කාර් සේල් සොහොන් පිට්ටනි වෙලා වාහන මිල නහුතෙට නැගලා

470

මේ වන විට මෙරට වෙළෙඳ පොළේ මෝටර් රථ මිල ගණන් දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි මෝටර් රථ ආනයනකරුවෝ පවසති.

ඉකුත් වසරේ කොරෝනා වෛරසය පැතිරීමත් සමග පිටරටින් වාහන ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට රජය ගත් තීරණයත් සමග පාවිච්චි කළ (සෙකන්ඞ් හෑන්ඞ්* වාහනවල මිල ගණන් ක‍්‍රමක‍්‍රමයෙන් ඉහළ යෑමට පටන්ගත් බවත්, එසේ මිල ඉහළ යෑම නිසා වාහන මිල මේ වනවිට දෙගුණයකින් පමණ වැඩි වී ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප‍්‍රසාද් කුමාරතුංග මහතා පැවසීය.

ඒ අනුව රුපියල් ලක්ෂ 40 කට පමණ මිල නියම වී තිබූ වෙසල්ස් සහ පියර්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 80 දක්වා ඉහළ ගොස් ඇති අතර ලක්ෂ 60 ට තිබූ වාහන මිල ලක්ෂ 120 දක්වා වැඩි වී ඇතැයිද ඒ මහතා කීය.

මේ වනවිට වාහන ආනයනය කර වාහන ව්‍යාපාරයේ නිරත වූ ලක්ෂ පහකට සිය ආදායම් මාර්ග අහිමි වී ඇතැයිද කුලතුංග මහතා කීය. වාහන ව්‍යාපාරයෙන් ජීවත් වූ අයට අත්වී තිබෙන ඉරණම පිළිබඳව රජයේ අවධානය යොමු වී නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව වැගන් ආර් රථයක මිල රුපියල් ලක්ෂ 35 සිට ලක්ෂ 65 දක්වාත්, ටොයොටා ප‍්‍රීමියෝ රථයක මිල ලක්ෂ 90 සිට ලක්ෂ 200 දක්වාත්, ලෑන්ඞ් කෲසර් ප‍්‍රාඩෝ රථයක මිල රුපියල් ලක්ෂ 200 සිට ලක්ෂ 500 දක්වාත් දෙගුණයකටත් වඩා මිල ගණන් වැඩිවී ඇත.

ඉකුත් 2020 මාර්තු මස 19 වැනිදා සිට වාහන ආනයනය නතර කිරීම නිසා ඉන්දියන් හා අනෙකුත් සියලූම වාහන මිල මෙලෙස දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ද, ලියාපදිංචි නොකළ වාහන නොමැති නිසා කාර්සේල් පාළු සොහොන් පිටි බවට පත්ව ඇතැයි ද කුමාරතුංග මහතා ‘දිවයින’ට පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment