චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ සහ අපේ මාවත

681

චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන ආරම්භ කර මේ වන විට පුරා වර්ෂ දහයක් සම්පූර්ණ වී ඇත. මේ උදෙසා චීනයේදී ලබන සතියේ සමුළුවක් පැවැත්වේ. එනම් ජාත්‍යන්තරය සහයෝගීතාව සඳහා තුන්වන වරට පවත්වන තීරය සහ මාවත පිළිබඳ මෙම සමුළුව ලබන සතියේ බීජිංහිදී පවත්වනු ලබන අතර මේ සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රසිංහ ඇතුළුව රටවල් 90 කට වැඩි ගණනක නායකයන් සහ නියෝජිතයන් පිරිසක් බීජිං නුවරට රැස්වේ. ඉදිරියේදී තවදුරටත් චීනය සහ සෙසු රටවල් අතර උසස් තත්ත්වයේ තීරය සහ මාර්ග සහයෝගීතාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සමුළුව වඩා හොඳ අවස්ථාවක් වනු ඇත. මේ අතරම ශ්‍රී ලංකාවේ ද මෙම චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහනට වසර දහයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ආසියා ප්‍රගති කේන්ද්‍රය විසින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. එය පසුගිය ඔක්තෝබර් 09 වැනි සඳුදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැති අතර මෙයට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් (Qi Zhenhong) මහතා ද එක්ව සිටියේය. එම වැඩසටහනේ තේමාව වූයේ ‘නව සේද මාවතේ වසර දහයක් අත්දැකීම් සහ අපේක්ෂා’ යන්නයි.

මෙම සම්මන්ත්‍රණයේදී කතා කීපයක් පැවති අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා ද එම සම්මන්ත්‍රණයට සිය සුබපැතුම් එක් කරමින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් වැදගත් වන අයුරු සඳහන් කරමින් කතාවක් කළේය. ඔහු දැක් වූ එම අදහස් මේ සමග වෙනම පළ වේ. මහාචාර්ය සමිත හෙට්ටිගේ, ඉංජිනේරු විනෝද් මුණසිංහ, තානාපති ශානි කරුණාරත්න, ආර්ථික විද්‍යාඥ කසුන් කාරියවසම් සහ ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද මෙහිදී දෙසුම් පැවැත්වූහ. මේ දෙසුම්වලින් පොදුවේ පැහැදිලි වූ කරුණක් වූයේ අපට මේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන හරහා පුළුල් ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකිව තිබෙන බවයි. එහෙත් අප තවමත් එමගින් නිසි ප්‍රතිලාභ ලැබීම සඳහා යොමුවී නැති බවයි. එසේම එම ආර්ථික ප්‍රතිලාභ රටට ලබාගැනීම සදහා වන සැලසුමක් හෝ අපට තවමත් නැති බවයි. මේ කාරණය රජයේත්, ශ්‍රී ලංකා මහ බැංකුවේත් අවධානය යොමු විය යුත්තකි.

මේ සම්මන්ත්‍රණයේදී ප්‍රකාශයට පත් වූ පරිදි සහ චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවී ගිය වසර 10 තුළ රටවල් 152 ක් හා ජාත්‍යන්තර සංවිධාන 32 ක් සමග චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ සහයෝගිතා ලේඛන 200 කට අධික ප්‍රමාණයකට අත්සන් තබා තිබේ. චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගීමේ රටවලින් ඉන් සියයට 83 ක් ආවරණය වේ. චීන සමාගම් විසින් අදාළ රටවල ස්ථාපිත කරන ලද ආර්ථික හා වෙළෙඳ කලාප හරහා ප්‍රාදේශීය වශයෙන් රැකියා ලක්ෂ 4.21 ක් පමණ නිර්මාණය කිරීමට ද හැකිව ඇත. මෙහිදී කතා කළ පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා මෙසේ ප්‍රකාශ කළේය.

‘සේද මාවත තුළ වර්ධනය කරගත හැකි සම්බන්ධතාවල සීමාවක් නැත. ග්‍රාමීය සංවර්ධනය, සෞඛ්‍ය, ක්‍රීඩා සහ සන්නිවේදනය, වැඩිහිටි සත්කාරය, පුද්ගලයන් සහ පුද්ගලයන් අතර සබඳතා වැනි අංශ මේ සඳහා වන තවත් උදාහරණ වශයෙන් දැක්විය හැකිය. චීනය විසින් ආරම්භ කර තිබෙන මානව වර්ගයාගේ පොදු ඉරණම සඳහා ප්‍රජාවක් (community with a shared future for mankind) සහ ගෝලීය සභ්‍යත්ව වැඩසටහන (globle civilization initiative) වැනි මුල පිරීම් ද මේ සඳහා සෘජුවම සම්බන්ධ වෙනවා.’

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මෙම චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන මගින් ප්‍රයෝජන ගෙන තිබෙන්නේ බොහොම අඩුවෙන් බවයි. මේක තවම අපි හරියට වැඩ ගත්තේ නැති එකක්. මෙම වැඩසටහන මගින් තව කරන්න පුළුවන් දේවල් ගොඩක් තිබෙනවා යැයිද ඔහු කීවේය.

එසේ නම් මේ වැඩසටහන මගින් අප නිසි ප්‍රයෝජන ගන්නේ නම් අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ හරහා ආකර්ෂණය කරගත හැකිවනු ඇත. චීනය වූ කලී ලෝකයේ ඇති බලගතු රාජ්‍යයකි. එසේම චීනය අපගේ පැරණි මිතුරු රාජ්‍යයක් ද වෙයි. එමතු නොව චීනය ලෝකයේ අති විශාලතම වෙළෙඳපොළකි. තනි රටක් වශයෙන් ලෝකයේ වැඩිම පිරිසක් ලෝකයේ වෙනත් රටවල සංචාරය කරන්නේ ද චීන ජාතිකයන්ය.

මේ නිසා චීනය සමග අපට කටයුතු කිරීම ආර්ථිකමය වශයෙන් ඉතාම වැදගත් කමක් තිබෙන බව සඳහන් කළ යුතුය. අප සිතන්නේ අපගේ ආර්ථික බලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් මේ ගැන කඩිනම් අවධානය යොමුකර චීනයේ මේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන හරහා රටට සහ ජනයාට පුළුල් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන

උපායමාර්ගික සැලසුමක් ඇතිකර ගත යුතු වේ. ඒ සඳහා වන කිසිම වැඩපිළිවෙළක් හෝ අවදානයක් දැනට අප රට සතුව නොමැති බව අපට පෙනේ. මේ නිසා රට විශාල විදේශ විනිමය අර්බුදයකට ද මුහුණ දී සිටින නිසා නිසි උපායමාර්ගයක් ඇතිකරගෙන අප උත්සාහ ගතහොත් මෙම ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන හරහා වැඩි ආයෝජන ප්‍රමාණයක් රටට ආකර්ෂණය කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.

දැනට අප රට ගමන් කරන්නේ කවර මාවතක ද? දැන් අප සිටින්නේ අපගේ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබමින්, එහි ණය මුදලක් අනුමත කරගෙන එහි පළමු වාරිකය ලබා එහි දෙවන වාරිකය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් අප සිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ඉලක්ක සපුරන අතරම රට වැටී ඇති ප්‍රපාතයෙන්

ගොඩගැනීම සඳහා රටට ද වෙනම උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බවයි. ඒ සඳහා ආර්ථිකයේ සෑම අංශයක්ම ඒකාබද්ධ කරගත් පුළුල් ජාතික මෙහෙයුමක් රටට අවශ්‍ය වනු ඇති බව අපගේ අදහසයි. එහෙත් එවැන්නක් තවමත් රජයට තිබෙන බවක් නම් අපට පෙනෙන්නට නැත. විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා මූල්‍ය අරමුදලේ සහාය ලබමින් කටයුතු කරන අතරම රට වැටුණු වළෙන් ගොඩගැනීම සඳහා අපට වෙනම සැලැස්මක් ද තිබිය යුතු වේ.

ශ්‍රී ලංකාවට දරිද්‍රතාවයේ සහ සංවර්ධනය නොවීමේ උගුලෙන් මිදීමට ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන ප්‍රබල ශක්තියක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග්

චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ සහ අපේ මාවත

2013 වසරේ අගභාගයේදී ජනාධිපති ෂී ජින්පින් විසින් සේද මාවතේ ආර්ථික තීරය සහ 21 වැනි සියවසේ සමුද්‍රීය සේද මාවතේ ප්‍රධාන මුලපිරීම යෝජනා කරන ලදී. ඒ රටවල් අතර අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීම, ජාතීන් අතර මිත්‍රත්වය සහ සංස්කෘතික බැඳීම සහ ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය ඉගෙනීම අරමුණු කරගනිමිනි.

මෙම උසස් තත්ත්වයේ තීරය සහ මාර්ග සහයෝගීතාව කුලුනු 3 කින් සමන්විතව ඇත. එනම් 1.පුළුල් උපදේශනය, ඒකාබද්ධ දායකත්වය සහ හවුලේ ලබන ප්‍රතිලාභ පිළිබඳ මූලධර්මය 2.විවෘත, හරිත සහ පිරිසිදු සහයෝගීතාවයේ ප්‍රවේශය. 3. උසස් ප්‍රමිතියෙන් යුත්, ජනතා කේන්ද්‍රීය සහ තිරසාර සංවර්ධනය පසුපස ලුහුබැඳීම යන්නයි.

මෙම වසරේ (2023) තීරය සහ මාවතේ මුලපිරීම (Belt and Road Initiative / BRI)) වැඩසටහන සිය 10 වන සංවත්සරය සනිටුහන් කරයි. වසර දහයක් තුළ BRI මිතුරන්ගේ කවය දිගටම පුළුල් වී ඇත. මෙම එක් තීරයක් සහ එක් මාවතක් වැඩසටහනේ සහයෝගිතාව යටතේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 150 කට වඩා සහ ජාත්‍යන්තර සංවිධාන 32 ක් සම්බන්ධතාව, යටිතල පහසුකම්, වෙළඳාම සහ ආයෝජන යන අංශවලින් ඒකාබද්ධ ව්‍යාපෘති 3,100ක් ක් හරහා විශාල ප්‍රගතියක් ලබා ගනිමින් ලෝකයට දැනෙන ප්‍රතිලාභ අත්කර දී ඇත. එහි ආරම්භයේ සිට මේ දක්වා චීනයෙන් පිටත රැකියා 420,000 ක් නිර්මාණය කර ඇති අතර මිලියන 40 කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගෙන ඇත.

ලෝක බැංකුවේ දත්ත වලට අනුව, 2030 වන විට, තීරය සහ මාර්ග සහයෝගීතාව මගින් ඊට සහභාගි වන රටවල් සඳහා සියයට 2.8 සහ සියයට 9.7 අතර සහ ලෝකය සඳහා සියයට 1.7 සහ සියයට 6.2 අතර මට්ටමකින් වෙළඳාම වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. එසේම එමගින් ගෝලීය මූර්ත ආදායම සියයට 0.7 සිට 2.9 දක්වා වැඩි කිරීමට හැකි වනු ඇති බව ද අපේක්ෂිතය. ශ්‍රී ලංකාව මෙම එක් තීරයක් සහ එක් මාවතක් වැඩසටහනට සහභාගි වූ පළමු රටවලින් එකකි. එසේම ශ්‍රී ලංකාව පසුගිය වසර 10 පුරා මේ සහයෝගීතාව යටතේ ඵලදායී ප්‍රතිඵල අත්දැක ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, CICT හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ආදී අපේ රටවල් දෙක අතර ප්‍රධාන ව්‍යාපෘති ගැන සඳහන් කිරීමට ලැබීම ගැන මම වඩාත් සතුටු වෙනවා. මේ සියලු BRI ව්‍යාපෘති ශ්‍රී ලංකාවට ශක්තිමත් පදනමක් දමා සපයා දී තිබෙනවා පමණක් නොව අර්බුදයෙන් මිදී ආර්ථික හා සමාජ සංවර්ධනය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට බලවත් පෙළඹවීමක් ලබාදී ඇතුවා පමණක් නොව දේශීය ජනතාව සඳහා දහස් ගණනක් රැකියා අවස්ථා ද නිර්මාණය කර දී තිබෙනවා. මේ අතරම චීන ව්‍යවසායන් මගින් සිය සමාජ වගකීම් සක්‍රීයව ඉටු කරමින් දිළිඳුකම පිටුදැකීමට සහය වූ අතර මිනිසුන්ට ආර්ථික සහ ජීවනෝපාය අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර වන ද්‍රව්‍ය සහ විශාල වශයෙන් පරිත්‍යාග කර ඇත.

චීනය පැත්තෙන් මෙම වැඩසටහන ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා සියලුම රටවල් සමඟ පුළුල් උපදේශනයෙන් ඒකාබද්ධ දායකත්වයෙන් සහ හවුල් ප්‍රතිලාභ ලැබීම යන මූලධර්මය යටතේ කටයුතු කිරීමට සූදානම්. ඒ විවෘත, හරිත හා පිරිසිදු සහයෝගීතාව යන දැක්ම සහ උසස් ප්‍රමිතියේ ඉලක්කය හඹා යෑමට, ජනතා කේන්ද්‍රීය තිරසාර සංවර්ධනයක් සඳහා කැපවී සිටිමිනි. ඉදිරි ජාත්‍යන්තර සහයෝගීතාව, සංවර්ධනය උදෙසා අනාගතය කරා යන මාවතක්, චීනය සහ ලොව පුරා රටවල්වලට සංවර්ධනය ගැන සාකච්ඡා කිරීමට, ඒකාබද්ධව සාමය සහ සමෘද්ධිය ගොඩනඟා සංවර්ධනයට හවුල් වීමට සහ සංවර්ධනයට ඇති අවස්ථා සහ ප්‍රතිඵල බෙදා ගැනීමට මනා වේදිකාවක් මෙම වැඩසටහන මගින් සපයන බවට දත්ත මගින් පෙන්වා දී ඇත.

මෙම වැඩසටහන ජයග්‍රාහී සහයෝගීතාවයක් ඇති කර ගැනීමට සියල්ලන්ටම මඟ පෙන්වීම පමණක් සිදු කරයි. මේ අතර සමහර පාර්ශවයන් විසින් චීනයට මඩ ගැසීමේ සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇතිව ඊනියා ණය උගුලක් ගැන කතා කරයි. ශ්‍රී ලංකාවට දරිද්‍රතා උගුලෙන් සහ සංවර්ධනය නොවීමේ උගුලෙන් මිදීමට චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ප්‍රබල ශක්තියක් ලබාදෙනු ඇත.

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා තුන්වන වරට පවත්වන තීරය සහ මාවත පිළිබඳ සමුළුව ලබන සතියේ බීජිංහිදී පැවැත්වේ. ජනාධිපති ෂී ජින්පිං සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළුව රටවල් 90 කට වැඩි ගණනක නායකයන් සහ නියෝජිතයන් මෙම විශිෂ්ට උත්සවය සඳහා බීජිං නුවරට රැස්වේ. චීනය, ශ්‍රී ලංකාව සහ සෙසු රටවල් සඳහා උසස් තත්ත්වයේ තීරය සහ මාර්ග සහයෝගීතාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සමුළුව වඩා හොඳ සැලැස්මක් වනු ඇති බවට අපි තරයේ විශ්වාස කරමු. එසේම අනාගතයේදී චීනයට සහ ශ්‍රී ලංකාවට අපගේ සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට මෙය වඩාත් හොඳ අවස්ථාවක් සපයනු ඇත.

චීනය සහ ශ්‍රී ලංකාව පසුගිය දශකය තුළ තීරය සහ මාර්ගය සහයෝගීතාව යටතේ අත්කරගත් දේ අපි සමාලෝචනය කරන විට ලැබී ඇති ඵලදායි ප්‍රතිඵලවලින් අපි තෘප්තිමත් වන්නෙමු. එසේම අපිට ඉදිරිය දෙස බලා එහි දීප්තිමත් අපේක්ෂාවන් ගවේෂණය කරන විට තීරය සහ මාර්ග සහයෝගීතාව යටතේ නව ප්‍රගතියක් ඇති කර ගැනීමට හැකිවනු ඇති බව ද අපට විශ්වාසය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 09 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති චීනයේ ‘එක් තීරයක් එක මාවතක්’ වැඩසටහන සඳහා වර්ෂ දහයක් පිරීම නිමිත්තෙන් පැවති සම්මන්ත්‍රණයකදීය. ආසියා ප්‍රගති කේන්ද්‍රය විසින් මෙය සංවිධානය කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment