කාර්ය මණ්ඩලයේ 240ක් සමග ඊයේ පැමිණි චීන නැවට උණුසුම් පිළිගැනීමක්

259

ආන්දෝලනයට තුඩු දුන් චීනයේ යුවාන් වෑන්ග් 05 චන්ද්‍රකා නිරීක්ෂණ අධිතාක්ෂණ නෞකාව ඊයේ (16දා) පෙරවරු 08.00ට පමණ හම්බන්තොට වරායට පැමිණි අතර එය පිළිගැනීමට චීන තානාපති සියෑන් ලියන් මහතා ඇතුළු මැති ඇමැති පිරිසක් ද හම්බන්තොට වරායට පැමිණ සිටියහ.

හම්බන්තොට වරාය විවෘත කිරීමෙන් පසු පැමිණි නෞකා අතරින් ජාත්‍යන්තරව වැඩිම අවධානයක් යොමු වූ නෞකාව මෙය වන අතර මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම වාර්තා කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීහු ද විශාල පිරිසක් එක්ව සිටියහ.

කාර්ය මණ්ඩලයේ 240ක් සමග ඊයේ පැමිණි චීන නැවට උණුසුම් පිළිගැනීමක්

යුවාන් වෑන්ග් 05 නෞකාව පසුගිය 11 වැනිදා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබූ නමුත් ඉන්දියාව විසින් දක්වා තිබූ විරෝධතාව හේතුවෙන් නෞකාව පැමිණීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය චීන රජයෙන් ඉල්ලා තිබුණි. ඒ අනුව හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලැබෙන තෙක් නෞකාව හම්බන්තොට වරායේ මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටි අතර පසුව අවසර ලැබීමත් සමග නෞකාව ඊයේ පෙරවරු 08ට පමණ හම්බන්තොට වරායට පැමිණියේය.

240කට ආසන්න කාර්ය මණ්ඩලයක් සමග හම්බන්තොට වරායට පැමිණි මෙම නෞකාව පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි. මේ අවස්ථාවට චීන තානාපති සියෑන් ලියන් මහතා ඇතුළු පිරිසක් ද, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, සරත් වීරසේකර, අතුරලියේ රතන හිමි ඇතුළු මැති ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ. හම්බන්තොට වරායට පැමිණි යුවාන් වෑන් 05 නෞකාව ලබන 22 වැනිදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබේ.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment