අඳුර මැද නැවතුණු පකිස්තානුවෝ අද මහගිරිදඹ පාමුල

315

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නිමා කරන විට සංචාරක පකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 419ක් මෙපිටින් රැඳී සිටියහ.

 ලකුණු 508ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේ අටියෙන් ඊයෙ හවස සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පිතිහරඹයට බට පකිස්තාන කණ්ඩායමට ගාල්ල ක්‍රිකට් පිටිය අවට පැතිර ගිය අන්ධකාර තත්ත්වය හේතුවෙන් ලකුණු 89ක් වනවිට 4 වන දිනයෙන් සෑහීමට පත්වීම සිදුවිය.

 ඒ වන විට ඔවුන්ගේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වී තිබුණි.

 දුනිත් වෙල්ලාලගේ ගේ විශිෂ්ට උඩ පන්දු රැකීමක් හේතුවෙන් අබ්දුල්ලා ශෆීක් ලකුණු 16කට දැවී ගිය අතර ඒ වනවිට පකිස්ථාන කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 42ක් ලෙස දිස්වුණි.

 අනතුරුව පිටියට පිවිසි නායක බාබර් අසාම් සහ ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල තර්ජනයෙන් ආරක්ෂා වෙමින් දිනය නිමා වන විට කඩුල්ල රැක ගැනීමට සමත් වූහ.

 ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා ලකුණු 360ක් ලබා ගත් අතර දෙවැනි ඉනිමේ දී ලකුණ 360 සීමාව දක්වා ශ්‍රී ලංකාව රැගෙන ඒමේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් ගමනේ නව වැනි ශතකය මෙම තරගයේ දී ලබා ගත්තේය.

 පන්දු 171 ක් තුළ ලකුණු 109ක් ලබාගත් ධනංජය ද සිල්වා දුවද්දී දැවී යෑමට හසු වීමත් සමග ශ්‍රී ලංකා ඉනිම නතර කිරීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 360 රැස්කරගෙන තිබිණි.

 අංක 7 පිතිකරු ලෙස මෙම ඉනිමේ පන්දුවට පහරදීමට පැමිණි ධනංජය ද සිල්වා අලංකාර හතරෙ පහර 16 කින් සිය ශතකය වර්ණවත් කර ගත් අතර ඒ සඳහා පැය හතරකට අධික කාලයක් ඔහු කඩුල්ලේ රැඳී සිටි තිබුණි.

 කිසිදු අපහසුවකින් තොරව පාකිස්තාන දඟ පන්දු බලඇණිය හමුවේ පිත්ත හැසිර වූ ධනංජයට එම ශතකය කරා යෑමට මනා සහයක් ලබා දුන් අංක 9 පිතිකරු රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 45 ක් ලබා ගත්තේය. නවක පිතිකරු දුනිත් වෙල්ලාලගේ 7 වන කඩුල්ල ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 278 දී දැවී යෑමෙන් පසුව පිටියට එකතු වූ රමේෂ් ධනංජය සමග එකතුව ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 82ක් විය.

 ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 61කට දැවී ගිය අතර නවුමාන් අලී ගේ පන්දුවක් හමුවේ එල්ල කළ පහරක් අබ්දුල්ලා ශෆීක් උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් පසුව දිමුත්ගේ ඉනිම නිමාවිය.

 ඒ අතරතුර දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 සීමාව පසු කර යෑමට සමත් වූ ශ්‍රී ලංකා නායකයා එවැනි දස්කමක් ප්‍රදර්ශනය කළ හයවැනි ශ්‍රී ලංකා පිතිකරුවා බවට වාර්තා පොත්වල සිය නම සටහන් කර ගත්තේය.

 දිමුත්ට පෙර එම දස්කම ප්‍රදර්ශනය කර තිබුණේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, සනත් ජයසූරිය, සහ අරවින්ද ද සිල්වා යන පිතිකරුවෝ වෙති.

 ආබාධමය තත්ත්වයක් හේතුවෙන් සිය සුපුරුදු ආරම්භක පිතිකරු ස්ථානයෙන් පියවර කීපයක් මෙම ඉනිමේ පසුපසට ගිය ශ්‍රී ලංකා නායකයා අංක 6 පිතිකරුවා ලෙස පන්දුවට පහර දීමට පිටියට පැමිණි අතර පාකිස්තාන දෙවනි ඉනිම ආරම්භයේ සිට ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධුරයේ වැඩ කටයුතු කිරීම උප නායක ධනංජය ද සිල්වා විසින් සිදු කරනු දක්නට ලැබිණි.

අඳුර මැද නැවතුණු පකිස්තානුවෝ අද මහගිරිදඹ පාමුල
advertistmentadvertistment
advertistmentadvertistment