රජයේ නීතිඥයන්ට හා පොලිසියට ඕන ලෙස කිසිවකු රක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා තබනු බැහැ – විත්තිකරුවකුට ඇප දෙමින් අභියචානාධිකරණ විනිසුරු කියයි

333

රජයේ නීතිඥවරුන්ට හෝ පොලිසියට අවශ්‍ය ලෙස වසර ගණන් කිසිවකු රක්ෂිත බන්ධනාගාර භාරයේ රඳවා තබාගැනීමට ඉඩදිය නොහැකි බවත් යම්කිසි චෝදනාවක් සාක්ෂි සහිතව අධිකරණය හමුවේදී සනාථ කරන තුරු යමෙකු සතු නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය අහිමි කළ නොහැකි බවත් පෙන්වා දුන් අභියාචනාධිකරණය හෙරොයින් සන්තකයේ තබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන වසර හතරක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විත්තිකරුවකු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

විත්තිකරුට ඇප ලබාදීමට තරම් ප්‍රමාණවත් කරුණු විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කර තිබියදීත් තවදුරටත් ඔහුව රක්ෂිත

බන්ධනාගාර භාරයේ තබාගැනීම නුසුදුසු වන්නේ යැයිද අභියචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතාගේ එකඟතාවය ඇතිව විනිසුරු පී. කුමාර රත්නම් මහතා නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වා දුන්නේය. හෙරොයින් ග්‍රෑම් 18ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකාර දිනුෂ්ක සංජීව ප්‍රනාන්දු හෙවත් චූටි නමැත්තා වෙනුවෙන් නීතිඥ නිසංසලා දිසානායක සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල එම විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment