කොළඹ උතුර පරදවා යූත් ලීග් ශූරතාව මහනුවර දිනා ගනියි

88

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වරටත් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් කළ මහනුවර කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඊයේ (06 වැනිදා) පස්වරුවේ සමත්විය. ඒ සමගම ජයග්‍රාහී මහනුවර කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 4 ක ත්‍යාගයක් හිමිවිය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී කොළඹ උතුරු කණ්ඩායමට පන්දුවාර 48.1 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 177 ක් පමණක් වූ අතර එම ඉලක්කය හඹා ගිය ජයග්‍රාහී මහනුවර පිතිකරුවෝ පන්දුවාර 14යි පන්දුවක් සහ කඩුලු 6ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ.

එම හඹා යෑමේදී දෙවැනි කඩුල්ලට එක් වුණු නායක රහල් අමරසිංහ සහ සුපුන් වඩුගේ ලකුණු 91 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සඳහා වන මූලික අඩිතාලම එක් කළහ. මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රහල් අමරසිංහ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් පන්දු 52 කදී වේගවත් ලකුණු 70 ක් ලබා ගත්තේය. මෙම ඉනිම හේතුවෙන් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද මහනුවර නායකයා පිදුම් ලැබීය.

කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි සරුජන ශන්මුගනාදන් සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රශ්මික හිරූෂාන් එක්ව කඩා වැටුණු ඉනිමට මුක්කු ගැසූහ. ඒ අනුව ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක් එක් කරන ලද්දේ පන්දු 84 ක් වැය කරමිනි.

මෙම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 3 කදී කඩුලු 10 ක් බිඳ හෙලූ ගාල්ල කණ්ඩායමේ යූරි කොත්තිගොඩද, දක්ෂතම පිතිකරුවා ලෙස තරග 3 කදී ශතකයක් ද සමඟ ලකුණු 178 ක් රැස් කළ පුළිඳු පෙරේරා ද සම්මාන දිනා ගනිද්දී

තරගාවලියේ වීරයා ලෙස ගාල්ල කණ්ඩායමේ නායක මල්ෂ තරුපති සම්මාන දිනා ගත්තේය. මල්ෂ මෙවර තරග වාරයේ තරග 3 කදී කඩුල 6 ක් සහ පන්දුවට පහර දෙමින් ලකුණු 104 ක් ලබා එම සම්මානයට හිමිකම් කීය. අනුශූරතාවට පත් කොළඹ උතුරු කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 3ක මුදලක් හිමිවිය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුරේෂු බුලන්කුලම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 48.1 කදී සියලු දෙනා දැවී ලකුණු 177 යි – (සරුජන් සම්මුගනාදන් 76, රශ්මික හිරුෂාන් 30, හිරුන් කපුරුබණ්ඩාර 15, ඉනුක කරන්නාගොඩ 10, දුවිඳු රණතුංග 14ෆ, තෙනුක ඒකනායක 27/3, අබ්දූල් හකම 39/3, කවිෂ පියුමාල් 25/2, දිනූක තෙන්නකෝන් 38/2)

මහනුවර පන්දුවාර 35යි පන්දු 5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 178 යි – (රහල් අමරසිංහ 70, සුපුන් වඩුගේ 31, කවීජ ගමගේ 49, මනුල කුලරත්න 14, දුවිදු රණතුංග 36/2, උවින් පෙරේරා 15/1, විහන් තෙව්මික 28/1)

advertistmentadvertistment
advertistmentadvertistment