සහන ලබාදීමේදී අවශ්‍යතා ඇති කිසිවකු මඟ හරින්න එපා – ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

56

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබාදීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊයේ (14දා) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මිලදී ගන්නා වී තොග සහල් කර විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හරහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙටි්‍රක් ටොන් 61,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි. නමුත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙම වැඩසටහන සඳහා පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් හඳුනා ගෙන ඇති බවයි.ඒ අනුව අඩු ආදායම්ලාභී සියලු‍දෙනා වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය, අනූප පැස්කුවල්, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික)ජෙනරල් කමල් ගුණරත්න, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික් ලේකම්වරු රැසක් සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment