අලුත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ සන්ධානයක් වශයෙන් විතරයි දේශපාලන පක්‍ෂ රැසක් සන්ධානගත කර ගන්නවා – දයාසිරි ජයසේකර

44

අපගේ මේ අලුත් දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන්නේ සන්ධානයක් වශයෙන් මිස දේශපාලන පක්ෂයක් වශයෙන් නොවන්නේ යැයි ද ඉදිරියේදී එම නව සන්ධානය තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකරාශී කර ගෙන දැවැන්ත සන්ධානයක් ගොඩනඟන්නේ යැයිද ඒ තුළින් රට ඉදිරියට ගෙන යෑමට හැකි නව නායකත්වයක් බිහි කිරීමට අපි කටයුතු කරන්නේ යැයිද මානුෂීය ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

දයාසිරි ජයසේකර මහතා එසේ පැවසුවේ පෙරේදා (20 වැනිදා) පස්වරුවේ කොළඹ – 07, හෝර්ටන් පෙදෙසේ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති මානුෂීය ජනතා සන්ධානය ජනගත කිරීමේ උත්සවයේදීය.

මෙදින එම නව සන්ධානය සමග දේශපාලන පක්ෂ 22 ක් එක් වී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදු කෙරිණි.

මෙහිදී තවදුරටත් කතා කළ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීය.

මේ නව සන්ධානයේ මූලික හරය හා ශක්තිය පිළිබඳව සිය අදහස් දැක්වීම ගැන ටියුඩර් වීරසිංහ හා ධම්ම දිසානායක යන මහාචාර්යවරුන්ට මා ප්‍රණාමය පුද කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. නමුත් මා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙක් වෙනවා. ඒ නිසා මා පක්ෂයක් බිහි කරන්නට කටයුතු කළා නෙමෙයි. මෙය සන්ධානයක් වෙනවා. පක්ෂයේ රැඳී සිටිමින් සන්ධානයක් ගොඩනඟන්නට බාධාවක් නැහැ. ඒකයි මා මේ නව සන්ධානය ගොඩනඟන්නට කටයුතු කෙළේ.

මේ අලුත් දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන්නේ සන්ධානයක් ලෙසටයි. එය දේශපාලන පක්ෂයක් නෙමෙයි. ඉදිරියේදී මේ නව සන්ධානය සෙසු දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකරාශී කර ගෙන දැවැන්ත සන්ධානයක් ගොඩනඟනවා. එය හදන්නේ අපගේ සන්ධානයේ තිබෙන මූලධාර්මික පදනම රැක ගෙනයි. එසේ අපි දැවැන්ත සන්ධානයක් ගොඩනඟා ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන අවංක අලුත් නායකත්වයක් බිහිකිරීමට කටයුතු කරනවා.

ඉකුත් 2015 – 2019 කාලයේ ණය මුදල් අරන් තිබෙන්නේ ගිනි පොළියටයි. ණය ගෙවීම කල් දැමීම හොඳ දෙයක් නෙමෙයි. එහි පලවිපාක ඉදිරියේදී ජනතාවට විඳින්නට සිදු වෙනවා. මේ වනවිට ආදායමට වඩා වියදම වැඩියි. එයට මුහුණදීමට නම් ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා දූෂණයෙන් තොරව කටයුතු කරන්නට එකතු වෙමු.

ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස් මහතා කතා කරමින් – අපි මේ නව සන්ධානය ජනගත කිරීම සඳහා විශාල වෙහෙසක් දැරුවා. එහි ප්‍රතිඵලය අද අපි භුක්ති විඳිනවා. මෙය අද යුගයේ අවශ්‍යතාවයක් වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ හා මහාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන් විසින් ආරාධිත දේශන පවත්වන ලදී.

හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රභා ගනේෂන්, එක්සත් කොංග්‍රස් පක්ෂයේ මුබාරක් අබ්දුල් මජිඩ් හා ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ එම්. විශ්ශුකාදන් යන මහත්වරුන්ද කතා කළහ.

මේ අවස්ථාවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රවුෆ් හකීම්, පී. දිගම්බරම්, අශෝක් අබේසිංහ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයන් රැසක්ම සහභාගි වූහ.

එහිදී එම නව සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමග සන්ධානගතවූ දේශපාලන පක්ෂ 22 ක නායකයන් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අයුරු ද, එයට සහභාගි වූ දේශපාලන පක්ෂවල නායකයන් අසුන් ගෙන සිටි අයුරු ද, එයට වැඩම කළ ගරුතර සංඝරත්නය ද, දයාසිරි ජයසේකර මහතා විසින් කතා කළ අයුරු ද මෙහි දැක්වෙයි.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment