ගෘහස්ථ ජල ගාස්තුව 200%දක්වා උස්සයි

697

පොදු කරාම බිල 300%කින් නගී

පාසල් හා ආගමික ස්ථාන ජල ගාස්තු 900% කින් ඉහළට

මේක ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් – ජලාපවහාන සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

රජය විසින් පෙරේදා (02 වැනිදා) රාත්‍රියේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ නව ජල ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු සියයට 50 සිට සියයට 200ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ඒකක 01 සිට 05 දක්වා ජල පාරිභෝගිකයන්ගේ ඒකකයක ගාස්තුව රුපියල් 20.00 සිට රුපියල් 60.00 දක්වා සියයට 200 කින් ඉහළ ගොස් තිබේ. එම කාණ්ඩයේදී ඒකක 06 සිට 10 දක්වා ඒකකයක මිල රුපියල් 27.00 සිට රුපියල් 80.00 දක්වා සියයට 196.3 කින්ද ඒකක 11-15 දක්වා වූ කාණ්ඩයේ ඒකකය මිල රුපියල් 34.00 සිට රුපියල් 100.00 දක්වා සියයට 194.1 කින්ද ඉහළ දමා තිබේ.

සමෘද්ධිලාභීන්, වතු නිවාසවල ජල ගාස්තු මෙවර සංශෝධනයේදී ඉහළ දමා නැත.

මෙවර ජල ගාස්තු සංශෝධනයේදී වැඩිම ගාස්තු ඉහළ දැමීම සිදු කර ඇත්තේ පාසල් සහ ආගමික ස්ථානවලට වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 900කි.

මීට පෙර එකී කාණ්ඩයේ ඒකකයක් සඳහ අය කළ මුදල රුපියල් 6.00ක් වූ අතර නව ගාස්තු සංශෝධනය අනුව එය රුපියල් 60.00 ක් වේ.

පොදු ජල කරාම සඳහා ද සියයට 300ක මිල ඉහළ දැමීමක් සිදුකර ඇති අතර රුපියල් 15.00 ක තිබූ ඒකකයක මිල නව සංශෝධනය අනුව රුපියල් 60.00 කර තිබේ.

රජයේ රෝහල් සඳහා සියයට 44.9ක, රාජ්‍ය ආයතන සඳහා සියයට 34.1, වානිජ මිලදී ගැනීම් සඳහා සියයට 29.3 ක වැඩිවීමක් ද සිදුකර තිබේ.

එසේම නව සංශෝධනය අනුව තොග මිලදී ගැනීම් සඳහා සියයට 100 ක වැඩිවීමක් ද ආයෝජන මණ්ඩල සඳහා සියයට 76.5ක වැඩිවීමක් ද, වරාය හා තොටුපළ සඳහා 11.9% ක වැඩිවීමක් ද සිදුකර තිබේ.

මාසිකව රුපියල් මිලියන 7000 ක අමතර ආදායමක් පුරෝකථනය කර මෙම මිල ඉහළ දැමීම සිදුකර තිබේ. මේ අතර ජල ගාස්තු වැඩිවීම ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ දෙයක් වෙලා. සහන මිලකට ජලය ලබාදීම සුබ සාධක පදනමකින් හෝ විය යුතු යැයි ජල සම්පාදන ජලාපවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක ඊයේ සඳහන් කළේය.

දැනට පොදු මහජන අයිතියට ඇති ස්වාභාවික සම්පතක් වන ජල සම්පතේ අයිතිය මුදලාලිට ලබා ගැනීම ජල කළමනාකරණ පනතේ යටි අරමුණයි. ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ පනතක් ගෙන ඒම විටින් විට මතු වුවද එය පරාජයට පත්වුණා යැයි කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment