පොල්ගම්පොළට ටෙනිසන්ට ඇප

536

පරිසර ආරක්‍ෂණ බලපත්‍රයක් ලබාදීම සඳහා දැවිතෙල් පිරිපහදු සමාගමක නියෝජිතයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පළ හා ටෙනිසන් ෆොන්සේකා යන සැකකරුවන් දෙදෙනා ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (8 දා) පස්වරුවේ නියෝග කළේය.

එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් වී ඇති බව කියමින් අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එක් සැකකරුවකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළේය. එලෙස සිය සේවාදායකයාට ලබාදුන්නේ යැයි කියන මුදල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත්කොට ඇතත් එම මුදල් බහා තිබූ බෑගය නඩු භාණ්ඩයක් ලෙස ලකුණු කර අධිකරණයට ඉදිරිපත් නොකිරීම බලවත් අඩුපාඩුවක් බවත් දෙවන සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට පැවසීය. සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් ලබාගෙන ඉදිරියේදී එම බෑගය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව විමර්ශන නිලධාරිහු අධිකරණයට පැවසූහ.

නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා පළමුවන සැකකාර මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා වෙනුවෙන් ද ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව ගමගේ මහතා තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment