නව නිවසේ උලුවහු පැනීමේ චාරිත්‍රය

66

නව නිවසක් ඉදිකිරීමේදී එම නිවසේ උලුවහු පැනීම යනුවෙන් කරන චාරිත්‍රය වර්තමානය වන විට එතරම් තැකීමක් නොකරයි. මක්නිසා ද එවැනි උලුවහු පැනීමේ චාරිත්‍රයක් මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න හරිහැටි නොදනියි. නව නිවසක් ඉදිකර උලුවහු තබා ඉන්පසු උලුවහු පැනීමේ චාරිත්‍රය නිවාස ඉදිකිරීමට පටන් ගත් මුල් අවදියේ සිට වර්තමානය දක්වා පවතී.

ඒ පිළිබඳව ඓතිහාසිකව ගත් කල ඒ හා බැඳුන පුරාවෘත්තයක් මෙසේය. දඹදිව රජකල විiා රජතුමා බොහෝම ධාර්මිකව ජනතාවට සේවය කරමින් උපකාර කරමින් අහිංසක මනුෂ්‍යයන් පිළිබඳව (ලංකාවේ වර්තමානයේ මෙන්) උදව් උපකාර කල රජුට ඔහුගේ සේවාව දුටු සක් දෙවිඳු විසින් ද පැසසුමට ලක්විණි. රජතුමාට මාලිගාවක් පහළ වුණ අතර එහි දොර උලුවහු 100 ක් පැවතී ඇත.

මේ මාලිගාවේ පළමු දොරටුවේ මකර වාහල් දොර 9 ක් තිබුණි. මාලිගාව සාදා අවසන් වූ මොහොතේ මාලිගාවේ අටකොට බහිරව දේවතාවන් 8දෙනෙකු අරක්ගත්හ. මෙම බහිරවයන් විසින් මාලිගාවේ ඇති සියලු රන්, රිදී, මුතු, මැණික්, යස ඉසුරු, සැප සම්පත් නැතිවීමට ගත්තේය. මේ මාලිගාවට රජතුමා ප්‍රථම වරට පැමිණීමේ දිනයදා දොරටුවෙන් ඇතුල් වෙද්දීම බිම ඇද වැටුණේය. ඒ සමඟ රජු සමඟ පැමිණි පිරිවර මැති ඇමැතිවරු ද බිම ඇද වැටුණෝහ. මේ සිද්ධිය බලා සිටි ශක්‍ර දෙවිතුමා මෙසේ වීමට හේතුව බැලීමේදී දොර තැබීමේදී (ප්‍රධාන දොරටුව) සිදුවූ දෝෂයක් නිසා මෙසේ සිදුවුණ බව දැනගෙන මෙම දෝෂය ඉවත් කිරීම සඳහා ශක්‍ර දෙවිඳුගේ ගෘහ නිර්මාණ ශිල්පියා වන විශ්වකර්ම දෙවිඳුන්ව මාලිගාවට එවනු ලැබීය. රජතුමා අභියස පෙනී සිටි විශ්වකර්ම දෙවිඳු ශක්‍ර දෙවිඳුගේ උපදෙස් පිට මාලිගාවේ තබා ඇති දොරටුවේ දෝෂයක් එය තැබීමේදී සිදුව ඇති බවත් එය ඉවත්කිරීමට ශක්‍ර දෙවිතුමා තමන්ව එවූ බවත් ප්‍රකාශ කළේය. එවිට රජතුමාට කරුණ අවබෝධ විණි. මාලිගාවට ඇතුල්වීමේදී බිම ඇද වැටීමට හේතුව මෙම දොරටුව තැබීමේ දෝෂයක් බව අවබෝධවී එය ඉවත් කරදෙන මෙන් විශ්වකර්ම දෙවිඳුට බැගෑපත් විය. එවිට විශ්වකර්ම දෙවිඳු විසින් දෝෂය ඉවත් කිරීමට නම් උතුරු සළුවක් හා මෙම ස්ථානයේ සිට දොලක් දීමට අවශ්‍ය බවත් ඒ සඳහා සුවඳ ඇල් සහල් නැලි 08ක් ජලය මිශ්‍ර නැති කිරිබතක්, පස්වර්ණ කැවුම් ඉල්ලීය. රජු ඒවා සපයන ලදී.

ඉන්පසු බහිරවයන් 08 ට දොල දී තම සළුව මකර උලුවස්සට උඩ තබන ලදී. මේ සමඟ සියලු දෝෂ ඉවත්වුණ බව විශ්වකර්ම දෙවිඳු පවසන ලදී. ප්‍රථමයෙන්ම මෙම උලුවහු පැනීමේ චාරිත්‍රය ආරම්භ වුණේ මෙතැන සිටයි. මේ කරුණට බහිරවයන් ද සම්බන්ධවීම තුළින් බහිරව පූජාවේ ආරම්භය ද මේ සමඟ ඇතිවූ බව ජනවහරේ පවතී.

කෙසේ හෝ වේවා නව නිවසක උලුවහු පැනීමේදී සමහරු අත්තිවාරමේ බැම්ම පටන් ගත් සැනෙන් උලුවහු ජනෙල් තබා බිත්ති බැඳීම කරන අතර එහිදී මුල් උලුවස්ස තබා එය චාරිත්‍රානුකූලව පැන බිත්ති සම්පූර්ණයෙන්ම බැඳ වහලය ගසයි. නමුත් මෙහිදී ජනෙල් හා උලුවහු හොඳ ශක්තිමත්ව එකිනෙකට බැඳී පැවතුන ද දැඩි අව් රශ්මියෙන් තබා ඇති උලුවහු ජනෙල් හැඩගසා පැවතීමෙන් දොර පියන් ජනෙල් පියන් ඇල්ලීමේදී නොයෙක් බාධා පැනනගී. තවත් සමහරුන් නිවසේ බිත්ති බැඳීමේදී උලුවහු ජනෙල් තබන ස්ථාන හිස්ව ඉඩ තබා නිවසේ වහලය ද සෙවිලි කළ පසු ජෙනල්, උලුවහු තබයි. ඉන්පසු උලුවහු පැනීම සිදු කරයි. මෙහිදී ලැබෙන වාසි අතර උලුවහු ජනෙල් හිරු රශ්මියට නිරාවරණය නොවීම නිසා හැඩ නොයයි. සිමෙන්ති බදාම උලුවහු කඳන් වලට ජනෙල් කඳන් වලට වැටී පෙරී නොයෑම නිසා අපිරිසිදු නොවේ. ඒ වගේම වහලට ගැසීමේදී යටලී බාල්ක, උලුවහු ජනෙල් ඇතිවිට කෙරෙන වැරදි මූට්ටු සෘජු එල්ලවීම් මඟහැර පසුව උලුවහු ජනෙල් තබා ගැනීමේ හැකියාව ලැබේ.

කෙසේ වුවද උලුවහු පැනීමේ චාරිත්‍රයේ ප්‍රධාන අරමුණ නිවසේ වස් දොස් දුරු කිරීමයි. එසේ නොකිරීමෙන් ගෘහ හිමියාට අශුභ ගෙන දේ යැයි මතයක් පවතී. ඒ වගේම නිවසක ප්‍රථමයෙන් උලුවස්ස පැනීම ගෘහ හිමියා විසින් හෝ පවුලේ සාමාජිකයකු විසින් කීරීම අශුභ ප්‍රථිපළ ගෙන දෙන්නකි. එය සිදුකළ යුතු වන්නේ නිවසේ ලී වැඩ කළ වඩු කාර්මිකයා විසින්ය. නමුත් බොහෝ ස්ථානවල වඩු කාර්මිකයා වෙනුවට නිවසේ මේසන් බාස් විසින් එම කාර්ය කිරීමට බාර ගනී. හොඳට මේ සම්බන්ධයෙන් පරීක්‍ෂාකාරී වෙන්න. එසේ මේසන් බාස් උලුවහු පැනීම සිදු කිරීමෙන් ඔහුට මාස ගාණක්, වසර ගාණක් හෝ තම ජීවිත කාලයටම යළි නිවාස ඉදිකිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. එසේ වීම තුළම පෙනෙනවා නේද මේ උලුවහු පැනීම කොතරම් ප්‍රබල චාරිත්‍රයක් ද යන්න.

උලුවහු පැනීමේදී එය සිදුකරන්නේ නැකැත් චාරිත්‍රය අනුව අස්විද, රෙහෙන, මුවසිරස, පුෂ, උත්‍රපල්, හත, අනුර, උත්‍රසල්, සුවන, උත්‍රපුටුප වැනි නැකතකින් ශුභ තිථියකින් වන අතර කෝණ මාස මේ සඳහා යොදා නොගනී. එහිදී නැකැත් හෝරාවට ප්‍රථම වඩු බාස් විසින් එළියේ කිරි ගසක් යටදී උළුවහු පනින ඉදිරිපිට මිදුලේ කිරි ගසක් කොස් ගසක් නොමැති නම් කොස් අත්තක් සිටවා පහන් පැලක් සාදා පිරිසිදුව පහනක්, මල්, හඳුන්කූරු දල්වා සමහර අය නම් විශ්වකර්ම දෙවි උදෙසා පලතුරු වට්ටියක්ද තබයි. ඒ අතර තවත් සමහර දෙනා උලුවහු පනින දාට කලින් රාත්‍රියේ බහිරවයන් උදෙසා බහිරව පූජාවක් ද කරන අවස්ථා තිබේ. කෙසේ හෝ පහන් පැළ ළඟ පිරිසිදු වතුර භාජනයක් ද තැබිය යුතුය.

පංචශීලය සමාදන්ව වඩු කාර්මික තැන විසින් පහන් පැළ බිම කියත, නියන, වඩු උපකරණද තබා තුන් සූත්‍රය සජ්ඣායනා කර උලුවස්ස පිහිටි නිවසේ උලුවස්ස ඉදිරිපිට සිට මීටර් 02ක රෙද්දක් (සුදු රෙද්දක්) පඬුරු කාසියක්

ගැටගසා හිස වසාගෙන තමන්ගේ වඩු උපකරණ ද ඒ අසල තබාගෙන සමහර වඩුකාර්මිකයන් මේ සඳහා සුදු සැව්ලෙකු ද ලණු පොටකින් කකුල් ගැටගසා ළඟ තබා ගනී. ඒ අතර මැටි කළගෙඩියකට පෙරාගත් ජලයට වී ඇට, කපු ඇට, අබ ඇට දමාගෙන පහත කවි කියා උලුවස්ස පැනීම සිදු කරයි.

කලගෙඩිය හිස තැබීමට පෙර
පීලි කොන් දසුන කැටයම් රුවිනි
වාරු ඇතිව සිට ඇන සතර තබමිනි
දඬු පනේල අච්චාරුම් ද තබමිනි

පොරු ගල්ලෑලි දම දොස දුරා හැරුනි
විස්කම් දෙවියෝ ඇවිදින් මෙතැනට
දුන්නේ නියනක් මගේ සුරතට
නොහෙලා පාරක් කෙටුවයි එමවිට

උලුවහු දෝසය නැත ඉන් අද සිට
විදුලි දහස් අපේ ගුරු මුනිදුන් හට
පතුල් සියුම් තැන නැගුනයි උසකට
පසුව මරණයෙන් ආවේ යුධයට

මඟුල් කපේ දෝස හැරියෙමි අද සිට
අතට ගත්තු දඬු දෙක දෝස නැත මට
උඩට නියන් යට එළිපත්තේ නො සිට
ලොවට උතුම් මුනිදුන්ගේ බල පිහිට
සතර වීදි පැනයමි විස්කම් අතට

මෙම 4වෙනි කවිය කීමට පෙරාතුව ප්‍රථමයෙන්ම සුදු සැවුලාද, වඩු ආම්පන්නද, මිදුලේ සිට උලුවස්සෙන් ගේ තුළට දමා ගෙට ඇතුල්වී යළි එළියට පැන කිරි හෝ පැන් කළය බිඳ දමා සුදු පිරුවටයෙන් දමා සිටි මොට්ටැක්කිලිය (හිසේ සිට මුහුණ වසා සිටි) ඇර දමන්නේ කලින් පහන් පැල අසල තැබූ වතුර බේසම ළඟයි. ඉන් පසුව එයට මුහුණ දර්ශනය වන ලෙස මුහුණ බලා එම ජලයෙන් මුහුණ දොවා යහන ළඟට පැමිණ දෙමාපියන්ට,තම ගුරුවරුන්ට, දෙවියයන්ට පුණ්‍ය අනුමෝදන් කර නිවැසියන්ට ආශිර්වාද කරයි. එහිදී කරණීයමෙත්ත සූත්‍රය, දස දිසා පිරිත, ජය පිරිත සඡ්ඣායනා කරයි.

සමහර වඩු කාර්මිකයන් උලුවස්ස පැනීම නිවසේ සිට එළියට ද කරයි. නමුත් එසේ සිදුකරන්නේ එම නිවසේ ලී වැඩ කටයුතු සිදුකළ වඩු කාර්මිකයා නිවසේ හිමිකරු හෙවත් ගෘහ හිමියා නම් පමණි. මෙම උලුවහු පැනීමත් සමගින් නව නිවසේ සියලුම වස් දොස් ඇස්වහ හෝ වහ සියල්ල දූරින්භූත වන බව පුරාණ ග්‍රන්ථ වල සඳහන්ය.

එදා පුරාණයේ නිවාස වලට උලුවස්සට උඩට දමා ඇති උඩ ලීපත හෙවත් පඩිකඳට අමතරව යටට ද පඩි කඳක් (යට ලී පත) දමා තිබුණි. එවැනි උලුවහු වල සතර කොන ලී ඇන 04ක් දමයි. මෙම ලී ඇන හතර අශුභ හෝරාවක් තුළ එකවර ගෘහ හිමියාගේ කටහඬ ඇසෙන විටදී සිරකිරීමෙන් ගෘහ හිමියාට විපත්, ගොලු බව අත්කරදීමට හැකි බව පැවසේ. නමුත් එවැනි උලුවහු ඇණ හිරකිරීමෙන් පසුව පහත මන්ත්‍රයෙන් මතුරා සඳුන් කුඩු දැමූ ජලයට ඉසීමෙන් පසු කිසිදු අවඩැක් සිදු නොවන බව පැවසේ.

ඕං නමෝ නන්ද ආනන්ද ඊශ්වර කුමාරයින්ගේ උලුවහු කර්මාන්තය කළේ මමය.

ඒ උන්වහන්සේගේ මුඛ තුළින් මතුල පැන් මම තැනූ උලුවස්සට ඉස්සෙමි සෘධි මන්ත්‍ර ප්‍රධානේස්වහඃ

කරදෝස, ක්‍රියාදෝස, අක්කමුල් දෝස

විසි මහ දෝස දෙහච්චයි, පැලිච්චයි නැත.

ඕං ශ්‍රී කාලි චන්ද්‍ර නම් ඒසවාඃ

වර්තමානයේ යටි පද රහිත උලුවසු නොතිබුනද උලුවස්සේ (විශේෂයෙන් පනිනු ලබන උලුවස්ස) ඇණ තද කිරීම සිදුකරන්නේ එදින උලුවහු පනින නැකතට ප්‍රථමයෙන් මේ මන්ත්‍රයෙන් පැන් මතුරා ඉසීම කල පසු එම උලුවස්සේ උඩ ඇණ තද කිරීමෙන් අනතුරුවයි. කෙසේ වුවද උළුවහු පැනීමේ චාරිත්‍රය පලාතෙන් පලාතට වෙනස් ආකාර චාරිත්‍ර අනුවද සිදු කරයි.

නව නිවසේ උලුවහු පැනීමේ චාරිත්‍රය

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment