අපේ අයිඑම්එෆ් අපේක්ෂා ඉටු වන්නේ කවදාද?

138

ණය ප්‍රතිව්‍යුහගතකරණය

මේ වන විට අප සිටින්නේ අපගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ අතරමැදය. එහි කෙතරම් ඉක්මනින් ප්‍රගතියක් ඇති කර ගැනීමට අප සමත් වන්නේ ද යන්න මත අයිඑම්එෆ් එකෙන් අප ඉල්ලා ඇති විස්තීර්ණ ණය පහසුකමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීම තීරණය වනු ඇත. එහි තීරණාත්මක සාධකය බවට මේ වන විට පත්ව ඇත්තේ චීනයයි. චීනයත් සමග අප ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ආරම්භ කර තිබුණත් එම ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් තිබේ. කොවිඩ් ප්‍රශ්නය මෙන්ම චීනයේ කොමියුනිස්ට් පක්ෂ සමුළුව පැවැත්වීම වැනි කරුණු ද මේ ප්‍රමාදයට හේතු වී ඇත. මේ ගැන මහ බැංකු අධිපතිවරයා ද කරුණු පැහැදිලි කර තිබේ. කෙසේ හෝ දැන් අප සිටින්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ මූල්‍ය ආරක්ෂණය (ෆයිනෑන්ෂියල් ඇෂුවරන්ස්) අපේක්ෂාවෙනි. චීනයෙන් එම සහතිකය ලැබුණු පසු අපට අනෙකුත් ණය දුන් රටවල මූල්‍ය ආරක්ෂණයන් ද අයිඑම්එෆ් එකට ඉදිරිපත් කළ හැකිය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ ලියුම්කරුට කියා සිටියේ චීනයේ එම සහාය ලැබීමෙන් සති තුන හතරක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය අප වෙත ලැබෙනු ඇති බවයි. අප දැන් සිටින්නේ එම අපේක්ෂාවේය.

අපේ අයිඑම්එෆ් අපේක්ෂා ඉටු වන්නේ කවදාද?

චීනයේ සහාය

අප වෙත මූල්‍ය ආරක්ෂණය ලබා දීම සඳහා චීනයේ සහාය කවදා ලැබෙනු ඇති ද යන්න ගැන නිශ්චිතව යමක් ප්‍රකාශ කිරීම දුෂ්කරය. එනම් චීනයෙන් අපට සහාය ලැබෙනු ඇති නමුත් ඒ සඳහා හරිහැටි දින වකවානු කීම අපහසු කරුණකි. කෙසේ හෝ චීනයේ සහාය ලබා ගැනීමේ ඉලක්කය ජය ගැනීම වෙනුවෙන් අපි දැන් කටයුතු කරමින් සිටිමු. එහෙත් චීනයේ සහය කවදා ලැබෙනු ඇති ද යන්න ගැන අපට හරියටම දින වකවානු කීමට අපහසු අතර එය චීනයේ වැඩකි. අපට කිරීමට තිබෙන්නේ එම සහාය ලැබෙන පරිදි කළ හැකි දේ කිරීමයි. අප සිතන්නේ ඒ ගැන මේ වන විට රජය සහ මහ බැංකුව කටයුතු කරගෙන යන බවයි. බලධාරීන් පවසන දේ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවල දැනට ප්‍රගතියක් පෙනෙන්නට තිබේ. එහෙත් මෙය ප්‍රමාද වීම මත අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තර්ණ මූල්‍ය පහසුකම සඳහා අයිඑම්එෆ් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීම ද ප්‍රමාද වනු ඇත. මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීර්ණ මූල්‍ය සහනය සඳහා අයිඑම්එෆ් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීම තවදුරටත් පමාවිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද පවසා ඇත. ඔහු ඒ බව කීවේ දෙරණ රුපවාහිනියේ ‘අද දෙරණ බිග් ෆෝකස්’ නම් වැඩසටහනට එක්වෙමිණි. ඒ මහතා වැඩිදුරටත් පවසන ලද්දේ ඒ අනුව එම අනුමැතිය ජනවාරි මාසයේ ද නොලැබීමට ඉඩ ඇති බවය. 2023 වසරේ පළමු කාර්තුව තුළදී ඊට අදාළ අනුමැතිය ලබාගැනීම රජයේ උත්සාහය බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එම සාකච්ඡාවේ දී තවදුරටත් පවසා ඇත. එනම් මෙය ප්‍රමාද වන ලකුණු හොඳටම පෙනෙන්නට තිබේ. එසේ වුවහොත් අපට ආර්ථික දුෂ්කරතා සමග ගත කිරීමට සිදුවෙන කාලය ද තවත් දික්වනු ඇත. ආර්ථික අර්බුදය කෙටිකාලීනව සමනය කර ගැනීමට ලැබෙන ඉඩකඩ සීමා වනු ඇත.

ඝානාවත් ණය පැහැර හරී

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාව සිය බාහිර ණය ගෙවීම් පැහැර හැරීමට කටයුතු කර තිබේ. පෙරේදා (19) ඝානාව, සිය බාහිර ණයවලින් වැඩි ප්‍රමාණයක් සඳහා ගෙවීම් අත්හිටුවා ඇති බවත්, ඔවුන් සිය ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම වෙනුවෙන් බරපතල අරගලයක යෙදී සිටින බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. ඝානාවේ මුදල් අමාත්‍යාංශය කියා සිටියේ එහි යුරෝ බැඳුම්කර, වාණිජ ණය සහ බොහෝ ද්විපාර්ශ්වික ණය ඇතුළු ණය සේවාකරණ වියදම් පියවීම සිදු නොකරනු ඇති බවයි. ඝානාවේ ණය තිරසාර කිරීම සඳහා එහි සියලුම බාහිර ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් බව එහි මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත.

අපේ රටේ මුදල් අමාත්‍යාංශය මේ බව කියා සිටියේ 2022 අප්‍රේල් 12 වැනිදාය. එහෙත් එය නොකියාම ණය ගෙවීම පැහැර හැරීමක් නොව ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමකි. මෙය ඇතැම් අය හඳුන්වන්නේ රට බංකොලොත් කිරීමක් ලෙසය. එහෙත් රට බංකොලොත් කිරීමට එනම් විදේශ ණය ගෙවීමට නොහැකි තැනකට රට පත් කිරීම කළේ කවු ද? මෙය මෙහි වැදගත්ම කරුණයි. එවැනි තැනකට රට පත්කිරීමෙන් පසු අලුතින් පත්වන මහ බැංකු අධිපතිට සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණ්ඩුවට කළ හැකි වන්නේ එම තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට කළ හැකි දේවල් කිරීමයි. එහිදී අප රට නොකියාම විදේශ ණය පැහැර හරින තත්ත්වයට පත් වීමට ඉඩ හැරියා නම් මීට වඩා බරපතළ විපාකයන්ට මේ රටටත් ජනතාවටත් මුහුණ දීමට සිදුවනු ඇත. ඒ නිසා අලුතින් පත් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රටේ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය. එය 2022 අප්‍රේල් 12 දින ප්‍රකාශයට පත් කළේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දීය. එහෙත් එය අප සලකන්නේ එවකට සිටි රජයේ තීරණයක් ලෙසය. මහ බැංකුව නිර්දේශ කරන සියලු දේ රජය විසින් කරන්නේ නැත. මේ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමේ නිර්දේශය රජය පිළිගෙන ඒ අනුව ක්‍රියාත්මක වී ඇත.

ආර්ථික අර්බුදය සමනය කර ගැනීම

ඝානාව ගැන නැවත සඳහන් කරන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පසුගිය සතියේ දී ඩොලර් බිලියන 3ක කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට ඝානාව කටයුතු කර ඇති පසුබිමක මෙම ණය ගෙවීම අත්හිටුවීම හරහා එරට ආර්ථිකයේ අස්ථාවර තත්ත්වය පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. කෙසේ හෝ වඩාත්ම සුදුසු දෙය වන්නේ නොදැනම ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට පත් වීමට ඉඩහැර බලා සිටිනවාට වඩා ඒ බව ණය හිමියන්ට කලින් පවසා ඉදිරියේ දී ණය ගෙවීම සමබන්ධයෙන් සහනයක් ලබා ගැනීමයි. එවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව විදේශ ණය ගෙවීම යළි ආරම්භ වන විට එය කිසියම් දිගු කාලයකට සහන පදනමකට ගෙවීමට අවකාශ සැලසේ. අයිඑම්එෆ් මුදල් පහසුකම ලැබුණු පසුව වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ද අපට යම් මූල්‍ය සහායන් ලැබෙනු ඇත. ඒ අනුව කෙටිකාලීනව ආර්ථික අර්බුදය සමනය කරගෙන අපට ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඉදිරියට ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මේ ගමනේදී අපට ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අනිවාර්යෙන්ම සිදුවෙනු ඇත. අප මෙතෙක් 16 වතාවක් අයිඑම්එෆ් එකට ගොස් මූල්‍යමය සහනයන් ලබාගෙන ඇත. අයිඑම්එෆ් එකට ගිය විට රට විනාශ වෙන බව ඇතැම් අය කියනු ඇසේ. එසේ නම් අප රට එම 16 වතාවේ දී අයිඑම්එෆ් ගිය නිසා රට විනාශ වී තිබිය යුතුය. ශ්‍රී ලංකාව කියා රටක් ඉතුරු නොවී තිබිය යුතුය. එහෙත් එවැනි දෙයක් සිදුව නැත. මේ වතාවේ අයිඑම්එෆ් ගියත් රට විනාශ වන්නේ නැත. රට විනාශ කරන්නේ අයිඑම්එෆ් එක නොව අප විසින්ම නොවේ ද? කෙසේ වෙතත් එකක් පිළිගත යුතුය. එනම් වඩාත්ම හොඳම දෙය වන්නේ අයිඑම්එෆ් සහාය අවශ්‍ය නොවන ශක්තිමත් තත්ත්වයකට (විශේෂයෙන් විදේශ අංශයෙන්) අපේ රට සහ ආර්ථිකය පත් කර ගැනීමයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක්

2022 නොවැම්බර් මාසයේදී, නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කර ඇත. පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 නොවැම්බර් මාසයේ දී 42.1ක අගයක් වාර්තා කර ඇත. මෙම අගය පසුගිය ඔක්තෝබර් මාසයේ දී 38.4 ක් විය. ඒ අනුව එම දර්ශකය ඒකක 3.7 කින් ඉහළ යාමට ලක්ව ඇත. මෙම පසුබෑම සඳහා ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප-දර්ශකයන්ගේ පහත වැටීම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මේ අතර සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ද 2022 ඔක්තෝබර් මාසයේ පැවති 47.9 සිට නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 49.0ක් දක්වා ඉහළ ගියද, කඩඉම් මට්ටමට වඩා තරමක් පහළින් පැවතුනි. සේවා අංශයෙහි ක්‍රියාකාරකම්වල පහත වැටීමේ වේගය අඩු වීම සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනය හේතු වී ඇත. කෙසේ වෙතත් සේවා නියුක්තියෙහි සහ නිමකිරීමට නියමිත කාර්යයන්ගේ පහළ යෑමක් ද වාර්තා වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

අයිඑම්එෆ් අනුමැතියෙන් පසු ආර්ථික අර්බුදය කෙටිකාලීනව සමනය කර ගන්න පුළුවන්

අපේ අයිඑම්එෆ් අපේක්ෂා ඉටු වන්නේ කවදාද?

අප ඉල්ලා ඇති මූල්‍ය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමෙන් පසු පවතින ආර්ථික අර්බුදය කෙටිකාලීනව සමනය කර ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ දිනවල සිදුකරගෙන යන අපගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට මහ බැංකු අධිපතිවරයා දුන් පිළිතුර මෙසේය.

දිවයින —– – මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය කොහොමද?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ —— ඒකෙ යම්කිසි ප්‍රමාදයක් අපි හිතුවට වඩා තියෙනවා. ෆයිනෑන්ෂියල් ඇෂුවරන්ස් (මූල්‍යමය ආරක්ෂණය) කියන එක ගන්න ඕන විශේෂයෙන් අපි ද්විපාර්ශ්වික ණයකරුවන්ගෙන්. එතකොට චීනය, ඉන්දියාව සහ ජපානය තමයි ප්‍රධානතම ණයකරුවන්. වාණිජ අය සමග අපි යම්කිසි ආකාරයකට සාකච්ඡා කරගෙන යනවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක තමයි පළමු පියවර, එතකොට ෆයිනෑන්ෂියල් ඇෂුවරන්ස් ගන්න කොට ඔබත් දන්නවා දැන් සාකච්ඡා වට දෙකක් තියලා තොරතුරු සියල්ල දීලා තියෙනවා. ඒ අනුව පැරිස් ක්ලබ් එකේ සාමාජිකයෙක් වන ජපානය සම්බන්ධයෙන් සෑහෙන මට්ටමින් තොරතුරු ලබාගෙන යම්කිසි ධනාත්මක ආකාරයකින් ඉන්නවා. ඉන්දියාවත් එහෙම තොරතුරු ලබාගෙන යම්කිසි ධනාත්මක ආකාරයකින් ඉන්නවා. නමුත් චීනය සමඟ අපි ඒ තරමටම ප්‍රගතියට ගිහින් නෑ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි කොවිඩ් ප්‍රශ්නය තිබෙනවනෙ. එතකොට කිසිම කෙනෙක්ට ගිහිල්ලා හරි එහෙන් ඇවිල්ලා සාකච්ඡා කරන්න ක්‍රමයක් නෑ. ඒක යම් බාධාවක් තියෙනවා. දෙවන කාරණය චීනයේ කොමියුනිස්ට් පක්ෂ ලොකු සමුළුවක් තිබුණා. ඒ වැඩ සහ කොවිඩ් ලොක්ඩවුන් එක නිසා අපිට අනිත් රටවල් තරම්ම ඒ අයත් එක්ක සාකච්ඡා කරගන්න බැරි වුණා. ඒක තමයි තිබුණු ප්‍රමාදය. හැබැයි දැන් අපි දකිනවා චීනය විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලදී ඒ ගොල්ල පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා දැන් ශ්‍රී ලංකාවට උදව් කරන්න අවශ්‍යයි කියලා. ඒ වගේම අපි සාකච්ඡා මට්ටම ආරම්භ කරලා තියෙන්නේ. ඒ ප්‍රගතිය අපි හිතන්නේ පසුගිය කාලෙ මාසයක් දෙකක් ඇතුළත අනිත් රටවල් සමග ප්‍රගතියක් ඇති කර ගන්න පුළුවන් වුණානේ. මේ අනුව අපි හිතන්නේ තොරතුරු හුවමාරු කරගෙන ඊළඟ කෙටි කාලය තුළ චීනයෙන් ෆයිනෑන්ෂියල් ඇෂුවරන්ස් එක ලබා ගත්තොත් අපිට ලබාගත් දවසේ සිට සති තුනක් හතරක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සූදානම් වෙලා අනුමත කර ගන්න පුළුවන්. එතකොට මේ මාසෙ එය ලබාගත්තොත් ලබන මාසෙ පුළුවන්. ලබන මාසෙ මුල ගත්තොත් පෙබරවාරි මුල විතර පුළුවන්. ඒ ඉලක්කයෙ තමයි අපි ඉන්නේ. අපි හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. චීනයත් අපට සහාය දෙයි කියලා අපේක්ෂා කරනවා හැකි ඉක්මනින්. පළමුවෙනි පියවර මූල්‍යමය ආරක්ෂණය පමණයි. ඒ සහතිකය දෙන එක විතරයි. කොහොමද ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ කියන එක දෙවන පියවර. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡාව ගිහින් මුදල් ලැබුණට පසුව ඊළඟ මාස හය ඇතුළත තමයි දෙවන රිවීව් එක තියෙන්නෙ. ඒක බලන්නෙ. ඊට කලින් තමයි ඉතුරු ටික වාණිජ ණය ගත්ත කට්ටිය එක්ක පුද්ගලික අංශයේ කට්ටිය එක්ක. දේශීය කට්ටිය එක්ක ඔක්කොම ඉවර කරන් තියෙන්නේ ඒ කාලෙදී. එතකොට අපට කාලය තියෙනවා. අයි. එම්. එෆ්. සහාය ලැබීමත් සමඟ ලෝක බැකුවෙන්. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලොකු සහයෝගයක් දෙනවා. එතකොට අර ක්‍රෙඩිට් රේටින් වෙනස් වෙන්න පුළුවන්. බැංකුවලට නව එල්සී ඕපන් කරන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මේ තත්ත්වය සෑහෙන දුරකට කෙටිකාලීනව සමනය වෙනවා. කෙටිකාලීනව ස්ථාවර කරගන්න පුළුවන් මේක ලබා ගත්තට පසුව. චීනය මතයි දැන් තියෙන්නෙ. ඒ අයගේ ප්‍රමාදය තමයි දැන් තියෙන්නේ. මට දැන් කවද චීනය ෆයිනෑන්ෂියල් ඇෂුවරන්ස් එක දේවිද කියන්න අමාරුයි. එහෙත් එම සහතිකය ලබාදීම චීනය පැත්තෙනුත් වාසියක්. අපේ පැත්තෙනුත් වාසියක්. එය නොදී සිටීමෙන් චිනයට හොඳක් වෙන්නෙත් නෑ අපට හොඳක් වෙන්නෙත් නෑ. ඒ නිසා යම්කිසි ආකාරයකට ක්‍රමවේදයේ ප්‍රමාදයක් තියෙන්න පුළුවන්. හැකි ඉක්මනින් චීනය එය දෙයි කියලා අපට ලැබෙන පණිවුඩ අනුව සහ සාකච්ඡා මට්ටම අනුව අපට හිතෙනවා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

advertistmentadvertistment
advertistmentadvertistment