අනුන් පෙළන්නෝ!

34

එක්සත් ජාතීන්ගේ දෙවැනි මහලේකම්වරයා වූයේ ස්වීඩනයේ ඩැග් හැමර්ෂල්. ඔහු කෙළින් වැඩ කළ හා මහ බලවතුන්ට හිස නොනැමූ අදීන නායකයකු ලෙස ඉතිහාසගත වී තිබෙනවා. ඇතැම් බලවතුන්ට වුවමනා වූයේ තම න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කරන මහලේකම්වරයෙක් වුවත් ඩැග් හැමර්ෂල්ගෙන් කළේ ඊට විරුද්ධ දෙයක්. කිසිවෙකුට පක්ෂපාතී හෝ පක්ෂග්‍රාහී වෙනවා වෙනුවට මධ්‍යස්ථ හා සාධාරණ ලෙස ක්‍රියා කිරීම ඔහු තුළින් සිදුවුණා.

වරක්, අමෙරිකාව කුමන්ත්‍රණයකින් ගෝතමාලාවේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් රජය පෙරළා අධිකාරිවාදී පාලනයක් ස්ථාපිත කළා. ඒ මොහොතේ මහලේකම් ඩැග් හැමර්ෂල් ඊට එරෙහි වෙමින් අමෙරිකාවේ ක්‍රියාකලාපයට ප්‍රසිද්ධියේ විරුද්ධ වුණා. එදා ඔහු බි්‍රතාන්‍යයේ යටත්විජිතවාදයට අමෙරිකාවේ බලයට හා දකුණු අප්‍රිකාවේ වර්ණබේදවාදයට ප්‍රසිද්ධියේ එරෙහි වුණා. වරෙක සෝවියට් දේශය, මහලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් ගෙන ආවා. ඒ අවස්ථාවට මුහුණ දුන් ඩැග් හැමර්ෂල් අපූරු ප්‍රකාශයක් කළා.

“ඉල්ලා අස්වීම පහසුයි. දුෂ්කර වන්නේ රැඳී සිටීමයි. බලවත් රටක අභිලාෂයන්ට හිස නැමීම පහසුයි. ඊට එරෙහි වීම අභියෝගයයි.”

ඔහුගේ මධ්‍යස්ථ පිළිවෙතේ අවසන් ප්‍රතිඵලය වූයේ ගුවන් ගමනක යෙදී සිටි ඩැග් හැමර්ෂල් හදිසි හා අබිරහස් ගුවන් අනතුරකින් මිය යෑම. එය අදටත් ලෝකය කතාබහ කරන එහෙත් පිළිතුරක් නොමැති අබිරහස් මරණයක්.

“සංවර්ධනය වෙමින් පවතින රටකින් පැමිණි මා පුරුදු පුහුණු වී ඇත්තේ අන්තර්ජාතික නීතිය හා රාජ්‍ය තාන්ත්‍රිකත්වයට ගරු කිරීමටයි. බලවතුන් ද එසේ කරනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් රෝම අධිරාජ්‍යයට නීතිය හා රාජ්‍ය තාන්ත්‍රිකත්වය අවශ්‍ය නොවූවා සේම අමෙරිකාවට ද ඒවා අවශ්‍ය වූයේ නැත.”

වරක් මෙහෙම ලීවේ බුත්රෝස් බුත්රෝස් ඝාලි මහලේකම්වරයා. ධුර කාලය තුළ මුහුණ දුන් ලොකුම ප්‍රශ්නය අමෙරිකාව බව ඝාලි වරෙක එක්සත් ජාතීන්ගේ හිටපු අමෙරිකානු තානාපති හා රාජ්‍ය ලේකම් මැඩ්ලින් ඔල්බ්‍රයිට් හට කියා තිබුණා.

බලවත් රටවල් බොහෝවිට දුබල රටවල ප්‍රශ්න දෙස බැලුවේ “බොරදියේ මාළු බාන” රටාවටයි.

එහි ප්‍රතිඵල ලෙස බොහෝ කුඩා ප්‍රශ්න බරපතළ තැනකට තල්ලු වූ අවස්ථා එමටයි.

ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුණක්. 1993 දී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වූ සාම සාකච්ඡාවල අවසාන අදියරේ දී ජෙරුසලම පිළිබඳ තීරණය කිරීමට නියමිතව තිබුණා.

කෙසේවුවද, 2017 වර්ෂයේ දෙසැම්බර් මස ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා තෙක් ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආධිපත්‍යය ජාත්‍යන්තරය පිළිගනු ලැබුවේ නැහැ. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම ඉවත් කරගන්නා ලෙස අමෙරිකාවෙන් ඉල්ලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ඉදිරිපත් වූ යෝජනාවට එම මණ්ඩලයේ බහුතර සහය ලෙස රටවල් 128ක සහය ලැබුණා. යෝජනාවට විපක්ෂ වූයේ රටවල් නවයයි.

නමුත් අමෙරිකාව සිය නිෂේධ බලය එහිදී පාවිච්චි කළා. බලවතුන් විසින් පීඩිතයාව පෙලීම බරපතළ ඛේදවාචකයක්.

දශක හයකට පමණ පෙර ලංකාව හා චීනය අතර ඇතිවූ “රබර් සහල් ගිවිසුම” වෙළෙඳ ගිවිසුමකට වඩා කල්‍යාණ මිත්‍රත්වයේ සංකේතයක් වූ විශිෂ්ට බැඳීමක් බව අප වටහාගත යුතුයි.

ඒ මොහොතේ විපක්ෂ නායකයා වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මැදිහත්වීම ද ඉතාම ප්‍රසස්ථයි. ජේ. ආර්. ජයවර්ධන හා සර් ජෝන් කොතලාවල යන මහත්වරුන්ගේ විරෝධය මධ්‍යයේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා චීනය සමග වාණිජ සම්බන්ධතා ඇතිකරගත් ආකාරය ද මෙහිදී සිහිපත් කළයුතුයි.

1945 දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානයට බරපතළ හානි වුණා. ජපානය යුද්ධය ජයගත් මිත්‍ර පාර්ශ්වයේ රටවල්වල පයට පෑගුණා.

1951 වසරේ සැප්තැම්බර් මස 4 වැනිදා ය. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී සාම සමුළුව ආරම්භ වුණා. සියලු දෙනා එදා ජපානයට එරෙහිව අවි ඔසවද්දී ලංකාවේ ජේ. ආර්. ජයවර්ධන මහතා මුළු සභාවම සිය වසඟයට ගත්තා.

තම දේශනය අවසන් කරමින් පවසා සිටියේ; “මෙම ගිවිසුම පරාජිත සතුරෙකුට සාධාරණ වන තරමට උදාර වන්නේය. අපි ජපන් රටට මිත්‍රත්වයේ හස්තය දිගු කරමු. මිනිස් ඉතිහාසයේ අද අප ලියන අවසාන පිටුව සහිත පරිච්ඡේදයේ පළමු පිටුව ආරම්භ කිරීමත් සමඟ, මිනිස් ජීවිතයේ පූර්ණ උදාරත්වය සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතුව භුක්ති විඳීම සඳහා ජපන් රටේ හා අපේ ජනතාව එකාවන්ව ඉදිරියට යනු ඇතැයි අපි විශ්වාස කරමු” කියායි.

වැටුන රටකින් වන්දි ගැනීම නොව වැටුණු රටකට අත දීමයි අප සිදු කළ යුත්තේ.

චීනයයි ඉන්දියාවයි ගැටුම් ඇති කර ගන්නකොට ලංකාව වගේ පුංචි රටකට එය සාමදානය කර ගන්න හැකි වුණා.

රටක විදෙස් පිළිවෙත සකස්විය යුත්තේ මිත්‍රශීලීත්වය පෙරදැරිව.

කිසිවෙකුට අනෙකා පෙළීමට අයිතියක් නැහැ. ඒ වගේම සර්ව සාධාරණත්වය උදෙසා පිහිටුවා ඇති ලෝක සංවිධාන කටයුතු කළ යුත්තේ කිසිවකුට පක්ෂපාතීව නොව සාධාරණත්වය මත පදනම්වයි.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment