උණ රෝගීන්ගේ වැඩි වීමක්

206

හෙම්බිරිස්සා – උණ හැදුණු අයටත් ඩෙංගු අවදානමක්

මෙම දිනවල ඩෙංගු උණ රෝගයට අමතරව ශ්වසන රෝග, උණ වෛරස කිහිපයක් පැතිර යෑම නිසා රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල්වලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන උණ රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙසේ පැතිර යන ඇතැම් ශ්වසන රෝග වෛරසයන්ට ගොදුරු වන රෝගීන්ගේ ඇදුම වැනි රෝග ලක්ෂණ ද දක්නට ලැබෙන බවත් ඩෙංගු රෝගය කැස්සක් සමග ඇති වන අවස්ථා ද පවතින බවත් එම අංශ සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසනුයේ ඩෙංගු රෝගීන් තුළ මඳ කැස්ස, උගුරේ අපහසුතාවක් හටගැනීම මෙන්ම ඇතැම් විට සොටු දියර සමග ඇතිවන නාසයේ අපහසුතා තත්ත්වයක් පැවතිය හැකි බවයි. මේ හේතුවෙන් සෙම්ප්‍රතිශ්‍යා රෝගය හා උණ රෝගයකින් පෙළෙන අයකුට ද ඩෙංගු රෝගය වැළඳී තිබිය හැකි බව වෛද්‍ය සමරනායක කීවාය.

මෙම රෝග පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් බොහෝ දෙනකුගේ පවුල්වල සියලු සාමාජිකයන් මෙම උණ රෝගවලට ගොදුරු වී ඇති බව ද යමෙකුට දින තුනක කාලයක් තද උණ පවතීනම් වහාම පූර්ණ රුධිර පරික්ෂාව (ෆුල් බ්ලඩ් කවුන්ට්) හා එන් එස් 1 ඇන්ටිජන් යන රුධිර පරීක්ෂණ සිදු කරගෙන රෝග තත්ත්වය හඳුනාගත යුතු බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment