ගෙවත්තේ නෑයෝ!

26

දැන් අපි පසු කරමින් සිටින්නේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපන දශකය (The decade of ecosystem restoration). 2022 වසරේ පරිසර දිනයේ දී තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) මේ දශකය ප්‍රකාශයට පත් කළේ. ඊට සමගාමීව ලොව පුරා විවිධ ප්‍රදේශවල විවිධ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපන කටයුතු සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවත් ඊට අයත්.

මට අද ඔබට ඉදිරිපත් කරන්න යෝජනාවක් තිබෙනවා. ඒක ප්‍රශ්නයක් විධියට ගන්නත් පුළුවන්. මගේ යෝජනාව තමයි ඔවුන්ටත් ඔබේ ගෙවත්තේ ඉඩක් දෙමු ද? කාට ද? ඔබ කල්පනා කරනවා ඇති. උත්තරය අපේ ඉපැරණි මිතුරන් වන අප අවට ජීවත් වන වනසතුන්ට සහ ගහ කොළට. මොක ද ඔබ කියන්නේ?

නාගරික හා උප නාගරික ප්‍රදේශවල ඉතා කුඩා බිම් කට්ටිවලට සීමා වී සිටින ඔබ කල්පනා කරනව ඇති අපි කොහොමද තව කාටවත් ඉඩක් දෙන්නේ කියලා. නෑයෙකුට වුණත්! ඇත්තට ම අපට එහෙම කරන්න පුළුවන්! ශ්‍රී ලංකාව වගේ ම ලෝකයේ අපටත් වඩා නාගරික සහ අධි නාගරික කලාපවලත් වනසතුන්ට ජීවත් වෙන්න, ඔවුන්ගේ නේවාසිකවලට ඉඩක් වෙන්කර දී තිබෙනවා. මේ භාවිතාවන් සහ අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා සංකල්ප, න්‍යායන් සහ ආකෘති ආදියත් නිර්මාණය වී තිබෙනවා. නමුත් අපි වැඩි අවධානයක් යොමු කරන්නේ ඔබ කොහොමද “නෑයකුට” ඉඩක් දෙන්නේ කියන එක ගැන කතා කරන්න.

මෙතැනදී ගස්කොළං වනජීවීන් කියන්නේ මහ විශාල ගස් සහ විශාල වනසතුන් ගෙවතුවලට ගෙන ඒමක් ගැන නොවෙයි. කුහුඹුවෙක්, බත් කූරෙක්, සමනලයෙක්, මීමැස්සෙක්, ගෙම්බෙක්, කටුස්සෙක් හෝ කුරුල්ලෙක් ගැන ඔබට හිතන්න පුළුවන්. බොහෝ වෙලාවට දෛනික ජීවිතයේ වැඩි අවධානයක් නොලැබෙන සතුන්! ගස් කොළං නම් ඔබගේ නේවාසිකයේ ස්වභාවය අනුව ගළපාගත හැකියි.

අපි සමනලුන් උදාහරණයට ගමු. රෝස මලේ පැණි බීලා ගිය රන්වන්පාට සමනලයා ගැන අපි කවුරුත් දන්නවා. ශ්‍රී ලංකාවේ සමනල විශේෂ 248ක් පමණ ජීවත් වෙනවා. එයිනුත් විශේෂයෙන් ම 31ක් විතර ශ්‍රී ලංකාවේ විතරයි ජීවත් වෙන්නේ. සමනලුන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න එකිනෙකට වෙනස් ශාක තෝරා ගන්නවා. විශේෂයෙන් ම බිත්තරවලින් පිටතට පැමිණෙන දළඹුවන් පෝෂණය කරන්නේ මේ ශාක පත්‍ර. දළඹුවන් සමනලයන් වූ පසුවත් ඔවුන් පෝෂණය කරන්න ශාක අවශ්‍ය වෙනවා. ඉතින් අපට පුළුවන් ඔබේ ගෙමිදුලේ මේ ශාකවලට ඉඩක් දුන්නොත් නිරායාසයෙන් ම සමනලුන් ඔබේ සමීපයට කැඳවා ගන්න. බත්කූරන් වගේ විශේෂත් එහෙමයි. ඔබගේ වත්තේ කුඩා පොකුණක් වගේ ජල තලයක් තිබේනම්, එය ඔවුන්ට වඩාත් ආකර්ශනීය තැනක් වේවි.

ඒ වගේ ම ඔබට පුළුවන් මී මැසි ජනපදයකට ඔබේ ගෙවත්තේ ඉඩක් වෙන් කරන්න. අධිනාගරික කේන්ද්‍රයක් වන ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගර මධ්‍යයෙත් හොඳින් අස්වනු දෙන මී මැසි ජනපද පවත්වාගෙන යනවා. ඒ වගේ ම එහි තිබෙන අක්කර 843ක් පමණ වන මධ්‍ය නාගරික උද්‍යානයේ (The central park) ශාක හා සත්ත්ව විශේෂ 571කට නේවාසික සපයන බව කියනවා. මේ කියන්නේ අධිනාගරික කේන්ද්‍රයක් මධ්‍යයේ තිබෙන සහ වසරකට මිලියන 42ක් පමණක් ම මිනිසුන් ගැවසෙන ස්ථානයක් ගැන! ඉතිං අපිට බැරි ඇයි?

ඔබේ ගෙවත්තේ තිබෙන ඵල දරන ගසක් දිහා බලන්න. ඒ ගස සත්ත්ව විශේෂ කීයකට ජීවත් වෙන්න උපකාර වෙනව ද කියලා. සමහරවිට එය ඔබ නොදකින්න සහ නොදැනෙන්නත් පුළුවන්. නමුත් සේවය නිරායාසයෙන් අඛණ්ඩව ම සිදුවෙනවා. හිතලා බලන්න ඔබගේ ගෙවත්තේ ගසක් නැති වුණත් කජු, පුවක්, දොඹ, කොට්ටම්බා හෝ මී වගේ බීජ ඔබේ ගෙවත්තට එන්නේ මොන මායා බලයකින් ද කියලා. ඒ තමයි සොබා දහමේ සොඳුරු මායා බලය.

ගෙවත්තේ කරන ඕනෑම වැඩක දී මුලින් ම ගස්කොළං ටික කපලා දානවා වෙනුවට, ජීව නාශක රසායනික විසුරවීමේ විනෝදය වෙනුවට ඔබට පුළුවන් ඔබේ “නෑයන්” ආරක්ෂා කරගෙන හෝ අවම හානියක් වන අයුරින් ඔබේ කාර්යය කළමනාකරණය කරන්න. දැන් ඒවාට නොමිලේ උපදෙස් සහ පහසුකම් සපයන ආයතන ද තිබෙනවා.

මාර්ග දෙපස සහ උද්‍යාන වැනි පොදු ස්ථානවල තිබෙන මී, කොට්ට පුළුන්, වගේ ගස් රාත්‍රී කාලයේ මාවවුලන්ට ආහාර සපයන ප්‍රධාන මූලාශ්‍ර වනවා. සමහර විශාල ගස් පක්ෂීන්ට නේවාසික සහ ලැගුම්පළවල් වනවා. මේ සතුන්ගේ අඛණ්ඩ පැවැත් ම තහවුරු කිරීමට මෙවැනි ස්ථාන ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වනවා. සුළුවේලාවකට පැමිණෙන දේශපාලන ප්‍රභූන් වෙනුවෙන් බඹර, දෙබර විනාශ කරන සහ හදිසි අනතුරකට පස්සේ අග නගරයේ තිබෙන පැරණි ගස් ඉවත් කරන්න තීරණ ගන්න රටක මේක ටිකක් අමාරු වැඩක් තමයි. නමුත් කරන්න බැරි දෙයක් නෙමෙයි.

ඔබ ජීවත් වන තැන හොඳින් ඉඩකඩ තිබෙන තැනක් වුණත් නොවුණත් ඒ ඒ අවකාශය අනුව ඔබට පුළුවන් ජීවදැලේ සෙසු සාමාජිකයන්ට නැත්තං අපේ නෑයන්ට ජීවත් වෙන්න තැනක් ඔබ සමීපයේ නිර්මාණය කරන්න. ඒක නාගරික තට්ටු නිවාසයක සඳළු තලයක හෝ පියැසි තලයක සිට විශාල ගෙවතු තිබෙන ග්‍රාමීය ප්‍රදේශයක් දක්වා වපසරියක විය හැකියි. වඩා වැදගත් දේ අනිකෙකුට ඉඩක් දෙන්න තරම් පුළුල් හදවතක් සහ ගැඹුරු චින්තනයක් ඔබට තිබෙනවා ද කියන එකයි. එහෙම තිබෙන ඔබට ඉඩක් හොයාගන්නවා කියන එක මහ දෙයක් නෙවෙයි.

ඔබ අවටින් ඇසෙන කුරුලු නාද, මී මැස්සන්ගේ ගුමු ගුමුව, අලංකාර සමනලුන්ගේ වර්ණ, රාත්‍රියේ ඇසෙන බස්සෙකුගේ හෝ ගෙම්බෙකුගේ

සරාගික ආරාධනයක් ඔබේ විඩාබර සිතට සැනසීමක් එක් කරනු ඇති. ඒ විතරක් ද? හරිත ගස්වැල් පඳුරුවලින් සෙවණ කරන ලද ඔබේ ගෙවත්ත ඔබේ සිතට, ගතට සිසිල වගේ ම ඔබේ දෑසට ප්‍රිය උපදවන දර්ශනයක් වනවාට කිසිම සැකයක් නැහැ. එය කාර්යබහුල ජීවන රටාවක් ගෙවන ඔබට ඔබේ නිවස ආකර්ෂණීය තැනක් කරගන්නත් හේතු වනවා. ගසක දලු, කොළ නැඟෙන හැටි, මල් පිපී සුවඳවත්ව පලදරන හැටි ඒ සමග සතුන් දක්වන සබඳතා දකින ඔබට ඔබේ ජීවිතයත් හැමදාම නව ජවයකින් සහ අලුත් බලාපොරොත්තුවලින් පුරවා ගතහැකියි. මේ ප්‍රායෝගික ජීවන විධිය සොබාදහම ඔබේ ගෙවත්තට, නැතිනම් ඔබේ කුටියට ම වුවත් කැන්දන් ඒමට සමත්.

ඒ විතරක් නොවෙයි, ඔබ මේ කරන්නේ ඍජුව ම සංරක්ෂණයට දායක වීමක්. අපේ ක්‍රියාකාරකම් නිසා ම ජීව විශේෂ වඳ වී යන කාලයක අපි ඔවුන්ට ජීවත් වෙන්න ඉඩක් හදලා දෙන එක මොන අර්ථයෙන් ගත්තත් යහපත් ක්‍රියාවක්. ඒක ඔබේ අභිමානයට සහ ආත්ම තෘප්තියට හේතුවක්.

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment