පෝදා සිතිවිලි – අන්තගාමී පිළිවෙතින් මිදෙමු

133

ආචාර්ය පූජ්‍යපාද බණ්ඩාරවෙල විමලධම්ම නාහිමි

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවූ පොහෝ දිනකි.

සිද්ධාර්ථ කුමරු මව්කුස පිළිසිඳ ගැනීම. බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය, බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනය, මාතෘ දිව්‍ය පුත්‍රයාට දහම් දෙසීම වැනි අසිරිමත් සිදුවීම් රැසක් ඇසළ පෝ දින සිදුවිය.

ඇසළ පුර පසළොස්වක පෝ දිනය සිහිවත්ම අප මතකයට නැඟෙන්නේ දඹදිව බරණැස ඉසිපතනේ මිගදායයි. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරා අවබෝධ කරගත් සත්‍ය ධර්මයේ පණිවිඩය ප්‍රථමයෙන් ලොවට මුදාහළ දිනය ඇසළ පොහෝ දිනයයි. තම මුවකමල විවෘත කරමින් පස්වග මහණුන් ඇමතූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ “දෙවමේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා” වශයෙන් අන්තගාමී නොවී මධ්‍යම ප්‍රතිපදාවේ අගය ලොවට හඳුන්වා දුන්හ. ලෞකික, ලෝකෝත්තර උභයාර්ථය සඳහා මධ්‍යම ප්‍රතිපදාව උපයෝගි කරගත හැකි බව අප තේරුම් ගත යුතුය.

අන්තගාමී ක්‍රියා පිළිවෙත් නිසා වත්මන් ලෝකයා ද අවුලෙන් අවුලට පත්වී ඇත. සියලු දුක් කෙළවර කොට නිවන් අවබෝධ කර ගැනීමට මෙන්ම යුක්ති ගරුක, නීතිගරුක සදාචාරාත්මක සමාජයක් ගොඩනැඟීම සඳහා ‘මධ්‍යම ප්‍රතිපදාව’ නම් වූ අර්ථ සම්පන්න ඉගැන්වීම් ක්‍රමය භාවිතා කළ හැකිය.

මංගල ධර්ම දේශනය පැවැත්වීම මෙන්ම බුද්ධ නියමයට අනුව භික්‍ෂූන් වහන්සේලාට වස් විසීම සඳහා ආරාධනා කිරීම ද ඇසළ පුර පසළොස්වක පෝ දින සිදුකෙරේ. පොහොය විනයකර්ම කිරීමෙන් අනතුරුව වස් විසීම සඳහා ආරාධනාව පිළිගන්නා උපසම්පන්න භික්‍ෂූන් වහන්සේලා තම ශාසනික ප්‍රතිපදාවන් සුරකිමින් දායක දායිකාවන්ගේ සැදැහැබර සිත් වර්ධනය කරන්නට ද ඇසළ පුර පසළොස්වක පෝ දින අධිෂ්ඨාන කර ගත යුතුය. එසේම මෛත්‍රී සහගත කාය, වාග්, මනෝ කර්මයෙන් යුතුව භික්‍ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමට ද මෙදින ප්‍රතිඥා ලබාදීම පෞරාණික චාරිත්‍රයකි.

ආචාර්ය පූජ්‍යපාද බණ්ඩාරවෙල විමලධම්ම නාහිමි පොල්වත්ත පන්සල, කොළඹ 03.

advertistmentadvertistment
advertistmentadvertistment