා ඉන්නවා. පොලිස් මුරපොළ පසුකරමින් ගිය අප නතර වුණේ මාළු අස්වැන්න එකතු කරන වල්ලමක් ළඟයි. අවට සුන්දරත්වය විඳින ගමන් ඡායාරූප ගන්න අමතක කළේ නෑ. යාපනයේ කිලාලි කලපුව දෙකට වෙන් කරමින් කළු ගල් බැමි දෙපසින් දමා අලූතින් සාදා ඇති තනි කෙළින් පාරේ සංගුපිටි පාලම අසලට ම පැද්දා. යාපනය අර්ධද්වීපය සහ පූනරීන් ප්‍රදේශය සම්බන්ධ කරන පාලම සංගුපිටි පාළමයි. සංගුපිටි පාලම සහ අවට සිරි නැරඹීම සඳහා වෙන් කොට ඇති කොටස තුළට බයිසිකල් දෙක ඇතුල් කරනවාත් සමග හමා ආ සුළඟ අපට ආශීර්වාදයක් වගේ. වෙහෙස පාවෙලා ගියා. අප ආ ගමනේ අපිටත් සන්ධිස්ථානයක් තමයි සංගුපිටි පාලම. මේ සංගුපිටි පාලම උතුර දකුණ යා කරන මිත්‍රත්වයේ පාලමක් ලෙසයි සැලකෙන්නේ. නැත්නම් සාමයේ පාලම කිව්වත් නිවැරදියි. කිළිනොච්චි දිස්ත්‍රික්කයට මායිමේ ඇති ඒ-32 පාර. නොගැඹුරු කිලාලි කලපුව හරහා වැටී ඇති මෙම පාලම උඩට යාපනයේ සුළං බලාගාරය මෙන්ම අලිමංකඩ ප්‍රදේශයත් පේනවා. යුධ සමයේ පාලම වෙනුවට තිබ්බේ ජැටියක්. යුද්ධය තදින්ම පැවතුණු පළාතක්. 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව ආරම්භ කළ මෙම පාලම 2011 ජනවාරි 16 දා අවසන් කර ජනතා ගමනාගමනයට පවරා තිබෙනවා. ප්‍රධාන මංතීරු දෙකකින් සමන්විත සංගුපිටි පාලම දිග මීටර් 283 ක් පමණ වෙනවා. පළල මීටර් 7.4 ක්. උතුරේ ඇති දිගම පාලම මෙන්ම මාස 8 ක් පමණ කෙටි කාලයක් තුළ නිමකර තිබෙන්නෙ. රුපියල් දසලක්ෂ එක්දහස් තිස්හතක ආඩම්බර පෙනුම තාම පාලම මත්තෙ තියෙනවා. අපි සංගුපිටි පාලම ඉමහත් ආඩම්බරයෙන් වැළඳ ගත්තා. ගමනේ එක් ජයග්‍රණයක් ලෙස වින්ඳා. දවස් 4 ක නිවාඩු කාලයක් වූ මෙම සති අන්තය නිසා යාපනය දෙසට නන්දෙසින් බස් රථ පෙළට ඇදෙනවා. කාර්, වෑන් පමණක් නොවෙයි මෝටර් සයිකල්වලිනුත් උතුර බලා යනවා. මඩකලපුවේ සිට පැමිණි බස් රථයේ සිටි ළමයි කණ්ඩායම පාලම බලනවා වෙනුවට බලන් සිටියේ අපේ බයිසිකල් දිහා. අපේ ගමන ගැනත්, බයිසිකල් ගැනත් උනන්දුවක් දැක්වුවා. දෙපිරිසටම ඔවුනොවුන්ගේ භාෂාව නොතේරුණත් සිනහව, සතුට තුළින් නොබිඳිනු මිනිස් දහමේ පණිවිඩය ගැබ් ව තිබුණා. සියලූ දේ ඡායාරූප ගන්නා අතර මගේ මතකයට ගලා ආවේ මේ ගමන මුලින්ම සැලසුම් කළ හදිසියේ මියගිය මගේ මිත්‍ර ෂයිල බව. ෂයිලා ට මගේ ඇති ආදරයේ අසමසම බව. ෂයිලා නැති දුකට මගේ සිත පෙළන වේදනාව. දෙකම එකට කැටි කරලා මං හිතේ හැටියට මහ හයියෙන් ෂයිලා. කියමින් ෂයිලාට ඇහෙන්න අහස ඇමතුවා.

පැයක් පමණ පාලම අසල ගත කළ චාමරත් මමත් සංගුපිටි පාලම තරණය කළා. හදිසියේම මම නතර කළේ පාලම පසුකරනවාත් සමගම පාරේ පැත්තක රතුපාට බෝඩ් වල මිනිස් හිස්කබල සහිතව දැනුවත් කර තිබු දේ නිසයි. තවමත් බිම් බෝම්බ ඉවත් කර නැති ප්‍රදේශයක්. තවමත් යුද්ධයේ භයානක අනතුරු ඉතිරිව ඇති බවක් හැඟුණා.

තනන්කිලප්පු නාමපුවරුව පසුකරමින් යාපනය දෙසට පදිනවිට, චාමර දකුණු අතින් දකුණු පැත්තට වූ අතුරුපාරකට හැරවූයේ චාවකච්චේරිය හන්දිය දෙසට කෙටි මාර්ගයක් නිසයි. වෙල් යාය මැදින් වැටි තිබුණු පාර ගමක ස්වරූපයක් අරං තිබුණා. වැස්ස ළඟ ළඟ පැමිණෙන බව දන්නා යාපනයේ ගොවීහු මහ කන්නය වෙනුවෙන් ලහි ලහියේ කුඹුරු එක්ක කතාව. ට්‍රැක්ටර්වලින් පස අමතනවා. යාපනයේ ගොවියො මෙහෙම යාන්තමට පසේ අඟල් කීපයකට දැනෙන්න පස අස්වද්දල කියන්නෙ වැස්සත් එක්ක එකතු වෙලා එයාලගෙ ජීවිත සාරවත් කරන අස්වැන්න දෙන්න කියලයි. යාපනය කෘෂි කර්මාන්තයට ඉතා ප්‍රසිද්ධ පළාතක්. වී ගොවිතැන වගේම රතුලූනු, මිරිස්, කර්තකොලොන්බන් අඹ, දුංකොළ, කෙසෙල්, මිදි පමණක් නොව රටේ වෙනත් ප්‍රදේශවල වගා කරන එළවලූ වර්ග ද ඔවුන්ගේ ජීවිත වල වටිනාකම වැඩි කරන මිතුරන්. රතු පසින් පිරි වගා භූමියේ ගොවීන් ම සාදාගත් කොම්පොස්ට් ආහාර දුන්න ම මේ එළවලු පළතුරු ගස් මිතුරු සිතින් ගොවි අතමිට සරු කරනවා.

1970 කාලයේ පැවති සමගි පෙරමුණු රජය දේශීය කෘෂි ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. ඒ අවදියේ ගොවි හමුදාවකුත් හිටියා. කොහොම නමුත් ඒම ප්‍රතිපත්තියෙන් වඩාත් පල ප්‍රයෝජන ලැබුවේ, ගත්තේ යාපනයේ ගොවීන්. එකල පැවති සමගි පෙරමුණු රජයේ අගමැතිව සිටි සිරිමාවෝ ආර්.ඤූ. බණ්ඩාරනායක මැතිනිය යාපනයේ සංචාරයක් සඳහා ගිය අවස්ථාවේ කෘෂිකර්මාන්තයේ නිරත ගෙවිලියන් ඈට කෘතවේදීත්වය දැක්වුයේ අමුතු ආරකට. ඒ ගෙවිලියන්ගේ කෙස් කළඹ පාරේ අතුරමින් දිගෑදී අගමැතිනියට ඒ මතින් ගමන් කරන්නට පාවඩයක් මවලා.

තල් ඉති අතු කොළවලින් ඉඩම් සීමාකර ගත් ගම මැදින් ඇති පාරේ අපි පැද්දා ටික දුරක්. යාපනයට දිවෙන දුම්රිය පාර පසුකරමින් යද්දි චාවකච්චේරි හන්දිය අපේ දෑස මානයට ම ආවා. චාවකච්චේරියත් තිස් වසරක යුද්ධයේ අමතක නොවන නගරයක්. සියලූ සිද්ධි අකා මකා ගොස් වර්තමානයේ සාමයේ සතුට හිස ඔසවමින් තිබෙන බවක් දැනුණා. චාවකච්චේරි හන්දිය පාරවල් කීපයක් විහිදී යන නිසා පේදුරුතුඩුවට යන මාර්ගය සොයා ගත්තේ වෙළෙඳ සංකීර්ණයේ ඉහළ මාලයේ සිටි යුද හමුදා සොල්දාදුවෙකුගෙන්. තවමත් ආරක්ෂක අංශ ප්‍රදේශය මුරකරන බවක් දැනුණා. ඒ-9 මාර්ගයේ ටිකක් දුර ඉදිරියට යන විට චාවකච්චේරි හින්දු විද්‍යාලය හමුවුණා. ඉන් ටිකක් ඉදිරියට පදින විට ඒ-9 300 කිලෝ මීටර් කණුව ළඟ ඡායාරූපයක් ගැනීමට අපි අමතක කළේ නැහැ. ඒ-9 කියන්නේ ලංකාවේ කොයි කවුරුත් දන්නා අකුරු දෙකක්.

චාමර සමතලා පාරේ පිම්මේ පදිනවා. මීසාලෙයි පසුකර කොඩිකාමන් ආලෝක සංඥා අසලින් වමට හැරී පේදුරුතුඩුව පැත්තට පැද්දා. කොඩිකාමන් – පේදුරුතුඩුව පාර මට හැඟුණේ මට පුරුදු බවක්. ගාලූ පාරේ බේරුවල පැත්ත වගේ. පාර දෙපසින්ම පොල්ගස් වලින් පිරිලා. ඊට එපිටහින් තල්ගස්. පොල් ගස්, තල්ගස් එකට දැක්කම මතකයට ආවේ සතුට පිරිච්ච වෙනස් ම චිත්‍රයක්. යාපනයට අනන්‍ය සංස්කෘතික අංගයක් වු තල් ඉති, කොළ වැට වෙනුවට සිමෙන්ති ගල් තාප්පවලින් සහ ටකරන් වලින් මායිම් වෙන්කර තිබුණේ තම වත් පොහොසත්කම නිරූපනය කිරීමදෝ කියලත් අපට සිතුනා. අප පසු කරගෙන ආ ප්‍රදේශවල තිබූ ගෙවල් වලට වඩා මේ ප්‍රදේශයේ ගෙවල් දොරවල් පැරණි මෙන්ම විශාල, අලංකාරවත් වර්ණ ගන්වපු ගෙවල් . අපිට දැනුනු. පෙනුනු ප්‍රධාන දෙයක් තමයි මහාමාර්ග වල ඇති පිරිපුන් බව, සම්පූර්ණ බව. කොළඹවත් මෙහෙම පාරවල් නැති බව තමයි අපේ අදහස වුණේ. යුද්ධෙන් පස්සෙ උතුරට ආපු සංවර්ධනයේ යහගුණ මෙයින් පෙනෙනවා.

දැන් දවල් 10.30 විතර වෙලා. තදින් අව්ව දැනුනත් මන්නාරම තරම් සැර නැහැ. නැත්නම් අපි අව්ව එක්ක යාලුවෙලා වගේ හැඟීමක් දැනුනා. වතුර ටිකක් බී ගිමන් හරින්නට පුරන් වී ගිය පන් වැනි පැළෑටී සහිත ලස්සන වගුරු බිමක් ළඟ නතර වුණා. චිත්‍රයකට නගන්න සොඳුරු දර්ශනයක්. ගහක් කොළක් හෙවණට නැති තෙත් බිමක් නිසා විනාඩි කීපයක් පමණක් ගත කොට බයිසිකලයට ගොඩවුණා. දවල් 11.00 ට පමණ වෙනකොට කිලෝ මීටර් 55 ක් පමණ බයිසිකලය පැදගෙන පේදුරුතුඩුව හන්දියට ආවා. පේදුරුතුඩුව හන්දියේ මූලික රෝහල ළඟ විශාල ගහ බලන් හිටියෙ අපි එනකං. අපේ බයිසිකල් හේත්තු කරන්න එයා ඉඩ දුන්නා. අපි ගස් හෙවණේ බයිසිකල් නතර කළා ම ගහ අපේ ළඟට හෙවන එවලා අපේ විඩාව එයා ගත්තා. පේදුරුතුඩුව කඩමණ්ඩිය, එයගෙ හොඳ ම යාලුවා පැරණි ගැමි පෙනුම ය කියන්නා වාගේ පැරණිකම බදාගෙන එකට ඉන්න බව අපට පෙනුනා. චාමර ගෙනා සීතල බීම බෝතලය බටය හරහා උගුරෙන් පහළට ඇදෙද්දි ගත සිත සීතලෙන් වෙලුනා. තිබහ බටේ දිගේ බෝතලය පැත්තට යන්න ඇති. හරියට පපුවට කුඩයක් ඇල්ලුවා වගේ .

සටහන
හර්ෂණ ජයතිලක
ඡායාරූප
චාමර කොඩිතුවක්කු – හර්ෂණ ජයතිලක

විශේෂ ස්තූතිය
මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ

advertistmentadvertistment
advertistmentadvertistment