අප කන හැටි ලිපවත් නොදනී

501

ලංකා ඉතිහාසයේ බොම්බයි ලූනු කිලෝව රු. 600ට විකිණෙන පළමුවන සිංහල අවුරුද්ද මෙය වේ. එසේම ලංකා ඉතිහාසයේ වැඩිම ලයිට් බිල ගෙවන සිංහල අවුරුද්ද ද මෙය වේ. ඊටත් අමතරව ලංකා ඉතිහාසයේ වැඩිම ජීවන වියදමක් ඇති පළමු වන සිංහල අවුරුද්ද මෙය වන අතර ඊළඟ සිංහල අවුරුද්ද වන තෙක් ජනයාට තම ජීවිත ඇදගෙන යෑමට ශක්තිය ලැබෙන්නේ නම් ඒ පරම වාසනාවකි.

ජීවන වියදම බෙහෙවින් ඉහළ ගොස් ඇති බව නැවතත් කියමු. ඉස්සර අප කෑ හැටි ලිප දැනගෙන සිටියේය. දැන් අප කන හැටි ලිපත් නොදනී. මන්ද එදිනෙදා ලිප තබන ආහාර හැලි වළං සංඛ්‍යාව බෙහෙවින් සීමා සහිත වේ. සමහර පැතිවල ජනයා වේල් දෙකකින් ශේප් වෙති. තුන්වැනි වේලක් යනු බෝනස් එකකි. මෙවැනි දුෂ්කර ආර්ථිකයක් ඇති සමයේ බෝනස් එකක් යනු සෙල්ලමක් නොවේ. හැම බඩුවකම මිල බෙහෙවින් ඉහළය. හාල්, තුනපහ, එළවළු, පලතුරු, මස්, මාළු, බිත්තර යන හැම එකක්ම ඉහළ මිලට විකුණනු ලැබේ. රජය ආර්ථිකය පාලනය කිරීමට උත්සාහ කළ ද එය බොහෝ විට කළුකඩ වෙළෙඳුන් අතට යයි. මෙය මේ ආණ්ඩුව යටත් සිදු වූ දෙයක් නොව 1970 න් පසු ලංකාවේ පහළ වූ හැම ආණ්ඩුවකින්ම සිදුවූවකි. 1970 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කරන ලද කල්හි උම්බලකඩය පවා සුඛෝපභෝගී භාණ්ඩයක් විය. ඒ අනුව එකල රජය එක පවුලක එක පුද්ගලයකුගේ පරිභෝජනය සඳහා මසකට උම්බලකඩ අවුන්ස භාගයක් සමුපකාර සමිති හරහා අලෙවි කළේය. මේ කියන කාලයේදී සැමන් ද සුඛෝපභෝගී භාණ්ඩයකි. ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකය ආරම්භ වීමෙන් පසු මේ භාණ්ඩ බෙහෙවින් සුලභ වුවද ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි වීමට පටන් ගත්තේය. අවුරුදු 2500ක සංස්කෘතියක් සහ ඉතිහාසයක් තිබුණත් ලංකාව යනු ඉතාම අවාසනාවන්ත රටකි. අපේ රටේ ජනයා කවදාවත් හොඳ කෑම කෑවේ නැත. එබැවින් සිංහල රජ කාලයේ පවා දුප්පත් පවුල්වල දරුවන්ට මන්දපෝෂණය තිබිණ. නිලමේ, රටේ මහත්තයා, අදිකාරම් වැනි ඉහළ පංතියේ පියවරුන්ගේ දූදරුවන් බෝල ගෙඩි මෙන් උසටත් මහතටත් හැදුන ද දුප්පත් පවුල්වල ළමයින්ට තිබුණේ විශාල බඩගෙඩි පමණි. ඒ බඩවල් ලොකු වුණේ කෑම නිසා නොව පණු අමාරුව නිසාය. මාන්දම හේතුවෙන් මේ ළමයින්ගේ අතපය කෝටු කෑලි මෙන් සිහින්ව තිබිණ. මේ ළමයින්ගෙන් වැඩි දෙනා වැඩි කාලයක් ජීවත් වුණේ නැත. එකල ශ්‍රී ලංකාවේ ජනගහනය පාලනය කරන ලද්දේ දුප්පත්කම විසිනි.

අද මේ කාරණය මේ සන්දර්භය යටතේම වෙනත් ස්වරූපයකින් දැක ගැනීමට පුළුවන. අදත් මේ රටේ දූදරුවන්ගෙන් සෑහෙන පිරිසක් ආහාර හිඟයෙන් පෙළෙති. මෙහිදී අප ආහාර යනුවෙන් හඳුන්වන්නේ කන්න නැතිකම නොව පෝෂ්‍යදායක ආහාර සඳහා ළමයින්ට ප්‍රවේශයක් නොමැතිවීමය. රජය පාසල් දරුවන්ට දිවා ආහාරය දීමේ වැඩපිළිවෙළක් පටන්ගෙන ඇත. මෙය විශාල සද්කාර්යයකි. ඇතැම් දේශපාලනඥයෝ මෙය උපහාසයට ලක් කළ ද එහි අගය දන්නේ කන්න නැති එකා පමණි. ඩොලරය ඉතා වේගයෙන් පහළ බැස්ස ද ආහාර මිල ඉතා වේගයෙන් ඉහළ නගී. එවැනි ක්‍රියාවලියක් පවත්නා ලොව එකම රට ශ්‍රී ලංකාව විය හැකි යැයි අප කල්පනා කරමු.

මෙවර සිංහල අවුරුද්ද එපමණ සරුසාර නැත. මීට අවුරුදු 5කට පමණ පෙර පටන්ගෙන 2022දී පුපුරා ගිය මෙරට ආර්ථික අර්බුදය නිසා ජනාධිපතිට ගෙදර යෑමට පවා සිදුවිය. එනම් ඉතා ඉහළින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය ඉතාම පහළින් ගෙදර ගියේය. තවත් විදියකින් කිවහොත් ඉතා වේගයෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂ ඉතා වේගයෙන් ආණ්ඩුව අතහැර යන්නට ගියේය. මීට හේතුව රටේ ආර්ථික අර්බුදයයි. පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් නැති පෝලිම්වල වේලීමටත්, ගෑස් නැතිව ළතවීමටත් කවුරුවත් කැමැති නැත. එවැනි විටක රටේ නායකයා පලවා හැරීම සඳහා ජාත්‍යන්තර කුමන්ත්‍රණ අවශ්‍ය නොවේ. අපේ දේශපාලන නායකයන් මේ යථාර්ථය තේරුම් ගෙන නැත. එය තේරුම් ගෙන අවුරුදු තුන හතරක් රට ඉදිරියට ගෙන යෑමට දේශපාලනඥයන්ට හැකි වුවහොත් පස්වැනි අවුරුද්දේ ජයටම අවුරුදු කන්නට අපට හැකි වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment