මඤ්ඤොක්කා කකා දින 40ක් ඇමසන් කැලේ දිවි ගෙවලා – කොලොම්බියානු ගුවන් අනතුරින් බේරුණු හතරදෙනාම සූරයෝ

918

පසුගිය මැයි 1 වැනිදා කොලොම්බියාවේ සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනා ඇමසන් කැලයේ පුරා දින 40ක් වෙසෙමින් සිය ආහාර වශයෙන් ගෙන ඇත්තේ මඤ්ඤොක්කා සහ කැලෑ පලතුරු බව හෙළිව තිබේ.

අවුරුදු 13, 11, 4 සහ මාස 11ක් වයසැති මෙම දරුවන් කොලොම්බියානු හමුදා භටයන් විසින් සොයා ගන්නා ලද්දේ පසුගිය සිකුරාදාය. මොවුන් ගමන් ගත් යානයේ කොටස් මැයි 16 දා සොයා ගනු ලැබූ අතර දරුවන් සොයා දිගටම මෙහෙයුම් සිදු කරනු ලැබීය.

මේ දරුවන් ආදිවාසී හුයිටෝටෝ ජනයාගේ සාමාජිකයන් වන අතර, කැලේ සැරිසැරීමට සහ කුමන පලතුරක් කන්නේදැයි තීරණය කිරීමට ඔවුන්ගේ පාරම්පරික දැනුම උපකාර කරගෙන ඇත. මේ දරුවන්ගේ මාමා වන ෆිඩෙන්සියෝ වැලෙන්සියා වාර්තාකරුවන්ට පැවසුවේ දරුවන් ඇමසන් කලාපයේ අනුභව කරන ලද මඤ්ඤොක්කා ආහාරයට ගෙන ඒවා ඉවර වූ පසු ඔවුන් බීජ කන්නට පටන් ගෙන ඇති බවයි. මේ දරුවන් සිව්දෙනා කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි රෝහලකට ඇතුළත් කර ඇති අතර සති තුනක් එහි සිටිනු ඇත. දරුවන්ගේ නැන්දා පවසන්නේ මදුරුවන්ගේ විදීම නිසා දරුවන් විජලනයට පත්ව ඇති නමුත් වෙනත් ප්‍රශ්නයක් නැති බවයි.

පසුගිය සෙනසුරාදා රෝහලේදී දරුවන් හමු වූ කොලොම්බියා ආරක්ෂක අමාත්‍ය අයිවන් වෙලාකුවෙස් පැවසුවේ ‘කැලය ඔවුන්ව බේරා ගත්තා. ඔවුන් කැලේ ළමයි. දැන් ඔවුන් සමස්ත කොලොම්බියාවේ දරුවන්’ යනුවෙනි.

දරුවන් බේරාගනු ලැබුවේ ගුවන්යානය කඩා වැටී තිබුණු ස්ථානයට සැතපුම් තුනක් ඈතිනි. මොවුන් සිය මව සමග ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී එම යානය අනතුරට ලක්විය. එහිදී මව මෙන්ම ගුවන් යානය පැදවූ නියමුවෝ දෙදෙනා ද මරණයට පත්වූහ.

කොලොම්බියානු බලධාරීන් මේ දරුවන් අතර සිටි වැඩිමහලු දරුවා විශේෂයෙන් වර්ණනා කර ඇති අතර ඔහුගේ දක්ෂතාව නිසා අන් තිදෙනාගේද ජීවිත බේරී ඇත. මොවුන්ගේ සහායට අතරමං වූ බල්ලෙකුද පැමිණ ඇති අතර පසුව එම බල්ලා අතුරුදන්ව ඇත. හමුදා භට පිරිස් මේ සුන්ඛයාද සොයා මෙහෙයුම් දියත් කර ඇත.

දරුවන් කැලයේ අතරමංව සිටින බව දැනගත් හමුදාව ගුවනින් ආහාර හා වතුර දමා ඇති අතර ඔවුනගේ ආච්ච්ගේ හඬ පටයක්ද ප්‍රචාරය කර තිබේ. එහෙත් මේවා ගැන දරුවන්ගේ ප්‍රතිචාර කෙසේදැයි මෙතෙක් හෙළිව නොමැත. මේ මෙහෙයුම් සඳහා විශේෂ බළකා භටයින් 150ක් යොදා ගෙන තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment