යුක්රේනයේ සිටින ඇමෙරිකානුවන්ට එරටින් පිටවන ලෙස දැනුම් දෙයි

506

රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ අවදානම වැඩි වෙමින් පැවතීම හේතුවෙන්, යුක්රේනයේ තවමත් රැඳී සිටින ඇමෙරිකානු ජාතිකයන්ට වහාම එරටින් පිටව යන ලෙසට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දැනුම් දී තිබේ. රුසියානු කලාපයේ තත්ත්වය ඉක්මනින්ම නරක අතට හැරෙනු ඇති බව පවසා ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා යම් හෙයකින් රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කළහොත්, එරට රැඳී සිටින ඇමෙරිකානුවන් මුදාගැනීම සඳහා හමුදාව නොයවන බවද සඳහන් කර තිබේ.

ඇමෙරිකාවට මෙහිදී මුහුණ දීමට සිදුව ඇත්තේ ලොව විශාලතම හමුදාවක් වන රුසියානු හමුදාවට බව පවසා ඇති ජනාධිපති බයිඩන් රුසියානු කලාපයේ තත්ත්වය ශීඝ‍්‍රයෙන් නරක අතට හැරෙමින් පවතින බව සඳහන් කර තිබේ. මේ වන විට රුසියාව විසින් සිය හමුදා භටයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් රුසියානු – යුක්රේන දේශසීමාව අසළ රඳවා ඇතත් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැලසුමක් නොමැති බව රුසියානු බලධාරීන් පවසා තිබේ. කෙසේ වුවද රුසියාව යාබද බයිලෝරුසියාව සමග එක්ව දැවැන්ත යුද හමුදා අභ්‍යාස පැවැත්වීමට පියවර ගෙන තිබීම නිසා සිය රටට මුහුදු මාර්ගය අවහිර කර ඇති බවට යුක්රේනය විසින් චෝදනා කර තිබේ. ලෝක නායකයන් රැසක් දැනටමත් යුක්රේනය සම්බන්ධ රුසියානු ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර තිබේ. එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ යුක්රේනය සම්බන්ධයෙන් පැන නැ`ගී ඇති ගැටලූව සඳහා ඉවසිලිමත්ව තානාපති මට්ටමින් විසඳුමක් ලබා ගැනීමට සෙසු රටවලට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment