ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් පසුගිය මාර්තු 07 දින සිට මාර්තු 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඒ මූල්‍ය අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ වන දෙවන සමාලෝචනය සහ 2024 වසර සඳහා වූ හතරවන වගන්තිය යටතේ උපදේශනය සඳහාය. මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මුදල ලබා දෙන්නේ වසර 4 ක කාලයකදී වාරික වශයෙනි. අලුතින් ණය වාරිකයක් ලබා දීමට පෙර ණය වැඩසටහන යටතේ එකඟ වූ කරුණු ඉටු කර තිබේ ද යන්න ගැන මූල්‍ය අරමුදලේ දූත පිරිසක් පැමිණ සමාලෝචනයක් කරනු ලබයි. දැනට අපට එම ණය පහසුකමේ වාරික දෙකක් ලැබී ඇති අතර මෙම දෙවන සමාලෝචනයෙන් පසු ලැබීමට තිබෙන්නේ තුන්වන ණය වාරිකයයි. එම දූත කණ්ඩායමේ මෙරට සංචාරය අවසානයේ අරමුදල් කාර්යමණ්ඩල කණ්ඩායම සහ බලධාරීන් එම අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. එහෙත් තුන්වෙනි ණය වාරිකය අපට ලැබෙන්නේ මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි දූත කණ්ඩායම විසින් මෙරට සංචාරය අවසානයේ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශයක් ද නිකුත් කරනු ලැබීය. එයට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳව දෙවන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹුණු අතර 2024 වසර සඳහා වූ හතරවන වගන්තිය යටතේ උපදේශනය නිමා කර ඇත. යම් රටක සංචාරයකින් පසු හඳුනා ගන්නා මූලික සොයාගැනීම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ දූත මෙහෙවර අවසානයේ නිකුත් කරන මාධ්‍ය නිවේදනයේ ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ ප්‍රකාශිත අදහස් මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලයේ අදහස් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන්ම නියෝජනය නොවේ. මෙම මෙහෙයුමේ මූලික සොයාගැනීම් මත පදනම්ව, කාර්යමණ්ඩලය විසින් කළමනාකාරීත්ව අනුමැතියට යටත්ව, සාකච්ඡා සහ තීරණ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තාවක් සකස් කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු සහ මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එය විසින් සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක (එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් පමණ) මූල්‍ය පහසුකමක් ලැබේ. කොළඹ පැවති ඵලදායී සාකච්ඡාවලින් අනතුරුව මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කට්සියරිනා ස්වර්යඩ්සන්කා මහත්මිය විසින් පහත ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ඉකුත් මාර්තු 21 දින නිකුත් කළ එම ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

IMF දෙවන සමාලෝචනයට කාර්යමණ්ඩල එකඟතාව

‘සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵලදැරීමට පටන් ගෙන ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව තිරසාරව පවත්වා ගැනීම සහ පාලන දුර්වලතා සහ වංචා හා දූෂණ සඳහා විසඳුම් ලබාදීම, ආර්ථිකය කල් පවත්නා ලෙස යථා තත්ත්වයට පත්වීමක් සහ ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙන ඒම සඳහා වැදගත් වේ.

මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා (1) බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, (ii) මූල්‍ය සහතික සමාලෝචන සම්පූර්ණ කිරීම, බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ප්‍රමාණවත් ප්‍රගතියක් තක්සේරු කිරීම අවශ්‍ය වේ.

විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් බිලියන 2.3 ක් (එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ) ණය මුදලක් 2023 මාර්තු 20 දින අනුමත කරන ලදී. මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ මුදලක් ලැබීමත් සමග මෙම පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත අරමුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වනු ඇත.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කර ගනිමින් ශීඝ්‍ර නිර්-උද්ධමනය, සංචිත ඉහළ නැංවීම ශක්තිමත් වීම සහ ආර්ථිකය වර්ධනය වීමේ මුල් ලකුණු ඇතුළු ප්‍රශංසනීය ප්‍රතිඵල සහිතව විස්තීර්ණ ණය පහසුකම යටතේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ දී බලධාරීන් සාධනීය ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී. සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2023 දෙසැම්බර් මස අවසානය සඳහා අදාළ සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමග වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් විය. 2024 පෙබරවාරි මස අවසානයට පෙර සිදු කිරීමට නියමිතව පැවැති බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු නිසි කලට හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර හෝ සම්පූර්ණ කර ඇත. ඇතැම් අංශයන්හි ප්‍රතිසංස්කරණ තවමත් සිදුවෙමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ කියන කරුණු අනුව පැහැදිලි වන්නේ මේ ණය වැඩසටහනේ සැලකිය යුතු ප්‍රගතියක් අප විසින් ඇති කරගෙන ඇති බවයි. එහෙත් මහජනයාගේ පැත්තෙන් බලන විට සැලකිය යුතු බදු බරකට සහ මිල පීඩනයකට ඔවුන්ට මුහුණ දීමට ද සිදුව ඇත. බදු ඉලක්ක සපුරා ගැනීමේදී ලේසියට වක්‍ර බදු පනවා සාමාන්‍ය ජනයා මත බර පටවනවා වෙනුවට හැකිතාක් ගෙවීමේ හැකියාව සහ ශක්තිය ඇති අයගෙන් වැඩි බදු ආදායමක් උපයා ගැනීමේ උපායමාර්ග වෙත යොමු විය යුතු වේ. බදු ගෙවීමේ හැකියාව සහ ශක්තිය ඇති බොහෝ පිරිසක් බදු ගෙවීම පැහර හරිමින් සිටින බව ද ප්‍රකට කරුණකි. ඒ නිසා තනි තනි පුද්ගලයන් මත පැටවෙන බදු බර අවම කර ගත හැකි වන්නේ රටේ බදු ගෙවන ආයතන හා පුද්ගලයන් ප්‍රමාණය වර්ධනය කර ගැනීමෙනි. එහෙත් පසුගිය කාලයේ බහුලව සිදු වූයේ නම් භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර අනුපාත වැඩි කරමින් වැඩි බදු ආදායමක් උපයා ගැනීමට උත්සාහ ගැනීමයි. ඒ අනුව රජයට වැඩි බදු ආදායමක් උපයා ගැනීමට ද හැකිව තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය ජනයාට විශාල බදු බරකට සහ බඩු මිලේ පීඩනයකට මුහුණ දීමට සිදු වීමයි. ඉකුත් මාර්තු 21 වැනිදා මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු ද මේ ගැන අයිඑම්එෆ් නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කළ අතර එහිදී මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සඳහන් කළේ විශාල ලෙස පහත වැටී තිබූ බදු ආදායම වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයි. එසේම ඉතා දිළිඳු සහ අවදානම් කණ්ඩායම් වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් මගින් සහන සැලසීමේ අවශ්‍යතාවයි. එහෙත් මේ කිසිම සහනයක් නොලැබෙන ජීවන වියදම විශාල ලෙස වැඩිවීමට මුහුණ දෙන මාසික වැටුප් ලබන මධ්‍යම පාන්තික විශාල ජනතාවක් ද සිටී. ඔවුන්ට අනුන්ට අත පෑමට ද හැකියාවක් ද නැත. තම ගරුත්වය රැක ගනිමින් නොකා නොබී ජීවත්වීමට ඔවුන්ට සිදුව ඇත.

ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් පවතී. මේ අනුව අපේ ආර්ථිකය මේ වන විට ඍණ ආර්ථිකයකට පරිවර්තනය වී ඇත. 2023 වසරේ තුන්වන සහ සිව්වන කාර්තුවලදී, පිළිවෙළින් සියයට 1.6ක සහ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අප සමත්ව ඇත. 2023 වසරේ තුන්වන කාර්තුවේ දී සියයට 1.6ක ධන ආර්ථික වර්ධනයක් වාර්තා කළේ අඛණ්ඩව කාර්තු හයකින් පසුවය. ඉහළ සංඛ්‍යාත ආර්ථික දර්ශක මගින් නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇත. එසේම උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 70ක උපරිමයක් දක්වා ඉහළ ගියේය. එය 2024 පෙබරවාරි මාසයේ දී සියයට 5.9ක් දක්වා පහත වැටී ඇත. මහ බැංකුව සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදීගැනීමට ද පසුගිය කාලයේ දී යොමු වීමත් සමග 2024 පෙබරවාරි මස අග වන විට දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව සාමාන්‍ය ජනයාට අමාරු වුවත් ආර්ථිකය මේ වන විට කිසියම් ස්ථාවර තැනකට පැමිණ ඇති බව පිළිගැනීමට සිදු වේ. මේ නිසා ඉදිරි කාලයේ දී ආර්ථිකය තවත් ස්ථාවර වීමත් සමග සාමාන්‍ය ජනයා මුහුණ දෙන උග්‍ර පීඩනය සමනය කිරීමට ද රජය විසින් පියවර ගැනීම සුදුසුය. කෙසේ වෙතත් අයිඑම්එෆ් එක සමග එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම සිදු කිරීමට ද පවතින කවර රජයකට වුව ද සිදුවෙනු ඇත. එම අවශ්‍යතාව අයිඑම්එෆ් නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“ආර්ථිකය කල් පවත්නා ලෙස යථා තත්ත්වයකට පත් වීමක් සහ ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වේගය තිරසාරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ කෙරෙහි ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඇති කැපවීම අපි අගය කරමු. 2025 වසර සහ ඉන් ඉදිරියට රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීමේ ඉලක්ක සපුරාලීම සඳහා රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර සමග දේපළ බද්ද හඳුන්වාදීම සඳහා වන අඛණ්ඩ ප්‍රගතිය ඉතා වැදගත් වේ. ආදායම් පරිපාලනය සහ බදු එකතු කිරීම ඉහළ නැංවීම සඳහා වන දූෂණ විරෝධී ප්‍රයත්න ද වැදගත් වේ. ඉන්ධන සහ විදුලි මිල ගණන් පිරිවැය ප්‍රතිසාධන මට්ටමක පවත්වා ගැනීම රාජ්‍ය ව්‍යවසායකයන්ගෙන් පැනනඟින මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වේ.

මේ අනුව රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර සමග දේපළ බද්ද හඳුන්වාදීම ද කළ යුතු බව අයිඑම්එෆ් එක සඳහන් කර ඇත. එය ලබන වසරේ (2025) හඳුන්වා දෙනු ඇත. එමගින් ඉහළ වත්කම් හා ආදායම් තිබෙන අයගෙන් වැඩි බදු ආදායමක් උපයාගත වනු ඇත. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩසටහන හා ක්‍රියාමාර්ග නම් මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය මගින් එතරම් විනිවිධව කෙරෙන බවක් පෙනෙන්නට නැත. ඒ නිසා ඒ ගැන මහජනයා තුළ එතරම් විශ්වාසයක් ද නැත. මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම නුවරඑළියේ තේ වතු සේවකයන් ද හමුවිය. එහි දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබා ගැනීමට හැකිව ඇත. විශේෂයෙන්ම ඇස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ජාල සඳහා වන ඉලක්කකරණය, ප්‍රමාණවත්භාවය සහ නිසි ආවරණය ආදිය වැඩිදියුණු කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහ තුළින් දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම අවධාරණය කරයි.

ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම මෙවර සාකච්ඡා පැවැත්වීය. එසේම මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment