විදුලි බිල වැඩිවීමෙන් කරාපිටියේ හිග ලයිට් බිල රු. ලක්‍ෂ 240ක්

80

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මාස දෙකක හිඟ විදුලි බිල්පත් සඳහා රු. ලක්ෂ 240ක මුදලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලිබිල වැඩි කිරීමට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 80ක් පමණ වූ අතර විදුලි බිල වැඩි කිරීමත් සමග මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 120 දක්වා වැඩිවී ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි. ඒ අනුව විදුලි බිල්පත් සඳහා මාසිකව රු. ලක්ෂ 120ක් කරාපිටිය ශික්ෂණ රෝහල විසින් විදුලි බල මණ්ඩලයට ගෙවීමට සිදුව තිබේ. මේ පිළිබඳව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්. ඩී. වයි. එම්. රංගා මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම මෙසේ කීවේය.

“රෝහලේ විදුලි බිල්පත් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. නමුත් විදුලි බිල්පත් ගෙවීමේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. මාස දෙකක පමණ හිඟ විදුලි බිල්පත් ගෙවීමට තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලැබුණු විගස හිඟ විදුලි බිල්පත් ගෙවනවා” යැයිද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment