පාර්ලිමේන්තුවේ සම්මත වන පනත් ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්න තිබෙනවා – අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න

52

අපිට සල්ලි දීපු කතාව පුළුවන්නම් එළියට ඇවිත් කියන්න – ආනා පුංචිහේවා එලවන්න රණතුංගලා – සුමතිපාලලා එකට වැඩ කළා – අනුර කුමාර දිසානායක (ජාජබ)

ජවිපෙට ෂම්මිගෙන් මුදල් ලැබුණ හැටි ඉදිරියේදී කියන්නම් – ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග

බද්‍රවතී ගිලානෝපස්ථාන මින් ඉදිරියට රෝහලක් ලෙස පවත්වාගෙන යනවා – ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් ඒ විදියටම ක්‍රියාත්මක වන්නේ නම් රටට ගැටලුවක් නොමැති නමුත් සම්මත වන පනත් රටේ ක්‍රියාත්මක වීම ගැන ප්‍රශ්න ඇති බව අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (10 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපිලේඛන ඉදිරිපත් කිරීම පසුව සිදුවිණි.

පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසනු ලබන සහ 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් අසනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව ගලහ බද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා-

සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ :

මෙම පනත ගිලන් වී අසරණ වන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පිහිටුවනවා. මෙය භාරයක් ලෙස තිබුණා. දැන් එය ස්ථාවරව පිහිටුවීමක් කරනවා. බද්‍රවතී ගිලානෝපස්ථාන මධ්‍යස්ථානය කාලයක් පුරා පේරාදෙණිය රෝහල මගින් පාලනය වුණා.

පසුගිය කාලයේ දී නියමානුකූලව කරන්න උත්සාහ කළා. රජයේ ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා. මෙහි කටයුතු වඩා ශක්තිමත්ව විධිමත්ව නෛතිකව පවත්වාගෙන යෑමයි අද සිට සිදුවන්නේ. බද්‍රවතී ගිලානෝපස්ථාන මධ්‍යස්ථානය මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා.

මේ රෝහල පිහිටුවීම දක්වා කැපවූ අයට ස්තුති කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) –

ක්‍රිකට් විවාදයට මා විදේශගතව සිටි නිසා සහභාගී වුණේ නෑ. නමුත් එහිදී ආණ්ඩු පක්‍ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා අපි ගැන ප්‍රකාශයක් කළා.

ක්‍රිකට් ක්‍රීඩාව ජනතාවගේ හදවතත් සමග බැඳී ඇති ක්‍රීඩාවක්. එහි ජයග්‍රහණ හා පරාජ අපි එකට විඳිනවා. දැන් දියත් වෙමින් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ, ක්‍රිකට් ආයතනය හා සාගල රත්නායක එකට ඉන්න පිළක්. හැමදාමත් ඔවුන් පරාජිත පිළ. ඒකට එරෙහිව ජනතාවගේ පිළේ අපි ඉන්නවා.

ක්‍රිකට් ආයතනය හැමදාම පවුල් 3ක් අතර පවතිනවා. ඒකට පවුල් එකතු වෙනවා. ධර්මදාස, සුමතිපාල, රණතුංග පවුල් පාලනය කළා. වෙලාවකට මොවුන් හොඳ අය එළවා දාන්න එකතු වෙනවා. සමහර විට බෙදිලා ඉන්නවා.

ශම්මි සිල්වා අපිට සල්ලි දීලා තියෙනවා කියලා ප්‍රසන්න කිව්වා. දෙයක් කියපු දේට වඩා කියන කෙනා විශ්වාසද බලන්න කියලා කියමනක් තියෙනවා. කියපු කෙනා ලියාපදිංචි කප්පම්කාරයෙක්. මහාධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙක්. ලක්ෂ 20 ක වන්දියක් නියම වුණා කප්පම් ඉල්ලීමේ වරදට.

ෂම්මි අපි දන්නෙත් නෑ. දැකලත් නෑ. රූපවාහිනියෙන් පමණයි දැක තියෙන්නේ. අපිට සල්ලි දුන්න නම් එය කප්පමක් විය යුතුයි. වහා පරීක්‍ෂණයක් තියලා නීතිය හමුවට ගෙන යන්න. පුළුන්නම් එළියට ගිහින් ඔය ප්‍රකාශය කරන්න. මම ඔහු ගැන කරන ප්‍රකාශ එළියට ගිහින් වුවත් කරන්න සූදානම්.

ක්‍රිකට් අර්බුදය මුලින්ම ආනා පුංචිහේවා වැනි වැදගත් අය එළවන්න රණතුංගලා, සුමතිපාලලා එකට වැඩකළා. ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයක් ලැබූ පසු පාලක මණ්ඩලයට මුදල් රැසක් ගලා ආවා. ඒ මුදල් බෙදාගන්න මේ පවුල් පොරකෑවා. ඒ කාලයේ රණතුංගලා තුන්දෙනෙක් පාලක මණ්ඩලයේ හිටියා. අපට එල්ල කළ චෝදනාව ඔප්පු කරන්න.

මේ යෝජනාව විපක්‍ෂ නායක විසින් ගේන්නත්, ආණ්ඩුව ස්ථිර කරන්නත් යෝජනාව ඒකමතිකව සකස් කළා. පසුව ඒ විදියටම සිදු වුණා. ඒ ගැන ඡන්දයක් පවතින්නේ නෑ කියලා අපි උපකල්පනය කළා. ඡන්දයක් විමසන්නේ නෑ කියා හිතලා අපි පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. ඡන්දයක් තිබ්බේ නෑ. විපක්ෂයත් ආණ්ඩුවත් ඒකාබද්ධව යෝජනාව ගෙනාවේ.

ක්‍රිකට් බෝඩ් එකේ බහිරවයන් ගැන අපි මීට පෙර කතා කළා. සුනිල් හඳුන්නෙත්ති එදා කෝප් කමිටුවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලත් ගෙන්නුවා. ඇති තරම් ඒ ගැන අපි කතා කර තියෙනවා. ක්‍රිකට් ආයතනය විසුරුවලා අනු කමිටුවක් දාන්න කියලා මම ඇමැතිට පුද්ගලිකවම කියා තියෙනවා. ලෝක කුසලානය නිසා දැන්ම කරන්න බෑ කිව්වා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර (ශ්‍රීලපොපෙ) :

බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මධ්‍යස්ථානයක් ඇති කිරීම හා ඊට නීතිමය තත්ත්වයක් ඇති කිරීම වැදගත්. ගිලන් වූ විට රෝහල්වලින් හොඳ ප්‍රතිකාර අවශ්‍යයි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම නීතියට පමණක් සීමා නොවූ බවට මෙය හොඳ ලක්‍ෂණයක්.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පසුගිය කාලයේ මුහුණ දුන් බරපතළ කරුණු ගැන අපි රට දැනුවත් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට ගිහින් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා හා දූසිත නිලධාරීන් ගැන කරුණු කියන්න සිදුවුණා. අපි කියපුවා යථාර්ථයක් බවට පත් වෙමින් අද නීතිය ක්‍රියාත්මක වෙනවා. හදිසි මිලදීගැනීම් කියලා මහා වංචා, ජාවාරම් සිදුවුණා. අමාත්‍යාංශයේ ආයතන පුද්ගලයන් මාරු කිරීමට වඩා ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. සේනක බිබිලේත් මරලා දාපු කාලයක් තිබුණා. ක්‍රිකට් බෝඩ් එකත් නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතු තැනක්.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග :

මට එරෙහි නඩුව මම එලියේ කතා කරන්නේ නෑ. දැනටත් එය ඇපිල් කර තියෙනවා. විශුද්ධිකරණය හෝ රජයේ දේපළ ගැන නොවෙයි නඩුව තිබුණේ. නඩුව විභාග වනතුරු මම නිදොස්. මට ලියාපදිංචි කප්පම්කාරයෙක් යැයි කිව්වා. මටනම් ඒවගේ කිසිවක් උසාවියකින් කියලා නෑ. ජවිපෙට ෂම්මිගෙන් මුදල් ලැබුණ හැටි ඉදිරියේදී මම කියන්නම්. මට ඒ ගැන කෙනෙක් කිව්වා. විජේදාස රාජපක්ෂ ජවිපෙට ලක්‍ෂ ගණන් මුදල් දුන් හැටි පසුගිය කාලයේ දී කිව්වා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර :

ගලහ භික්ෂු නේවාසිකාගාරය පිහිටුවීම ගැන සතුට ප්‍රකාශ කරනවා. ක්‍රීඩා ඇමැති වූ පසු මහින්දානන්ද ඇමැති මුල්ගල් තියපු ක්‍රීඩාංගණ සියල්ල අවසන් කළා. නමුත් අද බිංගිරිය ක්‍රීඩාංගණය මම 2018 ඉවත් වූ පසු හදාගන්න බැරිවුණා. එය මගේ ප්‍රශ්නයක් නොවෙයි. මම ක්‍රීඩා ඇමැති වනවිට ක්‍රිකට් අතුරු කමිටු තිබුණා. අදටත් මම අතුරු කමිටුවලට කැමති නෑ. විශාල විනාශ්‍යක් අතුරු කමිටුවලින් සිදුවුණා. රුපියල් බිලියන 4ක් ණය වූ ක්‍රිකට් ආයතනයක් ලැබුණේ. ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව ගැන එදා ප්‍රශ්න තිබුණා. මම ඊට තදින් හිටියා. අදටත් යෝග්‍යතාව නැති නිසයි ප්‍රශ්න ඇති වී තියෙන්නේ. එදා තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති වුණා. අපි ගැටුම් ඇති වුණේ නෑ සුහදව වැඩ කළා.

ලංකාවේ ඔලිම්පික් කමිටුව වසර 16කින් ඡන්දය තියලා නෑ. ක්‍රීඩා සංගම්වල කොතරම් හොරු හිටියත් ජාත්‍යන්තර සංගම් ඔවුන් ආරක්ෂා කරනවා.

ඉදිරියේ දී 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලංකාවේ තියෙනවා. එයින් ලංකාවට විශාල ශක්තියක් ලැබෙනවා. මේක කඩා දැමීම හොඳ නෑ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ :

ගලහ භද්‍රවතී භික්ෂු ගිලෝනාපස්ථාන මධ්‍යස්ථානය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට තුති පුදනවා. මේ ස්ථානය 2002 7 වන මාසයේ ආරම්භ වන්නේ. මෙය සම්මත කර ගන්න අවුරුදු 21ක් ගිහින්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමාදය සිදුවුණා.

භික්ෂුන් වහන්සේලා අසනීප වූ විට මෙම ස්ථානයේ නතර වී ප්‍රතිකාර ලබාගත හැකියි. යම් හෙයකින් අපවත් වුවහොත් එම කටයුතු පවා මේ ආයතනය හරහා සිදු කරනවා. මෙවැනි ආයතන එකයි ලංකාවේ තියෙන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ) :

පළාත් පාලන මැතිවරණයේ 1991 සිට 2017 දක්වාම තරුණ නියෝජනයට තැනක් ලැබුණේ නෑ. පසුගිය කාලයේ දී තමයි ඊට අවස්ථාව ලැබුණේ. අපි එදා සිටම තරුණ නියෝජනයට සටන් කළා. අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ආවේ. මම පෞද්ගලික යෝජනාවක් ලෙස තරුණ නියෝජන පනත ගෙනාවා. මේකට මම පුදුම ලෙස කැපවී සම්මත කරගන්න ක්‍රියා කළා. අද එහි ප්‍රයෝජන තියෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි (ශ්‍රීලපොපෙ) :

මේ මොහොතේ තරුණයන්ට පළාත් සභාව, පාර්ලිමේන්තුව එපා වෙලා තියෙන්නේ. දේශපාලනය එපා වෙලා. වයසක කණ්ඩායමක් රට ගිලගෙන ඉන්නේ. තරුණයන් සම්බන්ධ කර ගැනීම අවශ්‍යයි.

ඇමැතිවරයෙක්ම කියනවා අධිකරණය දූෂිතයි කියලා. විනිසුරුවරුන්ටත් ඇඟිල්ල දිගු කරනවා. මෙයින් ජනතාවගේ උසාවිය පිළිබඳ විශ්වාසය බිඳෙනවා. ඒ කියන ආකාරයේ කටයුත්තක් සිදුව ඇත්නම් ක්‍රියා කළ යුතු ආකාරය ස්ථාවර නියෝගවල තියෙනවා. මේ ප්‍රකාශවලින් පේන්නේ ජනාධිපති නීතියට ඇඟිළි ගහනවා කියලයි. ඒ නිසා වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ) :

හොරුන්ට විරුද්ධව පක්‍ෂ විපක්‍ෂ සිටගන්නා ආදර්ශය පාර්ලිමේන්තුවේ දී දුන්නා. එහෙත් පක්‍ෂ විපක්‍ෂන්‍ බලන්න ඡන්දය දුන්නේ නෑ. ඡන්දය තිබ්බානම් හොරුන් එක්ක ඉන්නේ කවුද කියා බලාගන්න තිබුණා. හිටපු ක්‍රීඩා ඇමැතිවරු නීති ගෙනල්ලා හොර ක්‍රියාදාමය නිවැරදි කළානම් මේ ප්‍රශ්නය ඇතිවන්නේ නෑ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ) :

සෞඛ්‍ය ඇමැතිගේ පළමු කෙටුම්පතට අපි සතුටු වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවැනිම ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි.

තරුණයන්ට දේශපාලනයට පිවිසීමට වැදගත් තීරණයක් අද ගත්තා. තරුණ තරුණියන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට වැඩි අවස්ථාවක් ලැබුණා. පළාත් පාලනයේ සිට පියවරින් පියවර ජාතික දේශපාලනයට ආපු අය අදත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. රටේ පාලනයට වැඩි වැඩියෙන් තරුණ කොටස් එක්කරගත යුතුයි.

රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න :

සමහර භික්ෂුන් වහන්සේලාට අවසාන කාලයේ දී රැකවරණය ගැන ප්‍රශ්න තියෙනවා. රක්ෂණ ආවරණ ගැන කතා කළා. ඒ සියල්ලටම පිළිතුරු ගලහ මධ්‍යස්ථානයෙන් ලැබෙනවා.

පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවානම් ප්‍රශ්න ඇති වන්නේ නෑ. නමුත් සම්මත කරපු පනත්වලින් එළියට ගියහම ක්‍රියාත්මකද වීම ගැන ප්‍රශ්න තියෙනවා.

පාර්ලිමේන්තුව නැවත (13දා) මධ්‍යහ්න 12ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment