සද්ද බද්ද නැතිව VAT බද්ද විද්ද හැටි

133

● විශාල බදු කප්පාදුව

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු 2019 වසර අග දී සිදු කළ විශාල බදු කප්පාදුව නිසා ඒ වන විටත් පහළ මට්ටමක පැවැති රටේ බදු ආදායමට විශාල හානියක් සිදු විය. එම තීරණය නිසා බදු ආදායම තවත් අඩු වූ අතරම බදු පදනම එනම් බදු ගෙවන ආයතන සහ පුද්ගලයින් ප්‍රමාණය ද අඩු විය. පසුව මුහුණ දීමට සිදු වූ කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික කටයුතු අඩපණ වීම නිසා ද රජයට අය වන බදු ප්‍රමාණයේ අඩු වීමක් සිදු විය. මේ බලවත් අඩුපාඩු නිවැරදි කර ගැනීමේ දී රාජ්‍ය බදු ආදායම වර්ධනය කර ගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ නිසා අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප එකඟ වී ඇති ආර්ථික ගැලපුම් වැඩසටහන තුළ බදු ආදායම් වැඩිකර ගැනීමට ද කොන්දේසි ඇතුළත්ව තිබේ. ඒ වැඩසටහනට අනුව අප එම අරමුදලේ ණය වාරික ලබා ගනිමින් ඉදිරියට යෑමට නම් අප කැමති වුවත් නැතත් අනිවාර්යෙන්ම එම බදු ආදායම් ඉලක්ක සපුරාගත යුතු වේ. එහෙත් මෙරට සාමාන්‍ය පොදුජනයා සිටින්නේ තවදුරටත් බදු බරකට යටත් විය හැකි තත්ත්වයක ද යන ප්‍රශ්නය බරපතල ලෙස තිබේ.

● සාමාන්‍ය ජනයා මත පටවන බදු බර

සද්ද බද්ද නැතිව VAT බද්ද විද්ද හැටි

මේ පසුබිම තුළ රාජ්‍ය බදු ආදායම වර්ධනය කර ගැනීම සඳහා පසුගිය කාලයේ දී බදු ප්‍රතිපත්ති ගණනාවක්ම රජය විසින් ක්‍රියාත්මක කළේය. එනම් ණය තිරසාරභාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩිවන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. මේ නිසා ගිය වර්ෂයට (2022) සාපේක්ෂව මේ වසරේ (2023) මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51 කින් ඉහළ ගොස් තිබේ. එහෙත් වඩාත් වැදගත් වන්නේ මේ බදු ආදායම් වර්ධනය සිදු වී ඇත්තේ භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු හරහා ද එසේත් නැත්නම් සෘජු බදු හරහා ද යන්නයි. අප දන්නා පරිදි නම් මේ බදු ආදායම් වර්ධනයට වැඩි වශයෙන් දායක වී ඇත්තේ බහුතර ජනයා මත වැඩි බරක් පටවන වක්‍ර බදු ආදායමයි. වක්‍ර බදු වැඩි වශයෙන් අය කර ගැනීමෙන් වන්නේ තම ආදායම් මට්ටම්වලට සාපේක්ෂව වැඩි බරක් සාමාන්‍ය ජනයාට දැරීමට සිදු වීමයි. පසුගිය බදු ප්‍රතිපත්ති හරහා මේ වන විටත් සැලකිය යුතු බදු බරකට මේ රටේ ජනයා යටත්ව ඇත. මෙසේ සාමාන්‍ය ජනයා මත වැඩි බරක් පටවමින් රජයේ බදු ආදායමේ සැලකිය යුතු වර්ධනයක් සිදුව තිබුණත් තවමත් අප සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු ආදායම් ඉලක්කවලට පසුපසිනි. මේ නිසා රජයට තවත් බදු ආදායම් වර්ධනය කර ගැනීමට සිදුව තිබේ. එහෙත් එය සිදු කරන්නේ කවරාකාරයෙන් ද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ.

● තවත් වැඩිවන බදු බර

බදු වැඩි කිරීමට අදාළ රජයේ නව තීරණය දැන් ප්‍රකාශයට පත්ව ඇත. එනම් විශේෂයෙන් දැනට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බදු (වැට්) අනුපාතය ලබන වසරේ (2024) ජනවාරි 01 දින සිට සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත ද අලුතින් එම බද්ද පැනවීමට නියමිතය. එම බද්ද පනවන අලුත් භාණ්ඩ මොනවා ද යන්න අප තවමත් දන්නේ නැත. මේ වැට් බද්ද වැඩි කිරීමට සහ අලුතින් භාණ්ඩවලට පැනවීමට අදාළ යෝජනා මෙන්ම තවත් නව බදු යෝජනා කිහිපයක් 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගිය සතියේ දී ලැබිණි. වැට් බද්දේ වෙනසට අමතරව මේ කියන නව බදු යෝජනා මොනවා ද කියා අප දන්නේ නැත. ඒවා ඇතැම් විට 2024 වසර වෙනුවෙන් ගෙනෙන ඉදිරි අයවැය ලේඛනය මගින් ප්‍රකාශයට පත්වනු ඇත. කෙසේ හෝ මේ අනුව ලබන වසර (2024) මුල සිට මේ අධික බදුබර තවත් වැඩි වීමට නියමිතය.

● බදු බර දරන්නේ කෙසේ ද?

සද්ද බද්ද නැතිව VAT බද්ද විද්ද හැටි

වැට් බදු ප්‍රතිශතය සියයට 18 දක්වා තවත් සියයට 3 කින් වැඩි වීම නිසාත් අලුතින් භාණ්ඩවලට වැට් බද්ද පැනවීම නිසාත් ලබන වසර (2024) මුල සිට භාණ්ඩ හා සේවා මිල ගණන් තවත් ඉහළ යනු ඇත. වැට් බද්ද වක්‍ර බද්දක් නිසා එනම් භාණ්ඩ හා සේවා මත පනවන බද්දක් නිසා එවැනි වක්‍ර බදු බර සියලු ජනයාට දැරීමට සිදු වේ. එහෙත් මේ නිසා ධනවත් අයගේ ආදායම් මට්ටම්වලට සාපේක්ෂව අති මහත් බහුතර සාමාන්‍ය ජනයා මත වැඩි බදු බරක් ද පටවයි. මේ බදු ගෙවීමට සිදු වන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී ගෙවන මිලත් සමගමය. ඒ නිසා මේ බදු පැහැර හැරීමට පුළුවන්කමක් ද නැත. එසේ නම් වැට් බද්ද වැඩිවෙන සහ අලුතින් අදාළ වන භාණ්ඩ මිලදී නොගෙන සිටිය යුතුය. එහෙත් එසේ කිරීමට ප්‍රායෝගිකව පුළුවන්කමක් නැත. සමාජයේ ජීවත් වීමේ දී එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමට සෑම අයෙකුටම සිදු වේ. ඒ නිසා සියලු දෙනාටම මේ බදු බර දැරීමට සිදුවෙන අතර කොරෝනා වසංගතයෙන් පසු ඇතැම් අයගේ හැර පොදුවේ බහුතර ජනයාගේ ආදායම් මට්ටම්වල වැඩි වීමක් ද සිදුව නැත. ඒ නිසාත් පසුගිය කාලයේ බඩු මිල විශාල ලෙස වැඩි වී ඇති නිසාත් ජනයාට මේ බදු බරේ පීඩනය උග්‍ර ලෙස දැනෙනු ඇත. ඒ නිසා අප රජයෙන් අසන්නේ මේ බදු බර දරන්නේ කෙසේ ද යන්නයි.

● හිඟ බදු අය කර ගැනීම

රජයේ බදු ආදායම් වර්ධනය කර ගැනීමේ දී බදු පැහැර හැරීම් වළක්වා ගැනීම සහ හිඟ බදු අය කර ගැනීමට පියවර ගැනීම ද අත්‍යවශ්‍ය දෙයකි. නියමිත පරිදි රජයට සුරාබදු නොගෙවීම නිසා මේ වන විට අරක්කු නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ ආකාරයට හිඟ බදු නිසි පරිදි රජයට අය කර ගැනීමට සහ බදු පැහැර හැරීම් වළක්වා ගැනීමට තාක්ෂණය මත පදනම් වූ නව ක්‍රමවේද දියත් කිරීම ද වැදගත් වනු ඇත. මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු. බිලියන 904 ක හිඟ බදු ප්‍රමාණයක් තිබේ. මේ රු. බිලියන 904 කට අධික හිඟ බදු ප්‍රමාණය අය කර ගැනීමට එම දෙපාර්තමේන්තුවට වැඩපිළිවෙළක් තිබේ ද? බොහෝ දෙනෙක් සඳහන් කරන මේ හිඟ බදු ඉලක්කම ගැන ද යමක් කිව යුතුය. එනම් මේ හිඟ බදු ඉලක්කමේ ඇතැම් අගයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ තක්සේරු වටිනාකම්ය. මේවා සැබෑ ලෙසම අයකර ගත හැකි හිඟ බදු අගයන් නොවන බව ද අප තේරුම් ගත යුතු වේ. එහෙත් මේ ඉලක්කමෙන් සැබෑ ලෙසම අයකරගත හැකි හිඟ බදු ආදායම හෝ රජයට කඩිනමින් අය කර ගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා ප්‍රමාදයන්ගෙන් තොර කඩිනම් නෛතික ක්‍රියාවලීන් ද අවශ්‍ය වනු ඇත. මේ බදු පැහැර හැරීම් බොහෝ විට කරන්නේ බදු ගෙවීමට හැකියාව සහ ශක්තිය තියෙන අයයි. ඒ මිස සාමාන්‍ය ජනයා නොවේ. බහුතර සාමාන්‍ය ජනයා භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට මුදල් ගෙවීමත් සමගම ඔවුන් අදාළ වක්‍ර බද්ද රජයට ගෙවීම සිදුකරයි. එය පැහැර හැරීමට පාරිභෝගික ජනයාට නොහැකිය. රජය විසින් එම වක්‍ර බදු පසුව ව්‍යාපාරිකයින්ගෙන් එකතු කර ගනී. එහෙත් මේ වැට් ඇතුළු මහජනයා විසින් දැනටමත් රජයට ගෙවා ඇති වක්‍ර බදු පවා ඇතැම් ව්‍යාපාරිකයින් රජයට නිසි පරිදි නොගෙවයි. අනිත් අතට ආදායම් බදු ගත් විට බදු පැහැර හැරීම් මෙන්ම නිවැරදි බද්ද නොගෙවන අවස්ථා ද තිබේ. මේ බදු පැහැර හරින පිරිස් හඳුනාගෙන බදු දැලට එකතු කර ගැනීම මෙන්ම හිඟ බදු එකතු කර ගැනීමට කඩිනම් පියවර ගැනීම අප දකින්නේ තව තවත් සාමාන්‍ය මහජනයා මත අධික බදු බර නොපැටවීමට ලැබෙන අවස්ථාවක් ලෙසයි. එසේ නම් ඒ අවස්ථාව රජය සහ ආදායම් පරිපාලකයින් ප්‍රයෝජනයට ගත යුතු වේ.

● බදු දැල පුළුල් කර ගැනීම

ගිය බදාදා (01) ‘බදු දැල සහ දැලේ ප්‍රමාණය’ මැයෙන් පැවති දෙරණ ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට සහභාගි වීමට මේ ලියුම්කරුට ද අවස්ථාව ලැබිණි. එහිදී අප පැහැදිලි කළේ ලේසියට කෙටිකාලීනව වක්‍ර බදුබර වැඩිකළත්, දිගුකාලීනව අවශ්‍ය කරන්නේ සෘජු බදු ආදායම් වැඩි කර ගැනීම බවයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ වක්‍ර බදු බර අධික ලෙස වැඩි කිරීම නොව බදු දැල පුළුල් කර ගනිමින් රටේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සහ ආයතන ප්‍රමාණය එනම් බදු පදනම තවදුරටත් වර්ධනය කර ගැනීමයි. ඒ හරහා රජයට වැඩි බදු ආදායමක් උපයා ගැනීමයි. රජය විසින් මේ වන විට බදු දැල පුළුල් කර ගනිමින් බදු පදනම වැඩි කර ගැනීමට කටයුතු කරමින් ද සිටී. මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු බැඳියාව ඇති අය සඳහා නව බදු ලිපිගොනු විවෘත කරමින් ද සිටී. එය තරමක් කල්ගත වන ක්‍රියාවලියක් වුවත් දිගුකාලීනව අවශ්‍ය කරන්නේ එසේ බදු ගෙවීමට හැකියාව සහ ශක්තිය ඇති අයගෙන් වැඩි බදු ආදායමක් උපයා ගැනීමයි. එනම් සෘජු බදු ආදායම් උපයා ගැනීම වර්ධනය කර ගැනීමයි. කෙසේ හෝ සාමාන්‍ය ජනයා මතම අධික වක්‍ර බදු බරක් පටවා ලබන රාජ්‍ය ආදායමේ වර්ධනය ගැන අපට සතුටු විය නොහැකිය. ලබන වසර (2024) මුල සිට වැට් බදු වැඩි කිරීම හරහා සිදු වන්නේ ද එවන් දෙයක්ම බව කිව යුතුය.

● විපක්ෂ නායකගේ ප්‍රකාශය

පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ බදු වැඩි කිරීම ගැන ප්‍රකාශයක් කර තිබුණි. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබුණේ වර්තමාන ආණ්ඩුව තුන් වැනි වතාවටත් විදුලිය වැඩි කර මේ රටේ විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කර ඇති බවත් ප්‍රතිගාමී බද්දක් වන මෙය තමන්ගේ ආදායම කුමක් වුවත් හැමෝටම එක හා සමාන බද්දක් ලෙස ගෙවීමට සිදුවන හෙයින් මෙය පහත් ක්‍රියාවක් බවයි. මේ සඳහා විකල්පයන් විමසා විවිධ පුද්ගලයන් විවේචන සිදු කරන බවත් ඔවුන්ට අවශ්‍ය විකල්පය පැහැදිලි කිරීමට තමා සූදානම් බවත් ඔහු කියා තිබුණි. ඒ අනුව වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බවත් එය විනිවිදභාවයකින් ඩිජිටල්කරණයට ලක් කරනවාට සමහර පුද්ගලයන් විරුද්ධ වී උද්ඝෝෂණ ආදිය සිදු කරන බවත් යම් හෙයකින් ඩිජිටල්කරණයක් සිදු කළ හොත් හොරකම අඩුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබිණි. එසේම කෝටි ගණන් මුදල් උපයන මුත් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් නිවැරදිව බදු අය කර ගැනීමත් දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කළ යුතු බවත් මෙම සමාගම්වලට අනවශ්‍ය ලෙස ලබා දී ඇති බදු සහන තුළින් කිසිදු ප්‍රතිලාභයක් රටට අත් නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ක්‍රමවේද හරහා වැට් බදු වැඩි නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවයි. විපක්ෂ නායකවරයා කියන මේ කරුණුවලට පදනමක් තිබෙන අතර ඇත්ත වශයෙන්ම දිගුකාලීනව අවශ්‍ය වන්නේ මේ කරුණු බව ඇත්තය. එහෙත් දැන් රජයට සිදුව ඇත්තේ අයිඑම්එෆ් කොන්දේසි සපුරා ගැනීම සඳහා කඩිනමින් කුමන හෝ ක්‍රමයකින් බදු ආදායම වර්ධනය කර ගැනීමට ය. ඒ සඳහා පහසුම දෙය කිරීමට රජය තීරණය කර තිබේ. එනම් භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු වැඩිකර බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමටයි. මේ ආකාරයට රජය කටයුතු කිරීම නිසා තවමත් මුළු බදු ආදායමින් සියයට 80 ක් පමණම තිබෙන්නේ වක්‍ර බදු ආදායමයි.

● උද්ධමනයට ඇතිවෙන බලපෑම

උද්ධමනය යනු බඩු මිල වැඩි වීමේ වේගයයි. ගිය වසරේ (2023) දී සියයට 70 ක් දක්වා වේගයෙන් උද්ධමනය ඉහළ ගිය නිසා ඒ හරහා අති විශාල මිල පීඩනයකට මේ රටේ බහුතර ජනයා මුහුණ දුන්නේය. මේ වන විට එම අධික උද්ධමනය සැලකිය යුතු ලෙස අඩු වී සියයට 1.5 කට පමණ අඩු වී ඇත. එහෙත් එහි අදහස බඩු මිල අඩු වී ඇති බව ද? නැත. සිදුව ඇත්තේ තවදුරටත් බඩු මිල වර්ධනය වන වේගය අඩු වීමයි. ඒ නිසා එම අධික බඩු මිලේ පීඩනයට එලෙසම මහජනයා මුහුණ දී සිටින අතර එම පීඩනය තවත් වැඩි වීම පමණක් පාලනය වී ඇත. එහෙත් රජයේ නව තීරණයත් සමග වැට් බද්ද තවත් සියයට 3 කින් වැඩි වීම නිසා එම බද්ද අදාළ භාණ්ඩවල මිල ගණන් සහ එම බද්ද අලුතින් පනවන නව භාණ්ඩවල මිල ගණන් ද ලබන වසර (2024) මුල සිටම ඉහළ යෑම සිදු වේ. එසේම මේ බදු වැඩිවෙන ප්‍රතිශත කලින්ම ප්‍රකාශයට පත් වීම නිසා වෙළෙඳුන් දැන් සිටම එම භාණ්ඩවල තොග රැස් කිරීමට ද ඉඩ තිබේ. කෙසේ හෝ මේ අනුව ඉදිරි කාලය තුළ මේ වක්‍ර බදු වැඩි කිරීම හරහා සිදු වන්නේ බඩු මිල තවත් වැඩි වී මෙතෙක් අඩු වූ උද්ධමනය ද කිසියම් දුරකට නැවත වර්ධනය වීමයි. මේ වැඩිවෙන බඩු මිලට මෙන්ම බදුබරට සාපේක්ෂව ජනයාගේ මූර්ත ආදායම්වල වර්ධනයක් සිදුව නැත. මේ දෙය රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් ඇතුළු සියලු දෙනාට පොදු කාරණයකි. එහෙත් මේ සඳහා ලක්ෂ 14 ක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සැලකිය යුතු අගයකින් වැඩි කිරීමෙන් වන්නේ ඒ බරත් දැනටම විශාල පීඩනයකට පත්ව සිටින අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත පැටවීමයි. රාජ්‍ය සේවක වැටුප් රු. 12500 කින් වැඩි කිරීමට රජය සූදානම් වන බවට ද මාධ්‍ය වාර්තා පළ වී ඇත. රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන අගය අප හරියටම දන්නේ නැත. කෙසේ හෝ රාජ්‍ය සහ පෞද්ගලික භේදයකින් තොරව පොදුවේ සියලු සේවකයන්ගේ මෙන්ම අනෙකුත් මාසික වැටුප් නොලබන ජනයාගේ පවා මූර්ත ආදායම් විශාල ලෙස කඩා වැටීමකට ලක්ව ඇති නිසා මෙවැනි මොහොතක රාජ්‍ය සේවක වැටුප් විශාල ලෙස වැඩි කිරීම සාධාරණ පිළිවෙතක් නොවේ. කොරෝනා වසංගතයෙන් පසු ඇතැම් පෞද්ගලික අංශවල වැටුප් වැඩි වීමක් සිදුවෙලාම නැත. ඇතැම් වැටුප් වැඩි වීම් සිදුව ඇති පෞද්ගලික ආයතනවල පවා සිදුව ඇත්තේ ඉතා සොච්චම් වැටුප් වැඩිවීම් ය. මේ නිසා තවමත් ඍණ ආර්ථිකයක සිටින අප එම අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත අධික බදු බර පටවා රාජ්‍ය සේවක වැටුප් විශාල ලෙස වැඩි කිරීමට පියවර ගැනීම සුදුසු පිළිවෙතක් නොවන බව අප විසින් රජයට සිහිපත් කර සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment