ආණ්ඩුවේ වංචා දූෂණ ගැන ජනාධිපති කිසි කතාවක් නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

63

ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරමින් සුපුරුදු පරිදි අහක බලාගෙන සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (09) පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා මේ බව කී අතර එහිදී මෙසේද කියා සිටියේය.

අද මැයි මාසයේ 09දා දේශපාලන වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් ඇති වෙච්ච දිනයක්. මේ රටේ ජනතාව අලු‍ත් බලාපොරොත්තු ඇතිව අලු‍ත් දේශපාලන සංස්කෘතියක්, අලු‍ත් දේශපාලන ක්‍රමවේදයක් ඇති කරන්න වගේම දේශපාලනඥයන්ට යම් පණිවිඩයක් ලබා දීපු දවසක් බව අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් අවාසනාවන්ත තත්වය තමයි ඒ දවස තුළ මේ රටේ ජනතාව තමන් බලාපොරොත්තු වන ඒ දේශපාලන ක්‍රමයේ වෙනස වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ඇවිත් තමන්ට මේ රට අලු‍ත් දිශාවකට ගෙනියන්න ජනතාව විසින් නගපු හඬ අද වෙනකොට යටපත් වෙලා තිබෙන එක. ඒ විතරක් නෙමෙයි ජනතාව ඉල්ලපු ඉල්ලීම් සහ ඒ ජන බලය හරහා තිබුණු රාජපක්ෂ පාලනය ඉවත් වීම තුළ ජනතාව විශාල දේශපාලන වෙනසක් රටේ බලාපොරොත්තු වුණා. නමුත් ඒ වෙනස ඇති වෙනවාට වඩා නැවතත් පාර්ලිමේන්තුවෙන් පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත නැවත මේ රට මඩ ගොහොරු දේශපාලන හා සම්ප්‍රදායික දේශපාලනය තුළට නැවතත් රට අරගෙන යන බවක් පේනවා.

ආණ්ඩුව එක පැත්තකින් පෙන්නන්න හදනවා මේ රටේ ඉස්සරහට යනවා, ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට එනවා, රට හරි දිශාවකට තල්ලු‍ කරනවා කියලා ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වා උදවිය පෙන්නන්න හැදුවත් අපිට පේනවා වංචා දූෂණවල අඩුවක් වෙලා නැහැ. නිරන්තරයෙන් පෙනි පෙනී ඒවා සිදුවෙනවා. මේ ආණ්ඩුවේ කැබිනට් එක නියෝජනය කරන විශාල ඇමැතිවරු පිරිසකට වංචා දූෂණ චෝදනා තදබල ලෙස එල්ල වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියාත්මක කරන ආකාරයක් පේන්න නැහැ. ජනාධිපතිතුමා සුපුරුදු පරිදි වංචා දූෂණ සිද්ධ වීම ගැන එතුමා සුපුරුදු ප්‍රතිපත්තිය විදියට අහක බලාගෙන ඉන්නවා. රාජපක්ෂලා ආණ්ඩුව තුළ හා කණ්ඩායම එකතුව ගෙන යන වංචා දූෂණ සම්බන්ධව එතුමා නිශ්ශබ්දයි. සුපුරුදු පරිදි අහක බලාගෙන ඉන්නවා. අධිකරණ ඇමැතිතුමා කියනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වංචාව ගැන. එම නෞකාව ගිනිබත් වීම වන්දිය දිහා බැලු‍වොත් බිලියන 6.2 වන්දි ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබෙනවා. එවැනි වන්දි පමාණයක් තීන්දු කරලා තිබියදී මේ සම්බන්ධව ආණ්ඩුව පැත්තෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති ආකාරය ගැන බලනකොට ඉතා මන්දගාමී විදියට තමයි ඒ ක්‍රියාදාමය සිදුවෙලා තියෙන්නේ. ඒ සිද්ධිය සිදුවෙලා මාසේ විසි දෙකක් යනකම් නඩුවක් පැවරුවේ නැහැ. ඒ මන්දගාමී ක්‍රියා කලාපය තුළ ගැටලු‍ ඇති වෙලා නීතිපති දෙපාර්තමේන්තුව මන්දගාමීව වැඩ කළේ කාගේ වුවමනාවටද? ඇයි මේ රජයේ ඉන්න ඇමැතිවරුන්ට මේ ක්‍රියාදාමය වේගවත් කරලා නඩු දැමීම ඉක්මනට සිදු කරන්න බැරි වුණේ? අන්තිමට නඩුව දැම්මේ නඩු දාන්න ඕන කාලය ඉවර වෙනකොට. ඒ නිසා තමයි මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් යම්කිසි දූෂණයක් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියන සැකය අද වෙනකොට ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ සැකය තවත් තහවුරු කරනවා අධිකරණ ඇමැතිවරයා ඇවිත් කියනවා ඩොලර් මිලියන 250ක් එක්කෙනෙකුගේ ගිණුමට බැර වෙලා කියලා. ඩොලර් මිලියන 250ක් අත යට ගනුදෙනුවක් සිදු වෙලා කියලා අපිට මේවා ගැන සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා. ඒකයි කිව්වේ මේ ආණ්ඩුවට දවසගානේ වංචා-දූෂණ චෝදනා එල්ල වෙනවා කියාලා.

මේ රට හරි දිශාවකට ගමන් කරන්න වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයකට යා යුතුයි යන්න පුළුවන් බලය ජනාධිපතිවරයාට දැන් තියෙනවා. අපි ජනාධිපතිතුමාට කියන්නේ මේ ජනතාවගේ විරෝධයට ලක් වෙච්ච ජන වරමක් නැති ජනතාවගේ මුදල් අවභාවිතා කරන කැබිනට් එකක් ඉන්න මුදල් හොරකම් කරන ඒ තුළ ජීවත් වෙන මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලු‍ත් ජනවරමට අපි යා යුතුයි. ඒකට අපි ජනාධිපතිවරයාට බල කරනවා. අපි දන්නේ නැහැ ජනාධිපතිවරයා අද රාජපක්ෂලාගේ හිරකාරයෙක් බවට පත් වෙලාද කියලා. එතුමාට බලය තියෙද්දි එතුමා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව ඉන්නවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment