සඳුගේ අපලයට පිළියම්

84

ජ්‍යොතිර්විද්‍යාව අනුව සඳුගෙන් අපල යෙදෙන විට සඳු නියෝජනය කරන සිත මව, බිරිඳ කාරකත්වයෙන් යුත් සෑම දේටම අපල යෙදේ. රෝග පීඩා, ධනහානි, නින්දා අපහාස, වියෝග දුක, සිතට කයට පීඩා, බාධා, කරදර, අසත්‍ය චෝදනාවලට ලක්වීම, අන්‍යයන්ගේ බලපෑම්වලට යටත්වීම වැනි අපල යෙදේ. රෝග පීඩා ලෙස සෙම් කිපීම, පෙණහැල්ල හා ස්වසන ආබාධ, රක්තානු ශෛලාබාධ, වමනය, විරේචනය හා අඩස්සිය යෙදේ. සඳුගේ බලපෑමට ලක්වන අවයව සම්බන්ධ ක්‍රියාවලිය, පිටියුටරි ග්‍රන්ථිය, හයිපොතැලමස, වසා පද්ධතිය, ශරීරයේ අඩංගු ද්‍රව ස්වභාවය, ස්ත්‍රී මාසික ජීව ක්‍රියාවලිය, පියයුරු සම්බන්ධ ක්‍රියාකාරිත්වය, දරු උත්පාදක ශක්තිය, ආමාශය හා ආහාර ජීර්ණ පද්ධතිය, ගැබිනි කාලයේදී නම් ගර්භාෂය, පිරිමින්ගේ වම් ඇස හා කාන්තාවන්ගේ දකුණු ඇස යන අවයව හා ස්ථානවල දුර්වලතා ඇතිවේ.

ඉහත කී අපලකාරිත්වය මැඬපැවැත්වීම සඳහා ජ්‍යොතිර්විද්‍යාවේ සඳහන් ශාන්තිකර්ම පද්ධතීන් මෙසේය.

  1. බුදුගුණ යන්ත්‍ර, සිරිබාරි යන්ත්‍රය, චන්ද්‍ර මණ්ඩලය, නවගුණ යන්ත්‍රය, රතන යන්ත්‍රය යන යන්ත්‍රයන් ශාස්ත්‍රානුකූලව සාදා පළඳින්න.
  2. අපලකරුවන්ගේ කේන්ද්‍රය පුද්ගලිකව පරීක්‍ෂා කරන්න. එහි බලවත්ම ග්‍රහයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵලදායී බව අත්දැකීම් අනුව පසක් වී තිබේ. එබැවින් බලවත්ම ග්‍රහයාට අදාළ මැණික තෝරා, එම මැණික ඇතුළත් කර හෝ ග්‍රහයා අයත් ලෝහයෙන් මුද්දක් සාදා එම ග්‍රහයාට අයත් ඇඟිල්ලේ හෝ එම ග්‍රහයාට මිතුරු ඇඟිල්ලක පළඳින්න.
  3. පත්තිනි දේවියට පූජාවක් තබා යාතිකාවක් කර බාරයක් වන්න.
  4. පත්තිනි දේවියට සෙත් කවියක් සාදා ගායනා කරන්න.
  5. රාත්‍රී නින්දට යෑමට පෙර සඳු ස්තෝත්‍රය හැකි තරම් වාර ගණනක් ගායනා කරන්න.

දධි ශංඛ තුෂාරාහං
ක්ෂිරෝදාර්ණව සංහවම්
නමාමි ශශිතං සෝමං
ශංහෝර්මුකුට භූෂණම්

  1. සඳු ඖෂධීය ස්නානයෙන්

නෙළුම් අල සහ බෙලි කොළ හොඳින් තම්බා එම ඖෂධීය ජලය වෙනත් පිරිසිදු ජලයට මිශ්‍රකර ස්නානය කරන්න.

  1. සඳු පූජාව තබන්න

කැකුළු සහල්, කපුරු, සුදු රෙදි රියනක්, රිදී පැහැය ආලේප කළ ගව රූපයක්, ගිතෙල් භාජනයක් සහිත පූජා වට්ටියක් සාදන්න. දිවුල් ගසක් මුල පිරිසිදු කර එහි වයඹ පැත්තේ මැස්සක් සාදා සඳුදා දවසේ සඳු හෝරාවේ ඉහත වට්ටිය මැස්ස මත තබා සඳුන් සුවඳ ධූපයෙන් සුවඳ දුම් දී සඳු පූජාව තබා, සඳු යාදින්න කියවන්න. සඳුන් සුවඳ ධූපය යනු ගිතෙල් මිශ්‍ර විළඳ සහ සුදු හඳුන් කුඩු මිශ්‍රණයයි.

ෂ සඳු යාදින්න සිංහලෙන්

ශ්‍රීමත් සංකර ජටා වූඩාමණි වරසාර ශිත ගුණ විභූභීත සර්වලෝක මොහාන්ධකාර විවවංසන සෝම දේහී ජන මන:කාන්ත ශාන්ත රූපයෙන් සුධාරස දිව්‍යමය රශ්මි ජාත කදම්බ මණ්ඩල ශෝභමාන ඔෂධිනාථ කාර නාථ රාජා නාථ රජනීකර කුමුදු බන්දු කලානාථ ශ්වේත වර්ණ ශ්වේත මාලාධාරී ශ්වේත ගන්ධානු ලෙපනයෙන් විරාජිත දේහවත් අග්න දිග්භාගයෙහි අධිශ්වර වූ දශාශ්වයක් හා රථ ඇත්තාවූ ශ්වේතච්ඡත්‍ර සමායුධ සවාහන සශක්ති සපත්නී සපුත්‍ර සපෞත්‍ර පරිවාර සමේත වූ සූර්ය ග්‍රහයාගේ

අග්නි දිශාභාගයෙහි සම චතුරශ්‍ර මණ්ඩලයෙහි පෙර දිගට මුහුණලා වැඩවෙසෙන භගවත් චන්ද්‍ර ග්‍රහ සුවාමිනී! චන්ද්‍රයාගේ මහ දසාවෙන් හෝ අතුරු දශාවකින් හෝ වෙනත් චන්ද්‍ර දෝෂයෙන් වන අරිටු අනිටු දුර්විපාක යෝග දෝෂයකින් හෝ සිදුවන්නා වූ කිසියම් අරිෂ්ට අනිෂ්ට දෝෂ ජානයක් වෙත්නම් ඒ හැම අලපත දිය ලෙසින් මුලෝත්පාධනය කොට හැරපියා අසම සම අෂ්මිත සිසිල් විමල් සෙත්සිරි ශාන්තියක් මාහට දුන් මැනවි. ෂිකල ඉටුදෙවියන්ගේ සුබාසිරි බලයෙන් චන්ද්‍රයාගෙන් වන සියලු දෝෂ භංග වී දිගාකල් ආයුරක්ෂා කෙරෙත්වා.

සඳු යාදින්න සංස්කෘත භාෂාවෙන්

ශ්වේත වර්ණං – ශ්වේත මාලාම්බරධරං – ශ්වේත ගන්ධානු ලේපනං ශ්වේතාශ්වං – ශ්වේත ජත්‍රං – ඣරත් පතාකාති ශෝභිකං, දිව්‍යාශ්වමාරූඨං, මෙරුපුදක්ෂිණා කුර්වාණං, ග්‍රහ මණ්ඩලෙ ප්‍රවිෂ්ටං සාංගං, සායුධං, සවාහනං සශක්තිං සපත්තිං සුපුත්‍රං සපෞත්‍රං පරිවාර සමෙතං අධිදෙවතා, ප්‍රත්‍යධි දේවතා, සංහිතං, සූර්ය ග්‍රහස්‍ය අග්නෙය දිග්භාගේ, සමචතුරස්‍ර මණ්ඩලේ චන්ද්‍ර ග්‍රහ ප්‍රතිෂඨිතං පශ්‍යාභිමුඛං භගවන්තං චන්ද්‍රග්‍රහමාහ්වයාමි අධිදෙවතා ආහ්වසාමි, ප්‍රත්‍යධි දෙවතා ආහ්ව්‍යාමි

  1. සැන්දෑ කාලයේදී පලතුරු යුෂ, සුදු මල්, හඳුන් තෙල් මිශ්‍ර තැඹිලි තෙල් පහන් 07 ක් බෝ වෘක්‍ෂයක් වෙත පූජාකර තෙරුවන් වඳින්න. ඉන්පසු චන්ද පිරිත නමවරක් කියන්න. මෙය පිළිවෙළින් දින 09 ක් කරන්න.
  2. සඳුදා දවසක දුගී කාන්තාවන් සඳහා පලතුරු වර්ග දානයක් දෙන්න.
  3. අපලකරු බෞද්ධයකු නම් ආගමික වතාවත් සිදුකර අවසන පහත සඳහන් කවිය 09 වරක් කියන්න.

නිම්මා නැති දුක් සයුරේ කිමිදා

අප වෙනුවෙන් දුක් වින්දේ පෙරදා

සම්මා සම්බුදු ගුණ බල විහිදා

සඳු ග්‍රහ අපලය දුරලන් සැමදා

පහත සඳහන් බලි ශාන්තියක් කිරීමට උපදෙස් දෙන්න.

  1. සඳු දිෂ්ටිය
  2. සඳු සක
  3. සෝම මංගල්‍යය
  4. චන්ද්‍ර බිම්බය
  5. චන්ද්‍රෂ්ටකය
  6. ශ්‍රී විෂ්ණු කල්‍යාණය
  7. අග්‍රසෝම මංගල්‍යය
  8. වර්ෂ කල්‍යාණය
  9. සඳු රාක්‍ෂය
සඳුගේ අපලයට පිළියම්

හේළි සරත් රාජකරුණා
විද්‍යා ජ්‍යොතිෂ,
දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment