ලංකා බැංකුව, විවිධ හේතු මත බිඳ වැටුණු සිය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර නැවත ගොඩනැංවීම සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් ව්‍යාපාර පුනර්ජීවන සහ පුනරුත්ථාපන ඒකකයක් (BRRU) පිහිටුවා ඇති අතර, එම ඒකකය මගින් වර්තමානය වන විට සුවිශේෂී කාර්්‍යභාරයක් ඉටු කරයි. එම ඒකකය හා සම්බන්ධ ලංකා බැංකු ගනුදෙනුකරුවන් වෙනුවෙන් පසුගිය දා පැවැත්වූ ‘ව්‍යාපාර පුනර්ජීවනය’ පිළිබඳ සැසියක් සාර්ථක ව නිමාවට පත් විය. මහාචාර්ය අජන්ත ධර්මසිරි, ධම්මික ලොකුගේ සහ එම්.එස්.කේ. ධර්මවර්ධන යන කීර්තිමත් වෘත්තිකයින්ගෙන් සැදුම් ලත් දේශක මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලැබූ මෙම සැසිය, ගනුදෙනුකරුවන්ගේ ව්‍යවසායකත්ව සහ ව්‍යාපාරික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විය. විවිධ සාකච්ඡාවලින් මෙන්ම ජාලකරණය පිළිබඳ සැසියකින් ද සමන්විත වූ මෙම සුවිශේෂී වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගී වූ අතර, ලංකා බැංකුවේ සභාපති, ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා සහ මහා කළමනාකරු රසල් ෆොන්සේකා යන මහත්වරු මෙම සැසිය සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දුන්හ.

ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රෝහණ කුමාර මහතාගේ යටතේ ආරම්භ වූ බැංකුවේ මෙම ව්‍යාපාර පුනර්ජීවන සහ පුනරුත්ථාපන ඒකකය (BRRU ) සම්ප්‍රදායික බැංකු සේවාවන්ගෙන් ඔබ්බට යමින්, ව්‍යාපාර පුනර්ජීවනය කිරීම සඳහා ගනුදෙනුකරුවන් වෙත සහයෝගය ලබා දීමේ අරමුණින් ආරම්භ කරන ලද විශේෂ අංශයකි. මෙම විශේෂ ඒකකයේ ක්‍රියාකාරිත්වයට සමගාමීව, ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරික දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු අදාළ සැසිය සඳහා ලංකා බැංකුවේ ව්‍යාපාර පුනර්ජීවන සහ පුනරුත්ථාපන ඒකකයේ සේවාව ලබා ගත් ගනුදෙනුකරුවන් ඇතුළු ව 200 කට අධික පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment