වඩමරච්චි මහලු කත ඝාතනයට හිටපු මන්ත්‍රී දියණියක් අත්අඩංගුවට

482

ඇගේ සැමියා හා මෙහෙකාරියත් දැලේ

යාපනය වඩමරච්චි අල්වායී ප්‍රදේශයේ නිවසක තනිව පදිංචි වී සිටි මහලු කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ දියණිය හා ඇගේ ස්වාමි පුරුෂයා ද මෙහෙකාරියක ද නෙල්ලිඅඩි පොලිසිය විසින් 9 දා අත්අඩංගුවට ගෙන තිබේ.

2023 ඔක්තෝබර් මස 4 වැනිදා එම නිවසේ සිටි මහලු කාන්තාවගේ මළ සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලද අතර එය මිනීමැරුමක් බවට තහවුරු වුවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට සාක්ෂි නොමැති විය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී කාන්තාවගේ ඇඳේ ඇතිරිල්ලක් ගිනි තබා විනාශ කොට තිබිය දී සොයා ගැනීමට පොලිසියට හැකි වූ අතර මුගුරක් හා මොට ආයුධයක් ද පසුව සොයා ගන්නා ලදි.

මහලු කාන්තාව ජීවත් වූ මහල් නිවාසයේම තවත් කොටසක උතුරු පළාත සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකුගේ දියණිය හා ඇගේ ස්වාමි පුරුෂයා ද ජීවත් වී තිබේ.

මහලු කාන්තාව රැක බලා ගැනීම සඳහා වයස අවුරුදු 19 ක මෙහෙකාරියක සිට ඇති අතර ඇයට මසකට රුපියල් 75000 ක මුදලක් ගෙවා ඇත.

මහලු කාන්තාව මියගිය පසුව ඇගේ ආදාහන කටයුතු සඳහා ද එම පිරිස බොහෝ උදව් කර තිබේ.

මියගිය මහලු කාන්තාවගේ මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ලබා ගන්නා ලද වාර්තාවකට අනුව පරීක්ෂණ පැවැත්වූ නෙල්ලිඅඩි පොලිසියේ නිලධාරීන්ට මේ ඝාතනය සම්බන්ධයෙන් හෝඩුවාවන් රැසක් ලැබී තිබීම නිසා හිටපු මන්ත්‍රීවරයාගේ 32 හැවිරිදි දියණිය හා 37 හැවිරිදි ස්වාමි පුරුෂයා ද 19 හැවිරිදි මෙහෙකාරිය ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මහලු කාන්තාවගේ මිල මුදල්, දේපළ හා නිවාස ලබා ගැනීමේ අරමුණින් මෙහෙකාරියගේ ද සහය ඇතිව මහලු කාන්තාව හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය හා ස්වාමි පුරුෂයා විසින් සැලසුම් කොට ඝාතනය කර තිබේ.

පොලිසිය ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment