බදු පිට බදු පැටවුණු මිනිහාට තවත් බදු….

ගිය වසරේ (2022) තිබුණු ආර්ථික තත්ත්වයට සාපේක්ෂව මේ වන විට කිසියම් දුරකට ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කර ගැනීමට රජයට හැකිව ඇත. එහෙත් තවමත් අප සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ලබා ගනිමින් අප මුහුණ දී සිටින බලවත් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උත්සාහ දරමිණි. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් ඇමැතිවරයා වශයෙන් ලබන වසර (2024) සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමට සිදු වූයේ ද ඉතාමත් අභියෝගාත්මක වාතාවරණයක දී බව ද කිව යුතුය. රජයට අවශ්‍ය පරිදිම අයවැය සකස් කිරීමට ද නොහැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ආර්ථික ගැළපුම් වැඩසටහනේ ඉලක්කවලට ද අනුරූපව අයවැය සැකසිය යුතුව තිබේ. එම ඉලක්ක අප සපුරා ගැනීමට අසමත් වන්නේ නම් අපට මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ ඉදිරි ණය වාරික ලබමින් ඉදිරියට ගමන් කිරීමට ද නොහැකි වනු ඇත. අපට දැනටමත් එහි දෙවන ණය වාරිකය තවමත් ලබා ගැනීමට නොහැකිව ඇත. මේ නිසා අයිඑම්එෆ් එක සමග රජය එකඟ වී ඇති ඉලක්ක ද සපුරාගත හැකිවන පරිදි ලබන වසරේ (2024) අයවැය ඉලක්ක සපුරා ගැනීමට ද අපට සිදු වනු ඇත. මේ පසුබිම තුළ ඉකුත් නොවැම්බර් 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ හොඳ නරක ගැන අපි කතා කරමු.

● රට ඉහළට ඔසවා තැබීමට

ඊලඟ අවුරුද්දේ මේ අයවැයෙන් ගොඩ යන පොටක්!

ලබන වසර (2024) මැතිවරණ වර්ෂයක් ද වේ. මේ නිසා මේ අයවැය මැතිවරණ අයවැයක් ලෙස ද ඇතැම් අය හඳුන්වනු ලබයි. කෙසේ හෝ අයවැය කතාව කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ‘අපට දේශපාලන අරමුණක් නැහැ. අපට ඇති එකම අරමුණ රට ඉහළට ඔසවා තැබීම පමණයි’ කියාය. ඇත්ත වශයෙන්ම මේ මොහොතේ අවශ්‍ය කරන්නේ ද රට ඉහළට ඔසවා තැබීම සඳහා සියලු දෙනාම දායක කර ගැනීමයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය මේ අයවැයෙන් ද ඉල්ලා තිබුණත් රජය ඇතැම් විට කටයුතු කරන්නේ කිසිවකුගේ මතයකට සවන් නොදී ඉතාමත් හිතුවක්කාරී ආකාරයෙන් බවට ද පෙනෙන්නට ඇත. ඒ නිසා රජයේ කතාව සහ ක්‍රියාව අතර පරස්පරයක් ද දැකීමට තිබේ. අනිත් අතට රට ඉහළට ඔසවා තැබීම සඳහාය කියා රජය කරන හැම දෙයක්ම නිවැරදි වන්නේ ද නැත. මේ නිසා මේ තත්ත්වය ඇතැම් විට රජය කියන රට ඉහළට ඔසවා තැබීමේ උත්සාහය සඳහා සියලු දෙනාගේ සහාය හා දායකත්වය ලබා ගැනීමට බාධාවක් ද වනු ඇත.

● රාජ්‍ය ආදායම් ඉලක්ක යථාර්ථවාදී ද?

මුලින්ම මේ අයවැයට අනුව ලබන වසරේ සමස්ත අයවැය තත්ත්වය අපි විමසා බලමු. මේ අනුව ලබන වසරේ (2024) මුළු ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම (ප්‍රදාන සමග) රු. බිලියන 4127කි. මේ වසරේ සංශෝධිත අයවැය ඇස්තමේන්තුවලට අනුව මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 2851ක් වේ. මේ අනුව මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 1276 කින් වැඩි කර ගැනීමට රජය අපේක්ෂා කරයි. එසේම මෙවර අයවැයෙන් රජය අපේක්ෂා කරන්නේ රු. බිලියන 3820 ක බදු ආදායමක් ලබන වසරේ දී උපයා
ගැනීමටය. මේ වසරේ සංශෝධිත අයවැය ඇස්තමේන්තුවලට අනුව මුළු බදු ආදායම රු. බිලියන 2596කි. මේ අනුව බදු ආදායම ලබන වසරේ දී රු. බිලියන 1224 කින් වර්ධනය කර ගැනීමට රජය ඉලක්ක කර ඇත. මේ ඉලක්කය සපුරා ගැනීමට නම් මේ වසරට වඩා ලබන වසරේ දී සියයට 47 කින් බදු ආදායම වැඩිකරගත යුතු වේ. මෙය කෙතරම් යථාර්ථවාදී ඉලක්කයක් ද යන්න ප්‍රශ්නයකි. මේ වසරේ බදු අදායම් ඉලක්ක ද අපට සපුරා ගැනීමට හැකිව නැත. ඒ අනුව ජනාධිපතිවරයාම අයවැයෙන් කියන්නේ මේ අවුරුද්දේ අප ඉලක්ක කරන ලද රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,415 ක් වුවත් මේ දක්වා අප උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 2,410 ක් පමණක් බවයි. ඒ අනුව මේ වසරේ දී අප ඉලක්ක කළ ආදායම උපදවා ගන්නට අසමත් වී ඇත. මේ කරුණු අප සැලකිය යුතු අතර අපගේ බදු ආදායම් ඉලක්ක සාර්ථක කර ගැනීමට බදු පැහැර හැරීම් වළක්වා ගත යුතු අතරම ශක්තිමත් බදු පරිපාලනයක් තිබීම ද අත්‍යවශ්‍ය වේ. එහෙත් මේ කරුණු දෙකෙන්ම අප සිටින්නේ දුර්වල තත්ත්වයකය. ඒ නිසා මේ කියන ආදායම් ඉලක්ක කෙතරම් යථාර්ථවාදී ද යන ප්‍රශ්නය තිබෙන අතරම ඒ නිසා රජය සැලසුම් කර ඇති වියදම් ඒ ආකාරයෙන්ම සිදු කිරීමට මුදල් උපදවාගත හැකි වේ ද යන අවදානම මතුව තිබේ.

ඉලක්ක සපුරාගැනීමේ අභියෝගය

මේ ගැන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත ආයතනයක් වන ෆිච් රේටින්ස් ආයතනය ද පවසා තිබුණේ ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතියට පත්වීමක් අපේක්ෂා කළ හැකි වුවද 2024 වසර සඳහා අයවැයෙන් දක්වා ඇති ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක වනු ඇති බවයි. මෙවර අයවැයෙන් බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනය නොමැතිව වුවද 2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.6 ක් බවට ශ්‍රී ලංකාව කර ඇති ඇස්තමේන්තුව ඊට වඩා වැඩි විය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි. ෆිච් රේටිංග්ස් පවසන්නේ ආදායම් සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය උපකල්පනය කර ඇති මට්ටමට වඩා පහළ අගයක් ගනු ඇති බවයි. 2024 දී රජයේ ආදායම් සැලකිය යුතු අවදානමක පවතින බව ෆිච් රේටිංග්ස් සඳහන් කරන්නේ 2023 මුල් මාස 09 තුළ දී ශ්‍රී ලංකාව ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ආදායම් රැස් කිරීම සියයට 29 කින් අඩු වී තිබීම නිසයි. කෙසේ වෙතත් අධිකාරීන් විසින් 2024 ආදායම සියයට 45 කින් පමණ ඉහළ නංවා ගැනීමට ඉලක්ක කර ඇත. ඒ සඳහා එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 18 ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු වැඩසටහන් කිහිපයක් සහාය දක්වනු ඇති බව ෆිච් රේටිංග්ස් ආයතනය තවදුරටත් සඳහන් කර තිබුණි.

● සාමාන්‍ය ජනයා මත වැඩි බදු බරක්

මේ කියන ඉලක්කගත විශාල බදු ආදායම රැස් කර ගැනීම මේ අනුව අභියෝගාත්මකය. අනිත් අතට මේ බදු බර දරන්නට සිදු වන්නේ කාටද යන ප්‍රශ්නය ද අපට මතු වේ. මුළු බදු ආදායමෙන් රු. බිලියන 1080 ක් ආදායම් බදුය. මේ වසරේ ඉලක්ක කළ අදායම් බදු ආදායම රු. බිලියන 864 කි. මේ අනුව ලබන වසරේ දී ආදායම් බදු ආදායම රු. බිලියන 216 කින් එනම් සියයට 25 කින් වැඩි කර ගැනීමට රජය සැලසුම් කර ඇත. මේ අතර ලබන වසරේ (2024) භාණ්ඩ හා සේවා මත පනවා ලබන ආදායම රු. බිලියන 2235 කි. මේ වසරේ (2023) භාණ්ඩ හා සේවා මත රු. බිලියන 1376 ක බදු ආදායමක් රැස් කර ගැනීමට අපේක්ෂා කෙරේ. මේ අනුව රු. බිලියන 859 කින් එනම් සියයට 62.5 කින් පමණ ලබන වසරේ භාණ්ඩ හා සේවා මත බදු පනවා ආදායම් රැස් කර ගැනීමට රජය ඉලක්ක කර ඇත. ලබන වසරේ විදේශ වෙළෙඳාම මත ලැබීමට ඉලක්ක කර ඇති බදු ආදායම රු. බිලියන 505 ක් වේ. එම බදු ආදායම මේ වසරේ (2023) රු. බිලියන 357ක් වේ. මේ අනුව රු. බිලියන 148 කින් එනම් සියයට 41.5 කින් ලබන වසරේ දී විදේශ වෙළෙඳාම මත බදු ආදායම වර්ධනය කර ගැනීමට රජය ඉලක්ක කර ඇත. විදේශ වෙළෙඳාම මත බදු පැනවීමේ දී ද ආනයනික භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිවේ. රු. බිලියන 287 ක මුදලක් බදු නොවන ආදායම් වශයෙන් 2024 දී රැස් කර ගැනීමට ද නියමිතය. බදු නොවන ආදායම මේ වසරේ (2023) දී ඇස්තමේන්තු කර ඇත්තේ රු. බිලියන 243 ක් ලෙසය. එසේ නම් 2024 දී රජය විසින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බදු ආදායමේ බර වැඩි වශයෙන්ම පැටවෙන්නේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා වෙතය. දැනටමත් බඩු මිල ඉහළ යෑමෙන් සහ බදු බර ඉහළ යෑමෙන් විශාල පීඩනයකට මුහුණ දී සිටින සාමාන්‍ය ජනයා ලබන වසරේ දී තවත් පීඩාවට පත්වනු ඇත. රජය ආදායම් හෝ ලාභ මත පනවන සෘජු බදු ආදායම් වැඩි කර ගැනීමට වඩා වක්‍ර බදු එනම් භාණ්ඩ හා සේවා මත පනවන බදු හරහා වැඩියෙන් බදු රැස් කර ගැනීමට යෑම නිසා මෙය සිදු වේ. මේ ප්‍රතිපත්තියට අනුව බදු පැහැර හරින්නන්ට බදු පැහැර හැරීමට ද ඉඩකඩ ලැබෙනු ඇත. සාමාන්‍ය ජනයාට බදු පැහැර හැරීමට හැකියාවක් නැත. ඔවුන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී අනිවාර්යයෙන්ම රජයට බද්ද ගෙවා අවසන්ය. ඔවුන්ට මේ අතිවිශාල බදු බරින් මිදීමට නම් කළ හැක්කේ නොකා නොබී සිටීමටය. ඉතාම අඩු ආදායම්ලාභී දුප්පත් අයට නම් අස්වැසුම හෝ ලැබේ. රාජ්‍ය සේවකයන්ට නම් අප්‍රේල් මස සිට රු.10000 ක් හෝ වැඩි කර ඇත. එහෙත් අනෙකුත් මාසික වැටුප් ලබන සහ අවිධිමත් අංශවල ජනයා මත මේ සියලු බර පැටවේ. මේ නිසා මෙන්ම 2024 වසරේ රජයේ ඇස්තමේන්තුගත මුළු ආදායම් සහ වියදම් තත්ත්වයන් අනුවත් මේ අයවැය බුදුන් වහන්සේගේ ‘සමජීවිකතා’ ප්‍රතිපත්තිය අනුව සකස් කළ එකක් බව කීම නම් කිසිසේත්ම පිළිගත හැකි නොවේ.

● රජයේ වියදම් ඇස්තමේන්තු

ලබන වසරේ (2024) මුළු රාජ්‍ය වියදම රු. බිලියන 6978 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ වසරේ (2023) සංශෝධිත ඇස්තමේන්තුවලට අනුව ඉලක්ක කළ රාජ්‍ය වියදම රු. බිලියන 5253 කි. මේ අනුව ලබන වසරේ දී මේ වසරට සාපේක්ෂව මුළු රාජ්‍ය වියදම රු. බිලියන 1725 කින් එනම් සියයට 32.8 කින් වර්ධනය වේ. මේ තුළ ඇති වැටුප් හා වේතන වියදම මේ වසරේ රු. බිලියන 986 සිට ලබන වසරේ දී රු. බිලියන 1127 දක්වා රු. බිලියන 141 කින් වැඩි වේ. එනම් රු. කෝටි 14100 කින් එය වර්ධනය වන අතර එම වැඩිවෙන ප්‍රතිශතය සියයට 14.3 කි. මේ වියදම් තත්ත්වයන්ට අනුව ලබන වසරේ (2024) ජනිත වන (බැංකු ප්‍රතිප්‍රාග්ධණීකරණයට වැයකෙරෙන අගය ද සහිතව) සමස්ත අයවැය හිඟය රු. බිලියන 2851 ක් වේ. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය සියයට 9.1 ක් දක්වා වැඩිවෙනු ඇත. බැංකු ප්‍රතිප්‍රාග්ධණීකරණයට වැය කෙරෙන රු. බිලියන 450 ක අගය නැතිව නම් අයවැය හිඟය රු. බිලියන 2402කි. එවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය සියයට 7.6 ක් වේ. ජනපතිවරයා කියන්නේ මෙය බෞද්ධ ආර්ථික දර්ශනය අනුව සමජීවිකතා සංකල්පය පදනම් කරගෙන සකස් කළ අයවැයක් බවයි. සමජීවිකතා ප්‍රතිපත්තිය අනුව නම් ආදායමට සරිලන ලෙස අප වියදම හැඩගස්වා ගත යුතුය. එහෙත් මේ අයවැයේ ආදායම් සහ වියදම් තත්ත්වය තුළ එවැන්නක් පෙනෙන්නට නැත. මේ අප කියන්නේ ආදායම සමානයි වියදම ලෙස සම අයවැයක් ඉදිරිපත් කළ යුතු බවක් නම් නොවේ. එවැනි තත්ත්වයක් ඉතා කෙටි කලකින් ඇති කර ගැනීම ද පහසු නැත. එහෙත් අප ගමන් කළ යුතුව ඇත්තේ ඒ දිශාවටය. අනිත් අතට මේ අධික බදු බර හරහා ජනතාවගේ සමජීවිකතා ප්‍රතිපත්තියට වන්නේ කුමක් ද ? ලැබෙන ආදායමට සරිලන ලෙස වියදම ගලපා ගැනීමට ගියහොත් ඔවුන්ට සිදු වන්නේ බඩ ගින්නේ සිටීමටය.

● අයවැය ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය

ඊලඟ අවුරුද්දේ මේ අයවැයෙන් ගොඩ යන පොටක්!

අයවැයක හොඳ නරක එහි අන්තර්ගතයෙන් පමණක් අපට මැනිය නොහැකිය. අයවැයේ කෙතරම් හොඳ යෝජනා ඇතත් ඒවායින් ක්‍රියාත්මක වන්නේ කීයෙන් කීය ද? මේ නිසා අයවැයේ හොඳ යෝජනා ඇතුළත් වුවත් ඒවා කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්නට සහතිකයක් නැත. සාමාන්‍ය ජනයාගේ බදු වැඩි කිරීම් නම් අකුරට ක්‍රියාත්මක වනු ඇත. ඒ නිසා අයවැයක හොඳ නරක තීරණය වනු ඇත්තේ ඒවා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සහ ඉන් ලැබෙන යහපත් ප්‍රතිඵල මත බව ද කිව යුතුව තිබේ. මේ නිසා නිරන්තරයෙන් පසු විපරම් කරමින් අයවැය ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කළ යුතුව තිබේ. නැතහොත් ඉලක්ක කළ ආදායම් එලෙසම නොලැබී අයවැය හිඟය තවත් වැඩිවෙනු ඇත. එසේ නැතහොත් සැලසුම් කළ රාජ්‍ය වියදම් එලෙසම දැරීමට අපහසු වනු ඇත.

● ලංකා වාණිජ මණ්ඩලයේ අදහස

අතීත වැරදි ආර්ථික කළමනාකරණය නිවැරදි කිරීමට සහ තිරසාර වර්ධනය සාක්ෂාත් කරගැනීම උදෙසා වන වැදගත් පියවරක් ලෙස, 2024 ජාතික අයවැය දකින බව ලංකා වාණිජ මණ්ඩලය කියයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝගවලට ප්‍රතිචාරයක් ලෙස 2022 අග භාගයේ ආරම්භ වූ සාර්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යෑමේ තීරණාත්මක පියවරක් වශයෙන් මෙම අයවැය සලකනු ලබන බව ද ලංකා වාණිජ මණ්ඩලය කියයි. ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගයක් වූයේ වැරදි සාර්ව ආර්ථික කළමනාකරණය බව කියන ලංකා වාණිජ මණ්ඩලය, 2024 ජාතික අයවැය මෙම අතීත වැරදි පියවරයන් නිවැරදි කිරීම සඳහා අධිෂ්ඨානශීලී ප්‍රවේශයක් ගෙන ඇති බව ද සඳහන් කරයි. ඒ අනුව හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග අතර ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකා මහ බැංකු පනත හරහා මූල්‍ය ප්‍රතිපත්තිවල ස්වයං පාලනය බලාත්මක කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත හරහා මූල්‍ය නීති ශක්තිමත් කිරීමයි. මෙම මුලපිරීම් ඵලදායී සාර්ව ආර්ථික කළමනාකරණය නැවත ස්ථාපිත කිරීම සඳහා පදනම ලෙස සැලකෙන බව ද ලංකා වාණිජ මණ්ඩලය මෙවර අයවැය ගැන තවදුරටත් පවසයි.

● රජයේ සේවකයන්ගේ දීමනා වැඩි කිරීම

මෙවර අයවැයේ පළමු යෝජනාව වූයේ රජයේ සේවකයන්ට දැනට හිමිවෙන රුපියල් 7800 ක ජීවන වියදම් දීමනාව රු.17800 දක්වා රුපියල් 10000කින් වැඩි කිරීමයි. 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව වැඩිවෙන අතර එය 2024 අප්‍රේල් මාසයේ සිට ගෙවන බව අයවැයේ සඳහන් වේ. එසේම 2024 ජනවාරි සිට මාර්තු දක්වා වන හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට ද නියමිතය. මෙසේ අයවැයෙන් රජයේ සේවකයන්ට රු.10000 ක මුදල් ලබාදීමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇති නිසා රජයේ සේවකයන්ට නම් සමජීවිකතා ප්‍රතිපත්තිය අනුව කටයුතු කරමින් ජීවන තත්ත්වය තරමක් දුරට උසස් කර ගැනීමට හැකිය. එහෙත් ජනාධිපතිවරයා අයවැයෙන් පෞද්ගලික අංශයේ සේවකයන් ගැන වචනයක් හෝ කතා කළේ නැත. පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් ලබාදෙන ලෙස වන ඉල්ලීමක්වත් අයවැය කතාවේ නැත. එසේ නොකළේ ඇයි ? ජීවත් වීමේ අමාරුව තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ට පමණ ද? ජනාධිපතිවරයාම අයවැය කතාවේ සඳහන් කළ පරිදි රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 කි. ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5 කට වැඩිය. එහෙත් මාසික වැටුප් ලබන පෞද්ගලික අංශයේ සේවක සංඛ්‍යාව සහ ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව කොතරම් ද ? එසේම මාසික වැටුප් නොලබන අවිධිමත් අංශවල සේවය කරන විශාල පිරිසක් ද සිටී. රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව මේ පිරිස් කිහිප ගුණයකින් වැඩිය. රජය කර ඇත්තේ ඒ අයට වැට් බදු ගසා තෝරාගත් පිරිස් වෙත සහන සැලසීමයි. ආර්ථිකය තවමත් තිබෙන්නේ අමාරු තත්ත්වයක බව අපි දනිමු. ආර්ථිකය ගොඩ ගැනීමේ මල් වට්ටියට අප සියලු දෙනාම අත ගැසිය යුතුය. ඒ සඳහා ආර්ථික කළමනාකරණයේ අතීත වැරදි නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේ දී සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී පීඩාවන්වලට මුහුණ දීමට සිදුවෙන බව ද අපට පිළිගත හැකිය. එහෙත් රජය කටයුතු කළ යුතු වන්නේ එම පීඩාව (වේදනාව) අසමානව බෙදා හැරීමට නම් නොවේ. එසේම තෝරාගත් කොටසකගේ පමණක් පීඩාවන් සමනය කිරීමට ද නොවේ. සියලු ජනයා ජීවත් වන්නේ අමාරුවෙනි. ඒ නිසා මෙවැනි අවස්ථාවක රජය කටයුතු කළ යුතු වන්නේ තෝරාගත් කණ්ඩායම්වලට සහන සලසනවා වෙනුවට අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාගේ පීඩාව කිසියම් සමතුලිත ආකාරයකින් සමනය කිරීමට පියවර ගැනීමටයි. එහෙත් එවැනි පිළිවෙතක් මේ අයවැයේ දැකිය නොහැකිය. 2024 දී අස්වැසුම ලැබෙන ජනයාට ද කිසියම් අස්වැසිල්ලක් ඇත. ඒ නිසා එම පිරිස අතහැර සැලකුවොත් මේ රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය තුළ සාමාන්‍ය මැද පන්තියේ බහුතර ජනයා තවත් පීඩාවට පත්වන බව ද පෙනේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment