අපේ ප්‍රින්සිපල් – වැඩ භාරගෙන දින පනහයි

129

මත් රකුසා අපේ රටම ගිලගෙන. ගුවනින්, ගොඩබිමෙන් වගේම මුහුදෙන් ද රට ඇතුළට එන නානාවිධ මත්ද්‍රව්‍ය අද වනවිට ගිලගන්නේ අපේ අනාගත දරු පරපුරය. මොන අම්මා තාත්තාද කැමැති වෙන්නේ තමන්ගේ දරුවා මත් රකුසාට බිලිවෙනවාට. ඇත්තටම මතින් මිදුණු රටක් හදන්න එන එන රජයන් විවිධ විවිධ වැඩසටහන් කරනවා. මේ දවස්වල ‘යුක්තියේ මෙහෙයුම’ කියලා සිද්ධ වෙන්නෙත් එවැනි වැඩසටහනක්.

අපේ ප්‍රින්සිපල් - වැඩ භාරගෙන දින පනහයි

මත් රකුසාට වැඩිපුරම බිලිවෙන්නේ අපේ අනාගත දරු පරපුර. පාසල් දරුවන්ව ලෙහෙසියෙන්ම මේ වැඩේට ගොදුරු කරගන්න පුළුවන්නේ. මොකද පාසල් දරුවෝ මේකේ ආදීනව දන්නේ නැහැනේ.

රජය ඒ හින්දාම ‘යුක්තියේ මෙහෙයුම’ අරඹනකොට ‘අපේ ප්‍රින්සිපල්’ බලන්න ඉන්න බැරිම තැන වැඩේට බැස්සා. පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තමයි අපේ ප්‍රින්සිපල්’ මත් රකුසාගෙන් දරුවන් බේරාගන්න වැඩේ පටන් ගත්තේ. මේ අවුරුද්දේ පෙබරවාරි පළමු වැනිදාට අපේ ප්‍රින්සිපල් වැඩ භාර අරගෙන හරියටම දවස් පනහයි. අපි මේ කියන ප්‍රින්සිපල් වැඩ භාරගත්තේ සිනමාවේ. මේ දවස්වල හැමෝම කතාබහ වෙන ‘අපේ ප්‍රින්සිපල්’ රිදී තිරයට ගොඩවෙලා පසුගිය 01 වැනිදාට හරියටම දවස් පනහයි.

අපේ ප්‍රින්සිපල් - වැඩ භාරගෙන දින පනහයි

අපේ ප්‍රින්සිපල් වැඩභාර අරගෙන දවස් පනහ ගෙවන දිනයේ පුංචි උත්සවයක් සංවිධානය කරලා තිබුණා. වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේ තමයි මේ වැඩේ සංවිධානය කරලා තිබුණේ. දවස් පනහක් ගෙවන කොට මේ වැඩේට බරපැන දරපු ඉන්දික විමලරත්න වගේම උපුල් ධර්මසේනත් අපේ ප්‍රින්සිපල්ට ජීවය දුන්නු දිල්හානි අශෝකමාලා වගේම අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනීත් ‘මීවිත’ ට මෙලෙස තමන්ගේ අදහස් වචන බවට පෙරලුවා.

අපේ ප්‍රින්සිපල් - වැඩ භාරගෙන දින පනහයි

සමාජයට දෙන පණිවුඩය වැදගත් – අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී

අපි මේ චිත්‍රපටය තිරගත කිරීමේදී සිනමාහල් විස්සකින් තමයි ආරම්භ කළේ. මේ වෙනකොට ඒක සිනමාහල් 48 දක්වා වැඩිවීම විශාල ජයග්‍රහණයක්. අපේ ප්‍රින්සිපල් මගේ දෙවැනි චිත්‍රපටය වුණත් පළමු වරට තිරගත වුණේ මේ චිත්‍රපටය. මේ නිර්මාණය තුළින් සමාජයට රටට ලබාදෙන පණිවුඩය ඉතාමත් වැදගත්. වර්තමානයේ රටම බලාගෙන සිටින මත් රකුසාගෙන් ඔබේ දරුවාට වෙන විනාශය තමයි මෙයින් කියන්නේ. මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රබුද්ධ ප්‍රේක්ෂක පිරිසක් සිටීම ගැනත් මා ඉමහත් සතුටට පත්වෙනවා.

අපේ ප්‍රින්සිපල් - වැඩ භාරගෙන දින පනහයි

වගකීමෙන් රඟපෑ චිත්‍රපටයක් – දිල්හානි අශෝකමාලා

මම ගොඩක් කාලෙකින් වගකීමෙන් රඟපෑ චිත්‍රපටයක්. මේ වගේ කාලයක අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය දින 50 පසු කිරීම සුවිශේෂී කාරණයක්. පවුල් පිටින් චිත්‍රපට නැරඹීම අඩුවෙලා තිබෙන අවස්ථාවක මේ චිත්‍රපටය තුළින් ඒක වෙනස් කළා. මෙච්චර ඉක්මණින් මේ චිත්‍රපටය තිරගත කිරීමත් විශාල ජයග්‍රහණයක්. එහි සුවිශේෂී චරිතයක් වූ අපේ ප්‍රින්සිපල් ගේ චරිතය සඳහා මා හට දායක වෙන්න ලැබීම මා ලද භාග්‍යයක්. විදුහල්පතිනියගේ චරිතය රඟපෑමේදී මා කුඩා කළ පටන් ලද ආභාෂයද වැදගත් වුණා.

අපේ ප්‍රින්සිපල් - වැඩ භාරගෙන දින පනහයි

අපේ ප්‍රින්සිපල් සිදුකරන්නේ සමාජ මෙහෙවරක් – සම නිෂ්පාදක උපුල් ධර්මසේන

මගේ කුළුඳුල් නිෂ්පාදනය ලෙස තිරගත වූ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය දින 50 කඩඉම පසුකිරීම පිළිබඳව මම බලවත් සතුටට පත්වන අතර මෙම ක්ෂේත්‍රයට මා යොමුවීම පිළිබඳවද ඇත්තේ නිහතමානී සතුටක්.

චිත්‍රපට කෙරෙහි තිබූ ආසාව නිසාම මෙම ක්ෂේත්‍රයට මම යොමුවුණා වගේම එහිදී මට දක්ෂ අධ්‍යක්ෂවරයකු වන ක්‍රිස් ඇන්තනී සමග සම්බන්ධ වෙන්න ලැබීමද මා ලද වාසනාවක්. රට තුළ මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ සමාජ මාධ්‍ය අවභාවිතාව නිසා පාසල් දරු දැරියන් මුහුණදෙන තත්ත්වය මෙන්ම රට තුළ පවතින තත්ත්වයන් තුළ යන්ත්‍ර බවට පත්වී ඇති දෙමාපියන් දරුවන්ගෙන් ඈත්වීම නිසා ඇතිවන අභාග්‍යමත් බව සෞන්දර්යාත්මකව ජනතාවට ලබාදෙනවා. මෙම චිත්‍රපටය මගින් සිදුකර ඇත්තේ සමාජ මෙහෙවරක්. මේ චිත්‍රපටය මගින් රටේ පාලක පන්තිය, නීතිය හා සාමය රකින ආයතන, පාසල් හා සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල අවධානය යොමුකිරීම අපේ ප්‍රධාන අරමුණයි.

අපේ ප්‍රින්සිපල් - වැඩ භාරගෙන දින පනහයි

සමාජයට දෙන පණිවුඩය උසස් – නිෂ්පාදක ඉන්දික විමලරත්න

චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස ලබන පළමු අත්දැකීම තමයි අපේ ප්‍රින්සිපල් තුළින් මා ලබාමින් සිටින්නේ. පෙබරවාරි 01 දිනට මම නිෂ්පාදනයෙන් දායක වූ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය දින 50 කඩයිම පසු කළා. මෙම චිත්‍රපටයෙන් සමාජයට ලබා දෙන උසස් පණිවුඩය ඉතාම වැදගත්. අධ්‍යක්ෂවරයාගේ සහ සියලුම රංගන ශිල්පීන්ගෙන් වගේම මේ සඳහා සහභාගි වූ අනෙකුත් සියලුම තාක්ෂණික ශිල්පීන්ගේ උපරිම දායකත්වය නිසයි අපිට මේ තරම් මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වුණේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව වන්නේ මතු පරපුරේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දරුවන් සහ දෙමාපියන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ පණිවුඩයක්ද සමඟ සමාජ මෙහෙවරක් ඉටු කිරීමට පළමු චිත්‍රපටයෙන්ම ඉඩප්‍රස්ථාව හිමිවීම පිළිබඳව මහත් භාග්‍යයක් ලෙස සලකනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment