බැඳුම්කර නිකුතුව හා අර්ථසාධක ගනුදෙනුවලට කබ්රාල් වැරදිද නැද්ද?

228

වෝහාරික විගණනය ඉන්දියාවට දුන්නේ කාගේ වරදින්ද?

බැඳුම්කර නිකුතුව සහ සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ක‍්‍රියාවලිය පිළිබඳ ඉන්දියානු වෝහාරික විගණන සමාගම් දෙකක් විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවල මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා වැරැද්දක් කර ඇති බවට කිසිදු සඳහනක් නොමැත.

ශ‍්‍රී ලංකා බැඳුම්කර නිකුතු සහ සේවක අර්ථසාධක අරමුදල ආයෝජන කටයුතු පිළිබඳව වෝහාර විගණනයන් අවශ්‍ය වූවා නම්, ඒවා සිදු කළ යුතුව තිබුණේ රටේ විගණකාධිපති තුමන් විසිනි. එසේ නැත්නම්, විගණකාධිපතිතුමාගේ පූර්ව අධීක්ෂණය යටතේය. එහෙත් එසේ නොකරමින්, වංචා චෝදනාවලට සම්බන්ධ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ අනුදැනුම ඇතිව සහ වෙනත් සැක මතුකරන නිලධාරිනියකගේ මග පෙන්වීම ඔස්සේ මෙම වෝහාරික විගණන ඉන්දියාවේ ආන්දෝලනයන්ට ලක්ව තිබූ විගණන සමාගම් දෙකක් විසින් ඉතා විශාල අසාමාන්‍ය මිලකට පැවරීම සෑහෙන සැක මතු කරන කරුණකි.

එපමණක් නොව, විගණනය කිරීමෙන් පසුව, සිය වගකීමෙන් ගැලවීම සඳහා එම විගණන වාර්තා පිළිබඳව තමන් කිසිදු වගකීමක් භාර නොගන්නා බවත් වෝහාරික විගණකවරුන් නිශ්චිතවම සඳහන් කොට ඇත. එසේ කිරීමෙන් පිළිබිඹු වන්නේ මෙම වෝහාරික විගණනවල කිසිදු ප‍්‍රයෝජනයක් අප රටට ලැබී නොමැති බවයි.

බැඳුම්කර නිකුතුවේදී ”සෘජු නිකුතු” වලදී (උපකල්පිත ”පාදක මිලක්” මත පදනම්ව) රුපියල් බිලියන 10.4ක උපකල්පිත අලාභයක් (hypothetical loss) සිදු වී ඇති බවට බැඳුම්කර නිකුතු විගණනයට භාජනය කළ ඉන්දියානු BDO වෝහාරික විගණන වාර්තාව සඳහන් කර ඇත. නමුත් එම කාලය තුළ, එම පදනමම ඔස්සේ, රුපියල් බිලියන 28.0ක දැවැන්ත උපකල්පිත ලාභයක් ද ලබා ඇති බව සඳහන් කිරීමට ඔවුන් මැළි වී ඇත. මෙයින්ම පැහැදිලි වන්නේ ඔවුන් යම්කිසි රහස් හස්තයක ග‍්‍රහණයකට අනුව කටයුතු කිරීමට පෙලඹී ඇති බවයි. (වගුව 02)

බැඳුම්කර නිකුතුව හා අර්ථසාධක ගනුදෙනුවලට කබ්රාල් වැරදිද නැද්ද?

තවද, ඉහත සඳහන් රුපියල් බිලියන 10.4 ක උපකල්පිත ‘අලාභය’ මුළුමනින්ම පාහේ සේවක අර්ථසාධක අරමුදල (EPF), ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB), ලංකා බැංකුව (BOC) සහ මහජන බැංකුව (People’s Bank) යන රජයේ ආයතනවල ‘ලාභය’ ලෙස පිළිබිඹු වී ඇත. එයින් තහවුරු වන්නේ එම ගනුදෙනු හරහා ලාභය ලබා ඇත්තේ පිටස්තර ආයතනවලට වඩා රජයේම ආයතන බවයි. (වගුව 01)

ඒ අතරම, KPMG ඉන්දියානු විගණන ආයතනය විසින් සකස් කරන ලද සේවක අර්ථසාධක අරමුදල (EPF) පිළිබඳ වෝහාරික විගණන වාර්තාවෙන් දක්වා ඇත්තේ කබ්රාල් මහතා අධිපති ධුරය දැරූ සමයේ සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනය ක‍්‍රියාවලිය හරහා රුපියල් බිලියන 9.2 ක උපකල්පිත පාඩුවක් ලබා ඇති බවයි. එහෙත්, ඇත්ත වශයෙන්ම, 2014 දෙසැම්බර් 31 දින වන විට, KPMG ම උපුටා දක්වා ඇති සමාගම් කොටස් 15ක උපලබ්ධි (unrealised) අලාභය, අධිපති කබ්රාල් මහතාගේ පාලන සමයේ රුපියල් බිලියන 3.3 ක් පමණි. ඒ අතරම, එම කොටස් සඳහා රුපියල් බිලියන 5.9 ක උපලබ්ධි අලාභයක් තවදුරටත් සිදුවූයේ ඉන්පසුව පත් වූ මහ බැංකු අධිපතිවරුන් වන මහේන්ද්‍රන් මහතාගේ සහ කුමාරස්වාමි මහතාගේ කාලයන් තුළදීය. (වගුව 03)

ඊට අමතරව, 2014 දෙසැම්බර් 31 දින වන විට, සේවක අර්ථසාධක අරමුදලේ ඉතිරි කොටස් කලඹ සම්බන්ධයෙන් ලබා තිබූ උපලබ්ධි ලාභය රුපියල් බිලියන 17.6 ක් වූ බව වෝහාරික විගණකවරුන් හිතාමතාම සඳහන් කර නොමැත. ඒ අනුව, 2014 දෙසැම්බර් 31 වෙනි දින වන විට EPF ආයෝජන කොටස් කලඹේ උපලබ්ධි අලාභය වූ රුපියල් බිලියන 3.3 වෙනුවෙන් අධිපති කබ්රාල් මහතා වගකිව යුතුයි යන මතය තහවුරු කිරීමට උත්සාහ කරන්නේ නම්, ඒ ආකාරයෙන්ම, රුපියල් බිලියන 17.6 ක උපලබ්ධි ලාභයේ ගෞරවය අධිපති කබ්රාල් මහතා මත පැවරිය යුතුව ඇත. (වගුව 04)

එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාවලට අනුව, 2011 සිට 2014 දක්වා වූ වසර 4ක කාලය තුළදී එකී අරමුදල රුපියල් බිලියන 14.6ක ආදායමක් කොටස් කලඹයෙන් උපයාගෙන ඇති අතර, එම කරුණ ද වෝහාරික විගණකවරුන් සඳහන් කිරීමටවත් නොපෙළඹුණේ ඒ හරහා යම් ගෞරවයක් කබ්රාල් මහතාට ලැබේයයි යන කරුණ නිසා විය හැකිය. (වගුව 05)

ඒ සමගම, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ගේ ඥාතීන් බොහෝ දෙනෙක් බැංකු සහ මුල්‍ය ආයතනවල අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බවට ඉන්දියානු වෝහාරික විගණන ආයතන දෙකේම වාර්තාවල විස්තරාත්මක ව සඳහන් කොට ඇත. එහෙත් එම සටහන් කිසිවෙක කබ්රාල් මහතා හෝ ඔහුගේ ඥාතීන් කිසිදු වරදක් කර ඇති බවට සටහනක් නම් නොමැත.

කරුණු එසේ වුවද, විවිධ දේශපාලනඥයින් සහ සමහර මාධ්‍ය මෙම ඥාතීන්ගේ නම් ලැයිස්තුව පදනම් කරමින්, කබ්රාල් මහතා සහ ඔහුගේ ඥාතීන් යම් වැරදි සහ අක‍්‍රමිතාවලට සම්බන්ධයයි හුවාදක්වමින් අධිපති කබ්රාල් මහතාගේ කීර්ති නාමය විනාශ කිරීමට විශාල ප‍්‍රයත්නයක් දරන බව පැහැදිලිය. තවද මේ සියලූම ඥාතීන් කබ්රාල් මහතා අධිපති වීමට පෙරත්, ඒ සමයේදීත්, ඊට පසුවත්, බැංකු ක්‍ෂේත‍්‍රයේ අධ්‍යක්ෂවරුන් වශයෙන් ක‍්‍රියා කර ඇත්තේ ඔවුන්ගේම සුදුසුකම් සහ අත්දැකීම් නිසා බවත් පැවසිය යුතුය.

කෙසේ වෙතත්, මෙම වෝහාරික විගණන වාර්තාවලින් පෙනී යන්නේ කබ්රාල් මහතා හෝ ඔහුගේ ඥාතීන් එක් වැරැද්දක් හෝ මුල්‍ය අලාභයක් සිදු කළ ඇති බවට කිසිදු සාක්ෂියක් මෙම වෝහාරික විගණනවලින් අනාවරණය කිරීමට පොහොසත් වී නැති බවයි.

එබැවින් කබ්රාල් මහතාගේ කීර්ති නාමය පළුදු කිරීමට දරන වර්තමාන උත්සාහවලින් පෙනී යන්නේ මෙම වෝහාරික විගණන වාර්තා හසුරුවමින් යම් දේශපාලන කඳවුරක් වෙනත් වැරදි මතයක් රටට හුවා දක්වන්නට ඉතා කූට උත්සාහයක යෙදී සිටින බවය. ඒ අනුව, මෙම වාර්තා පදනම් කරගනිමින් මහ බැංකු අධිපති කබ්රාල් මහතාට විරුද්ධව චෝදනා එල්ල කරමින්, අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු බැඳුම්කර වංචාවේ මහා මොළකරුවන් ගැන තිබූ අවධානය වෙනත් අතකට යොමු කිරීමට මේ කූට කණ්ඩායම උත්සාහ කරන බවය.

මිලින්ද රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment