අදත් තද වැසි – රතු නිවේදනත් එයි

107

දිවයිනේ පළාත් රැසකට අදත් (10 දා) වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු පළාත්වලට මෙන්ම උතුරු පළාතේ ස්ථාන කිහිපයකට ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විශේෂයෙන් සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල මෙන්ම කඳුකරයේ බටහිර බෑවුම්වල සුළගේ වේගය පැ. කි. මී. 40 – 45 ත් අතර අගයක් ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

මේ අතර ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් ඊයේ (09 දා) සිට නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම, සහ යක්කලමුල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව ප්‍රදේශ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව ප්‍රදේශ, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රදේශයත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටත් මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

මේ අතර ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (10 දා) වනවිට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රාවන්ට සැලකිලිමත් වන ලෙස දන්වමින් එම දෙපාර්තමේන්තුව ඊයේ (09 දා) රතු නිවේදනයක් නිකුත් කරමින් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

මෙම සුළි සුළං කුණාටු තත්ත්වය හේතුවෙන් උතුරු අක්ෂාංශ 02 ත් 15 ත් සහ නැඟෙනහිර අක්ෂාංශ 85 සහ 100 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ක් පමණ විය හැකි බවත් එය පැ. කි. මී. 70 ක් දක්වා වර්ධනය විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගත හැකි බවත් වැසි හෝ ගිඟරුම් සහිත වැසිද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment