ලුණුගඟ – කොළ පැහැය මත කොළ පැහැයෙන් ඇඳි කළු සුදු සිතුවම

276

(ලුණු ගඟ උද්‍යානයට වසර 75ක් පිරීම නිමිත්තෙනි )

1948 අවුරුද්දේ ජනවාරි තුන් වැනිදා, ලංකාවේ සිටි ප්‍රසිද්ධ විද්‍යාඥයකු වූ රේ විජේවර්ධන තමා ගේ කුඩා අහස්යානයෙන් බෙන්තොට බලා පිටත් වුණේ තමන්ගේ මිත්‍ර ජෙෆ්රි බාවා මුණගැසීමට යි.

ජෙෆ්රිගේ කොළඹින් බැහැර පාරාදීසය වුණු ‘රෑණු ගඟ’ උද්‍යානයේ ‘සිනමන් හිල්‘ තණ බිම් තීරුවට තමාගේ අහස් යානය බැස්ස වීම රේගේ අරමුණ වුවත් යානයේ කුමක් හෝ අක්‍රමිකතාවක් නිසා කුඩා අහස්යානය ගොඩ බස්සන්නට සිදු වූයේ , ජෙෆ්රිගේ ලුණුගඟ නිවසේ වහලය මතටයි. ඉතා සුළු අනතුරකින් පමණක් මේ සිදුවීම අහවර වුණත් රේ සහ ජෙෆ්රිගේ මිත්‍රත්වයට කිසිම හානියක් වූ බවට සටහනක් නැහැ. ජෙෆ්රිගේ පාරාදීසය ලුණුගඟ ආශ්‍රිතව කියැවෙන එක් සිදුවීමක් පමණකි ඒ.

ලුණුගඟ ලාංකික උද්‍යාන නිර්මාණ කලාව තුළ පරමාදර්ශයක් වන්නේ කෙසේද යන්න විසඳාගැනීමට පෙර ඒ හා බැඳුණු වෙනත් කරුණු කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. 1997 අවුරුද්දේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක නව ජනාධිපති නිල නිවස සඳහා ජෙෆ්රි නිර්මාණය කළ සැලසුම් අනුමත කළේ ලුණුගඟ උද්‍යානයේ බංගලාවේ වැරැන්ඩාවේ සුවපහසු ලෙස සාමීචියේ යෙදෙමිනි. 1998 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු චාල්ස් කුමාරයා වෙනත් රාජ්‍යතාන්ත්‍රික කටයුතු දෙවෙනි කොට සැඳෑ තේ පානය සඳහා ලුණුගඟ දී ජෙෆ්රි මුණගැසුණි.

ඊට අමතරව 1950 සිට 2000 දක්වා ශ්‍රී ලාංකික සහ විදේශීය කලාකරුවන්, වාස්තු විද්‍යාඥයන් සහ වෙනත් සුවිශේෂී චරිත ආශ්‍රිතව එතරම් කතාබහකට ලක් නොවුණු කුඩා කල සහ සංස්කෘතික ප්‍රවාහයක් සඳහා ලුණුගඟ තෝතැන්නක් විය. අතිදක්ෂ චිත්‍ර ශිල්පියකු වන ලකී සේනානායක, වාස්තු විද්‍යාඥ උල්රික් ප්ලෙස්නර්, බාබරා සන්සෝනි, ඊනා ද සිල්වා, වාස්තු විද්‍යාඥ ඉස්මත් රහීම්, ඩේවිඩ් රොබ්සන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව නිර්මාණකරණයෙහි යෙදුණු සුවිශේෂී පිරිසක් සඳහා ජෙෆ්රි නිරතුරුවම තම ලුණුගඟ උද්‍යානය සහ එහි නිවස විවෘතව තැබීය. එම සුසංයෝගයෙන්, විවිධ නිර්මාණ කටයුතු සඳහා නිරතුරුවම ආභාසය සපයන්නට ඇත.

ලන්දේසි පාලන සමය තුළදී කුරුඳු වගා බිමක් ලෙස පැවති ලුණුගඟ වතුයාය ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ සාරවත් රබර් වගාවක් ලෙස පැවතිණි. 1948 වසරේදී මෙම වතුයාය ආශ්‍රිතව පැවතියේ පැරණි බංගලාවක් සහ ඉංග්‍රීසි පාලන යුගයෙහි රහස් සඟවාගත් මහලු රබර් වගාවක් පමණි. 1950 අවුරුද්දේ පමණ ජෙෆ්රිගේ යහළුවකුගේ යහළුවකු මෙම වතුයාය දැක මේකනම් උද්‍යානයකට කියාපු තැනක් කියන අදහස ජෙෆ්රි බාවාගේ හිතට කාන්දු කිරීමත් සමඟම ජෙෆ්රි මෙම බංගලාව වැඩි දියුණු කර උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට සිත යෙදවීය.

1950 දශකය මුල් භාගය ආශ්‍රිතව ඉතා කුඩා එකතු කිරීම් සමඟම එහි තිබූ පැරණි ගොඩනැගිල්ල වෙනස් කිරීමට ජෙෆ්රි පෙලැඹිණි. තැනින් තැන රබර් ගස් ගලවා දමා වෙනත් ගස් වර්ග ඉන්දවා අපූරු නිවාඩු බංගලාවක් සහ උද්‍යානයක් බවට පත්වීමේ ජායා මාත්‍රයන් ක්‍රමයෙන් මතුවන්නට විය. එවකට නීතිඥවරයකුව සිටි ජෙෆ්රි ගේ මිතුරෙකු මෙම උද්‍යානයෙහි ජෙෆ්රි විසින් කරන්නට උත්සාහ කරන කුඩා වෙනස්කම් වලින් තෘප්තිමත්ව ජෙෆ්රිට පුදුම සහගත අදහසක් ප්‍රකාශ කර ඇත.

ලුණුගඟ - කොළ පැහැය මත කොළ පැහැයෙන් ඇඳි කළු සුදු සිතුවම

“ඇයි ඔයා ආකිටෙක්චර් ඉගෙන ගන්නේ නැත්තේ? ඔයා ඒ වැඩේට හොඳටම දක්ෂයි නේ.” මෙම අපූර්ව අහඹු සිදුවීමත් සමඟ ජෙෆ්රි තම නීතිඥ වෘත්තියට සමුදී වාස්තු විද්‍යාව හැදෑරීම සඳහා 1955 අවුරුද්දේ දී එංගලන්තය බලා පිටත් වූ බව කියැවේ. ශ්‍රී ලාංකික වාස්තු විද්‍යාව පමණක් නොව සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිය සහ වාස්තු විද්‍යාව දේශපාලනික වශයෙන් නව කියවීමකට භාජන වීම දක්වා වැඩි වපසරියක ඇති අපූරු වාස්තු විද්‍යා පෙළහරක මුළු පියවර වූයේ එම අහම්බයයි.

1960 අවුරුද්ද ආසන්නයේදී වාස්තු විද්‍යාඥයකු වශයෙන් තම අලුත් ජීවිතයේ මතකයන් රැසකට ජෙෆ්රි බාවා ලුණුගඟ කැන්වසයක් කරගත්තේය. එතැන් පටන් බෙන්තොට නගරයෙන් මඳක් දිවයින පැත්තට දිවෙන නිස්කලංක ගැමි පරිසරයක, බෙන්තොට ගඟ සීමා වන කුඩා කඳුගැටයක් මත පිහිටි අක්කර විසි පහක ලුණුගඟ වතුයාය, පස් පෙරළෙමින්, පැරණි රබර් ගස් කැපෙමින්, නව ගස් සිටවමින් පෙර නොවූ විරූ භූමි දර්ශන මතුවන ඉතා අලංකාර උද්‍යානයක් බවට පත් විය. සංකල්පීයමය වශයෙන් පුනරුදය සමයේ ඉතාලි උද්‍යානයත්, දහ අටවන සියවසේ එංගලන්තයේ පැවති උද්‍යානය ශෛලියන් ලුණු ගඟ නිර්මාණය කිරීමේදී බලපා ඇතත්, සීගිරිය ජල උද්‍යානය සහ අනුරාධපුරයේ රන්මසු උයන ජෙෆ්රිට ආභාසය සපයා ඇති බවක් පැහැදිලිවම දක්නට ලැබේ.

වසර ගණනාවක් පැරණි රබර් ගස් වෙනුවට වටිනා කියන ගස් සිටුවා සැලසුම්ගත ස්වාභාවික පරිසරයක් නිර්මාණය කර ඇති අතර, වසර ගණනාවක් පුරා පොළොව සාරවත් ගස්වැල් සමඟ සුහදව වර්ධනය වී වසර 50කට අධික අපූරු අතීතයක මතකයන් සඟවාගෙන දැන් දැවැන්ත යෝධයන් පෙළක් මෙන් සැරසී සිටී. කදිමට නිර්මාණය කර ඇති සිනමන් හිල් තණබිම්, කුඩා කඳු ගැට කිහිපය සහ තැනිතලාව පුරා පැතිර යන්නේ යුරෝපීය උද්‍යානයක අසිරිය සිහිකරවමිනි. තැනින් තැන ස්ථානගත කර ඇති විවිධ මූර්තිවලට ඒ හා සබැඳුණු කතන්දර ඇතත් එම කතන්දර ගැන කිසිම අදහසක් නැතිව පවා ඒ ඒ තැන් කෙනෙකුගේ සිත තුළ ඇතිකරවන සමුදාය ඉතා කලාත්මක ය. බංගලාව අසලම කඳුගැටය මත සිට බෙන්තර ගඟ එපිටින් ඈත දියඹ පසුබිම් කොට ඇති නිරුවත් පිරිමි රුව ලුණුගඟ උද්‍යානයෙහි සංකේතයක් බවට පත්ව ඇත. බෙන්තර ගඟ ඉවුරේ හුදෙකලාව උයන දෙස බලා සිටින දිවියාගේ පිළිරුව ඉතා නිස්කලංක ය. නොසැලෙන සුලුය. තැනින් තැන පිහිටුවා ඇති කුඩා අම්බලමක් වැනි ගොඩනැගිල්ලක් හෝ දෙකක සහ සිමෙන්ති ආසනයක වාඩිවී සිටීම උයන තුළ සැහැල්ලුවෙන් ඇවිද යන කලාකාමියෙකුගේ සිතිවිලි පුබුදුවාලන සුලුය.

උද්‍යානයක් කිව් සැණින් ඔබට සිහිවන විවිධ වර්ණයන්ගෙන් යුතු මල් සහ කෘත්‍රිම දිය ඇලිවලින් සැරසුණු සාම්ප්‍රදායික උද්‍යානයක් වෙනුවට මෙය ගොඩනැගිලි කිහිපයක්, මූර්ති, වෘක්ෂලතා පිළිවෙළකට පිහිටුවූ කුඩා ප්‍රමාණයේ වන උයනක් ලෙස හැඳින්වීම නිවැරැදි ය. කොළ පැහැය මත කොළ පැහැයෙන්ම අඳින ලද සිතුවමක් ලෙස හෝ නිරන්තරව වෙනස්වන අඳුර සහ ආලෝකය නිසාවෙන් නිර්මාණය වන ඉතාම කලාත්මක කළු සුදු ජායාරූප පෙළක් ලෙස මෙම උයනෙහි ඇවිද යන්නෙකුගේ මතකයෙහි මේ හැඟීම් සමුදාය තැන්පත් වනු ඇත. හදිසියේ ඔබට හමුවන පුදුමයන් සහ විස්මය දනවන දූරදර්ශන එක හුයෙක අමුණා ඇත්තේ කිසියම් පහන් හැඟීමක් හෝ මතකයක් ඔබට ඉතිරි කරදීමට මෙනි.

තමන්ගේ නිර්මාණශීලීබවත් සොබා දහමේ පුදුමයත් කාලයේ නොවෙනස් වන වෙනස්වීම් ගුණයත් එකතුවෙන් නිර්මාණය වුණු ලුණුගඟ ගැන ජෙෆ්රි බාවා වරක් පැවසුවේ මෙවැනි අදහසකි.

“වසර ගණනාවක් තිස්සේ මේ උද්‍යානය විවිධාකාර හැඟීම් මවන සහ මතක ඉතුරු කරන තැනක් බවට පත්වෙලා. ගොඩක් දේවල් හිතේ මවාගන්න පුළුවන් තැනක් බවට පත්වෙලා. මට හුදෙකලාවේ නිස්කලංක බව විඳින්න කදිම තැනක් වගේම යාළුවෝ එක්ක විද්වත් කතාබහකට එකතු වෙන්නත් පුළුවන් විදියේ තැනක් බවට පත්වෙලා. මේ ඔක්කෝම වුණේ ගොඩක් ඉස්සර මගේ යහළුවකුගේ තවත් යහළුවෙක් ‘මේක නම් උද්‍යානයකට කියාපු තැනක් ‘ කියලා කියූ අදහසෙන් පස්සේ. පස්සේ කාලෙක තමන් ගෙනා ගඩොල් තොගයක් බාන අතරේ උයනේ ඇවිද්ද ලොරි ඩ්‍රයිවර් කෙනෙක් කිව්වා, ‘සර් මේක නම් හාස්කම් තියෙන තැනක්.’ කියලා.”

ලුණුගඟ වතුයාය තුළ මුලින්ම පැවති පැරණි බංගලාව ජෙෆ්රි විසින් විවිධ වෙනස්කිරීම් කර තමාගේ අවශ්‍යතාවට ගැළපෙන අයුරින් සැලසුම් කරගත්තත් එහි බාහිර පෙනුම ඒ ආකාරයෙන්ම සංරක්ෂණය කර ගැනීමට ජෙෆ්රිට අවශ්‍ය විය. ප්‍රධාන ගොඩනැගිල්ලෙන් ඈත්ව විවිධ අවශ්‍යතාවන් සහ ජෙෆ්රි විසින් නිර්මාණය කළ විශිෂ්ට ගොඩනැගිලිවල ආකෘතීන් අත්හදා බැලීම සඳහාත් ගොඩනැගිලි කිහිපයක් ලුණුගඟ උද්‍යානයෙහි සැලසුමකට අනුව ඉදිකර ඇත.

1970 අවුරුද්දේදී සාදන ලද ජෙෆ්රි විසින් ‘හෙන්ස් හට්’ (කුකුල් කොටුව) වශයෙන් හැඳින්වූ කුඩා අම්බලමක් වැනි ගොඩනැගිල්ල තුළින් පාර්ලිමේන්තු සංකීර්ණය සහ කොළඹ ගංගාරාමය ආශ්‍රිත සීමා මාලකය සඳහා වාස්තු විද්‍යා ආකෘතිය නිර්මාණය කරගත් බව පැවසෙයි. එමෙන්ම සිනමන් හිල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ කණ්ඩලම හෝටලයෙහි පිවිසුමෙහි ආකෘතියක් ලෙස බවත්, බණ්ඩාරවෙල කන්‍යාරාමයෙහි පල්ලියේ ලක්ෂණ පවා එහි දැකිය හැකි බවත් කියැවෙයි. මුළු උද්‍යානයම ගත් කල ජෙෆ්රි බාවාගේ වාස්තු විද්‍යා නිර්මාණවල මතයන්හි සංකලනයක් ලෙස වුවද හඳුනාගත හැක. 1960 සිට 1980 පමණ දක්වා කාලය තුළ ඔහු විසින් දකුණු වෙරළ තීරය ආශ්‍රිතව සුවිශේෂී ගොඩනැගිලි කිහිපයක්ම නිර්මාණය කළ අතර ඒවා වෙනුවෙන් නිර්මාණ කටයුතු කිරීමත් එම ගොඩනැගිලි අධීක්ෂණය කිරීමත් සඳහා ලුණුගඟ කදිම නවාතැන්පළක් විය. බොහෝ විට සති අන්තයේදී තම සහායක වාස්තු විද්‍යාඥයන් සමඟ ලුණුගඟදී නිර්මාණකරණ කටයුතු කළ ජෙෆ්රි ඒ සඳහා වෙනම ගොඩනැගිල්ලක් ලුණු ගඟ උයන තුළ ඉදිකළ අතර තම නිර්මාණ සගයන්ගේ සහ හිත මිතුරන්ගේ නවාතැන් පහසුව සඳහා තවත් කුඩා ගොඩනැගිලි එකක් දෙකක් ඉදි කළේය. 1980 පසුව ජෙෆ්රි තම කටයුතුවලට වඩා කොළඹ ආශ්‍රිතව ජීවත්වීමෙන් ඇතිවන විඩාව සංසිඳුවා ගැනීම සඳහා විවේකී ස්ථානයක් ලෙස ලුණුගඟ සමඟ සුහද ආශ්‍රයක් ඇතිකරගන්නට විය. නිස්කලංක වටපිටාව සහ සොබා දහමට ආසන්න බවත් සමඟ තමා විසින්ම නිර්මාණය කරගත් උද්‍යානයෙහි සන්සුන්ව ඇවිද යමින් තමන්ටම ආවේණික තැන්වල විවේකීව වාඩිවී තම නිර්මාණ ආභාසයන් දියුණුකර ගැනීමටත්, කලාකාමී මිතුරන් සමඟ කුළුපඟ වීමටත් ජෙෆ්රි උත්සක විය.

ලුණුගඟ - කොළ පැහැය මත කොළ පැහැයෙන් ඇඳි කළු සුදු සිතුවම

මේ අතරතුර සිනමන් හිල් කඳුගැටය එපිට වෙල්යායට ඈතින් කුඩා කඳු ගැටයක් මත පිහිටි කටකුළිය පන්සලේ හාමුදුරුවන්ට කදිම තොරතුරක් ආරංචි විය. ජෙෆ්රි බාවා නමැති සුප්‍රසිද්ධ බර්ගර් ජාතික මහත්මයකු ලුණුගඟ නමැති අලංකාර උද්‍යානයෙහි සිට තමන්ගේ පන්සලේ දර්ශනය අත්විඳිමින් කල් ගෙවන බව ඒ ආරංචිය යි. වහාම ජෙෆ්රි බාවා බැහැදුටු හාමුදුරුවෝ, බාවා තම පන්සලේ දාගැබේ සුන්දරත්වය අත්විඳිනවා නම් දාගැබේ සුදු ආලේප කිරීමට සම්පූර්ණ වියදම දැරිය යුතු බව සැලකළෝය. සිනාමුසුව මෙම ඉල්ලීම භාරගත් ජෙෆ්රි, තමාට ලුණුගඟ සිට දැක ගත හැක්කේ දාගැබෙහි එක් පසක් පමණක් බැවින් සුදු ආලේප කිරීමේ වියදමෙන් අඩක් සඳහා පමණක් දායක වීමට එකඟ විය. ශ්‍රී ලාංකික උද්‍යාන අලංකරණය සඳහා ඉතාම සුදුසු සංකල්පයක් ලෙස ලුණුගඟ හැඳින්විය හැකි අතර සොබාදහම අපූර්ව ලෙස භාවිත කොට සොබාදහමෙන් ඈත් නොවුණු කොළ පැහැය මත කොළ පැහැයෙන්ම නිර්මාණය වූ සෞන්දර්යාත්මක මතක ගබඩාවක් සහ කදිම හැඟීම් සමුදායක කළු සුදු ජායාරූපයක් වැනි වූ ලුණුගඟ පිළිබඳව ඩේවිඩ් රොබ්සන්, ‘ජෙෆ්රි බාවා ද කම්ප්ලීට් වර්ක්ස්’ පොතෙහි ලියන්නේ මෙවැනි අදහසකි.

‘මෙම උයන කලාකෘතියක්. සොබාදහම නෙමෙයි. එය මිනිසෙකුගේ නිර්මාණශීලී බව, සොබාදහමේ අපූර්වත්වයෙන් සහ සිය ගණනක් දෑත්වල ශක්තියෙන් එකට කැටිවී බිහි වූ අනගි නිමැවුමක්. මෙම පුදුම සහගත කුඩා ලෝකයට කුමන ඉරණමක් අත්විය යුතුද ? මෙය මෙලෙසම ඝනීභවනය කර සංරක්ෂණය කළ යුතුද ? ජාතික උරුමයක් ලෙස නම් කර රාජ්‍ය නිලධාරීන් විසින් පාලනය කරමින් දහස් ගණනක් දෙස්විදෙස් සංචාරකයන්ගේ දෙපාවලින් තලාපෙලා දැමිය යුතුද ? නැතිනම් සොබාදහමට මෙය ගිලගෙන මෙම ස්ථානයේ මූලික ස්වරූපයට මෙය යළිත් අත්පත් කර දීමට ඉඩ දිය යුතුද?

“මම නැති දවසක මේ උද්‍යානයට යළිත් එහි ස්වභාවික පිහිටීමට යන්න දෙන්න. තණ බිසි ඇරෙන්න වෙන කිසිම ගසක පඳුරක අත්තක් වත් කපන්න එපා. එයාලට කැමති විදිහට වැවෙන්න දෙන්න”

ජෙෆ්රි බාවා විසින් තම අවසන් ගමන් යෑමට පෙර කියා තිබුණේ එයයි.

සටහන සහ ඡායා
● සුමුදු අතුකෝරල

advertistmentadvertistment
advertistmentadvertistment