පාසල් දරුවන්ට මත් කරල් බෙදූ ශිෂ්‍යයා සමග සිව්දෙනකු අල්ලයි

274

පාසල් ශිෂ්‍යයන්ට අයිස් සහ මත්කරල් බෙදූ ශිෂ්‍යයකු සමග පුද්ගලයන් සිව්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (05වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

මිල්ලනිය පොලිස් වසමේ මිල්ලනිය වත්ත සහ පරගස්තොට ප්‍රදේශයන්වල දී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීම්වල දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව්දෙනකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් අතර මොවුන් අවුරුදු 18-33 වයසේ පසුවන මිල්ලනිය සහ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මාර්ගයෙන් පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා ඇති අතර එම පාසල් ශිෂ්‍යයාට ආධාර අනුබලදී ඇත්තේ ඔහුගෙ මව විසින් බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13, මිලි ග්‍රෑම් 580 ක් සහ මත් කරල් 120 ක්ද සැකකරුවන්ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිල්ලනිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බළකාය හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේද ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි අසිත රණසූරිය මහතාගේ මෙහෙය වීමෙන්ද, විශේෂ කාර්ය බළකාය හොරණ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. යූ. එස්. ද සිල්වා සහ උපපොලිස් පරීක්ෂක අබේතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකරන ලදී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment