හිඟන්නන්ට කොහෙන්ද උණු බත් ෆ්‍රයිඩ් රයිස් මිස…

282

කය සොලවන නාඩි වැටෙන ඇසි පිය ගසන ජීවමාන යාචකාධාරක

පසුගිය දිනෙක කොළඹ නගරයේ ‘යාචකයින්’ යැයි කියාගන්නා පිරිස් වැටලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විණි. එම මෙහෙයුමෙන් පසු පොලිසිය සඳහන් කළේ අල්ලාගත් ‘යාචකයින්’ යැයි හඳුන්වා ගත් පිරිස් අතර සැබෑම යාචකයින් සිටියේ ඉතා සුළු පිරිසක් බවය. සැබෑ යාචකයින් සහ ‘රඟන යාචකයින්’ ගැන මීට පෙර බොහෝ අවස්ථාවල අපි මේ සමාජ විමර්ශන තීරුවෙන් කතාබස් කර ඇත්තෙමු. මේ ලිපියේ කියවෙන්නේ මේ කියන දෙවර්ගයටම අයත් යාචකයින් සුලබව සිය ‘සිඟන වෘත්තිය’ වෙනුවෙන් භාවිතා කරන උපක්‍රම හා විවිධ භාණ්ඩ පිළිබඳ කෙරෙන විවාදාත්මක හෙළිදරව්වකි.

ප්‍රොප්ස් (Props) කියා දෙයක් නාට්‍ය ක්ෂේත්‍රයේ තිබේ. ප්‍රොප්ස් යන්නෙහි ඍජු අර්ථය මුක්කු හෙවත් ආධාරක යන්නයි. තම රංගනය ඉදිරිපත් කිරීමට වේදිකාවට එන රංගන ශිල්පියාටත් මොනවා හෝ මුක්කුවක් ආධාරකයක් ඇත්නම් ඉන් මහත් ගැම්මක් මොරාල් එකක් එන බව මම අත්දැකීමෙන් දනිමි. මේ මුක්කුවලට නාට්‍ය ලෝකයේ කියන්නේ (ප්‍රොප්ස්) රංගාධාරක කියායි. රංගවස්ත්‍ර (Costumes) මෙන්ම මේ රංගාධාරකවලින්ද නාට්‍යයකට ගෙන දෙන්නේ වැඩි රහකි.

● ඩ්‍රාමා ප්‍රොප්ස් හෙවත් රංගාධාරක Props in Dramas

ජැක්සන් ඇන්තනී මධුර ජවනිකාවේ අනුලා සමග විරිදුව කියද්දී ගෙනා ප්‍රොප් එක රබානයි. එසේම “මෙතැනින් මාරුවෙද්දී” ඔහු අතට කිහිළිකරුවක් දී තිබුණි. සිංහබාහු දුනු ඊතල අතින් ගෙන ස්ටේජ් නැග්ගේය. ධර්මසිරි බණ්ඩාරනායක තම මකරාක්ෂයා නාට්‍යයේ මකරාගේ ඔළු පෙන්වනු පිණිස විශාල මුහුණු තුනක් ඉහළ සිට වේදිකාවට හෙළීය. එම ප්‍රොප්ස්වල නහය නිකට සහ කන් එවකට සිටි ජනාධිපති ජේ. ආර්ගේ නහය නිකටට සමානව තිබුණි. කුමරිය විසින් රජාට දුන් කොපුව සහ වැද්දාට දුන් කඩුව අපි හොඳින් දනිමු. හේමන්ත ප්‍රසාද්ගේ රෂෝමාන් නාට්‍යයේ වීරයාට ඇඳි සේනක විජේසිංහ සමුරායි කඩුවක් ස්ටේජ් එකට ගෙනාවේය. වේදිකාවේ රස්තියාදුකාරයා යයි නමක් පටබැඳි එම්. සෆීර් තම නිර්මාණවල ප්‍රොප්ස් හැටියට ගන්නේ අමුතුම දේවල්ය. ඔන්චිල්ලා ලණු පට විශාල තිර ඉන් කීපයකි. වරක් ඔහු වේදිකාවට තඩි පූසෙකු ගෙනාවේය. බෙකට්ගේ නාට්‍යයක ප්‍රොප් එකක් වශයෙන් බෙකට් විශාල කුණු බක්කියක් තබා තිබුණි.

● ඔප්පු කිරීමේ සාක්ෂි

සාක්ෂි මත පදනම් වූ ක්‍රමවේදයන් ( Evidence Based Methods) කියා දෙයක් අද ලොව පවතී බහුතරයක් පිළිගන්නේ මෙම න්‍යායයි. මෙයින් අදහස් කරන්නේ යමක් ඔප්පුකර හෝ ස්ථිරකර පෙන්වීමට නම් සාක්ෂියක් ඉදිරිපත් කළ යුතු බවයි. අධිකරණයක නඩුවක් ඔප්පු කිරීමට නම් නඩු භාණ්ඩ තිබිය යුතුය. මේ නඩු භාණ්ඩ නොහොත් සාකෂි යනු සමහරවිට ආයුධයක් හෝ උණ්ඩ කීපයකි. සමහරක් ඇසින් දුටු වාචික සාක්ෂිය. ඇඟිලි සලකුණු ලේ සලකුණු ඩී එන් ඒ රිපෝර්ට් සහ රස පරීක්ෂක වාර්තා ද මේ නඩු භාණ්ඩ කුලකයට වැටේ.

තමාට රෝගයක් ඇති බවට ලෙඩා පමණක් කීවාට මදිය. වෛද්‍යවරයකු ඒ බවට සනාථ කළ යුතුය. සුවය ගැන ද එසේමය. සුව වූ බවට වෛද්‍ය වාර්තා පෙන්වීම අවශ්‍යම කරුණකි. අද සමාජයේ මිනිසුන් අතරට යෑමේදී යන කාරණය සාර්ථක කරගැනීමට නම් ප්‍රොප් එකක් හෙවත් ආධාරක මුක්කුවක් අත්‍යවශ්‍ය වෙයි.

මහ මග මෙන්ම හතර වටේම හිඟාකන යාචකයන් මේ ප්‍රොප්ස් ගැන මනාව දනිති. ඔවුහුද තම හිඟනාධාරක :ඉැටටසබට Props) වශයෙන් විවිධ දේ යොදා ගනිති. ඇත්ත වශයෙන්ම බලන කල හිඟා කෑමද අද රංගනයෙකි. සමහර හිඟන්නෝ ජෝලාට ජැක්සන්ලාට කමල් අද්දරආරච්චිලාට වඩා දක්ෂ නළුවෝය. මේ නිසා සැබෑ යාචකයා කවුද බොරු යාචකයා කවුද කියා සොයන්නට යෑමේදී අපේ මොලයද කොලොප්පන් වෙයි. ඒ නිසා අද සිඟමන් දෙන බොහෝ දෙනා හරි කවුද වැරදි කවුද කියා හොයන්නට යන්නේ නැත. උන් මොනවා කරත් අපිට මොකද අපි දෙන්නේ හොඳ හිතෙන්නේ අපිට ඕනෑ පින් විතරනේ කියා හැමෝටම පිනට දෙති.

ආසියාතික මිනිසුන් යමක් කීවාට එය එක සැරෙන්ම පිළිගන්නේ නැත. ඔවුන් ඒ ගැන තාර්කිකව බලති. දෙතුන් වරක් සිතති. සාක්ෂි සොයති. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවට කතාවක් අපේ සංස්කෘතියේ තිබේ. ජේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට ගෝලයන් වෙත පැමිණි කල සමහර ගෝලයන් එය විශ්වාස කළේ නැත. විශේෂයෙන් එකටම සිටි තෝමස් නමැත්තා කියා සිටියේ ඒ බව ඔප්පු කරන්න කියායි. මළවුන්ගෙන් නැගිට එහි පැමිණ සිටි ජේසුස් ඔහුට යුද සෙබලුන් විසින් හෙල්ලෙන් ඇනීම නිසා තම ඇළයේ තිබූ තවමත් ලේ ගලන තුවාල සහ කුරුසියට තබා ඇණ ගැසීම නිසා දෙඅත්ලේ තිබූ හිල් පෙන්වූයේ ඒ නිසාය. ඒවාට ඇඟිල්ල ගසා බැලු තෝමස් කතාව පිළිගත්තේය. අප මේ කියන ජේසුස් සහ තෝමස් යන දෙදෙනාම මැද පෙරදිගින් බිහිවුණ ආසියාතිකයන්ය.

● යාචකාධාරක (Begging Props)

වර්තමාන සිඟන්නන් තම යාචකාධාරක වශයෙන් විවිධ දේ යොදාගන්නා බව අපි කලින් ද සඳහන් කළෙමු. මේ යාචකාධාරක විවිධ හැඩ සහ විවිධ ස්වරූප ගනී. සමහර ඒවා අපට සිතාගන්නට පවා අසීරුය. මේ හැම ප්‍රොප් එකක් තුළින්ම ඔවුන් උත්සාහ කරන්නේ මහජනයා වෙත තම අවශ්‍යතාවය සහ තත්ත්වයේ බරපතලකම පෙන්වා ඔවුන් දැනුවත් කර යම් ආධාර මුදලක් හෝ ද්‍රව්‍යයක් ලබා ගැනීමයි. සමහරවිට මේ තුළ රැවැට්ටීමක් ඇන්දවීමක් බොරුවක් තිබිය හැක. ඒවාට වීදි බසින් කියන්නේ මරිසියක් කිරිසියක් ලොන්තෙයක් මොත්තේයක් පානියක් දමා ගාණක් කපා ගන්නවා කියාය. මේවාගෙන් බේරෙන්නන්ට වඩා මේවාට අහුවන්නෝ අද බොහෝය.

යාචකයන් දැන් සිඟමන් යදිනවා කියන වචනයට එතරම් කැමති නැත. ඔවුන් ඒ සඳහා යොදන්නේ ජනාධාර හෝ මහජන ආධාර කියන යෙදුමයි.

● ලිඛිත සාක්ෂි (Documents)

ලිඛිත සාක්ෂි අරන් එන යාචකයන් බහුතරයක් නගින්නේ බස්වලට සහ කෝච්චිවලටයි. ඔවුන් ඒ සඳහා මගීන්ට ඉදිරිපත් කරන්නේ බොහෝ විට වෛද්‍ය වාර්තාවන්ය. ඒ අතර තමාට හෝ තමාගේ පවුලේ සමීපතයෙකුට පිළිකාවක් හෘද රෝගයක් පෙණහල්ලේ ලෙඩක් ඇති බවට වෛද්‍යවරුන් දුන් ලේඛන හෝ වාර්තා ඇත. සමහරුන් එය කල් පවතින අන්දමට ලැමිනේට් කර හෝ පොලිතින් කොළයකින් ආවරණය කර ඇත. කෙසේ ආරක්ෂා කරගන්නට උත්සාහ කරලත් වැඩිහරියක්ම මෙවැනි කොළ අතට දියවුණු දුර්වර්ණ වුණු ඉරුණු කල් ඉකුත්වුණු ඒවාය. වැඩිහරියක ඇත්තේ ව්‍යාජ වෛද්‍ය මුද්‍රාවන් බව බැලු බැල්මට පෙනෙයි. යාචකයා කතා කරන හැටියෙන් අංග චලනයෙන් හැසිරීම් රටාවෙන් ඔහු කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියා සමාජයේ ජීවත්වන මගියෙකුට නම් අවබෝධ කරගත හැක. ඉස්සර අපේ රේණුකා සහ ඉසෝරා දුව වගේ කෙනෙක් නම් දෙවරක් නොසිතා අතේ ඇති කාසියක් හෝ පොඩි නෝට්ටුවක් ඔහුට පූජා කරයි. ඒ සිතේ ඇති කරුණාව දයාව අනුකම්පාව නිසා මිස ඇන්දිලා නම් නොවන බව සමහර යාචකයන්ද දනී.

“මම ගොළුවෙකි…

මට බඩේ ලෙඩක් ඇත..

මගේ අම්මා පිළිකාවකින් පෙළේ.

මගේ නංගීට ඉස්කෝලේ යන්න මුදල් දෙන්න වැනි කරුණු ඇතුළත් කෙටි පණිවුඩයක් කොහේ හෝ ඇති කොමිනියුකේෂන් එකකට දී පරිගණකයෙන් පිටපතක් මුද්‍රණය කරගෙන ඒවා ලැමිනේට් කර මගීන්ගේ අතට දෙන උකුළ උඩට දාන යාචකයන්ද අනන්තය. සමහර මගීන් ඒවා කියවන්නේ තියා අතින් අල්ලන්නේවත් නැත. සමහරු ඒවායේ ඇති කිළිටි පෙනුම සහ විසබීජ තියෙන්නට හැකි නිසා අපුලයෙන් ඔරවති. පිළිකුලෙන් ඉවත් කරති. සමහරු නම් කීයකින් හරි ආධාර කරයි.

ලැමිනේට් කරන ලද පුංචි බබාලාගේ පින්තූර සුරතල් සතුන්ගේ සහ මල්වල රූප, බුද්ධ රූප, දේව රූප, බණ පද දේව වැකි යාච්ඥා සොලෝක වැනි දේද මෙසේ මගීන්ගේ උකුළට හෙළන ව්‍යාපාරික යාචකයන් එමටය.

අසරණ රෝගී දරුවාට උපකාර පිණිස ටිකට් පතක් ගන්නැයි කියමින් දරුවන්ගේ රූප පෙන්වමින් ටිකට් විකුණන අයද බස්වලට නගිති. මොවුන් ඇත්ත කියනවාද බොරු කරනවාද කියා සොයා ගැනීම ඉතා අපහසු කරුණකි. ප්‍රතිකාර සඳහා ලක්ෂ ගාණක මුදල් අවශ්‍ය නිසා ඇත්තටම ඒ රෝගී දරුවන් වෙනුවෙන් කොන්තරාත්තු ක්‍රමයට කොමිස් එකකට ටිකට් විකුණන කණ්ඩායම් කීපයක්ද රට වටා සැරිසරණ බව මම දනිමි.

කෙසේ වෙතත් අප රටේ සිටින යාචකයන්ගෙන් වැඩි පිරිසක් හෙරොයින්, අයිස්, ගංජා පෙති වර්ග සහ මත්පැන්වලට ඇබ්බැහිවූවන් බව අප කාටත් නොරහසකි.

● ලාබ බඩු යාචකයෝ

සමහර යාචකයන් බස්වලට දුම්රියට නගින්නේ කිසිම වටිනාකමක් අවශ්‍යතාවයක් නැති ද්‍රව්‍යක් විකුණන මුවාවෙනි. කල් ඉකුත් වුණු කිසිම සුවඳක් නැති හඳුන්කූරු පැකට් කීපයක් දියවෙමින් යන කපුරු බෝල දැමූ කුඩා පොලිතින් උර වැලක් පහන් තිර පැකට් කීපයක් ස්ටිකර් මිටියක් වැනි දෙයක් මගියාගේ ඇඟේ ගසා ඔවුන් හදන්නේ ඒවා විකිණීමට වඩා පිනට ගාණක් කඩා ගැනීමටයි. මෙවැනි හඳුන්කූරු, කපුරු බෝල සහ ස්ටිකර්වල මිල එතරම් වැඩි නැති නිසාත් පිටකොටුවේ ඒවාටම සුවිශේෂිත කඩවල තොග වශයෙන් මේවා අඩු මිලට ලබා ගත හැකි නිසාත් මෙවැනි දෙයට හිඟන්නෝ වැඩි කැමැත්තක් දක්වති. බස්වල දුම්රියවල පමණක් නොව සුපිරි වෙළෙඳසල්හි කාර් පාර්ක්වල මහ මග දෙපස ද ජනාකීර්ණ උද්‍යාන සහ මුහුදු වෙරළවල් අවටත් පන්සල් පල්ලි වැනි පූජා භූමි අවටත් බස් නැවතුම්පළවලත් මෙවැනි අඩු මිල බඩු යාචකයෝ ගැවසෙති. පිටකොටුවේ තොග කඩවල යාචකයන් සඳහා අඩු මිලට නිකුත් කරන බඩු පැකේජ් ඇත. ඒවාට කියන්නේ “සිඟනපැක්” කියායි.

● ලෙඩ බොඩි හිඟන්නෝ

දොස්තර සහතික රෝග නිශ්චය තුණ්ඩු බෙහෙත් නියම කළ තුණ්ඩු වැනි (prescriptions) ලිඛිත සාක්ෂි නොපෙන්නුවත් තමාට ඇති රෝගය ලයිව් එසැනින් ජීවමානව පෙන්වා කීයක් හරි ඉල්ලන යාචකයන්ද අද හරි සුලබව දකින්නට ලැබේ. ඒ අනුව අත පය නැති යාචකයන්, ඇඟ පුරා දද කුෂ්ට ඇති යාචකයන්, හතරට පහට අත පය කඩා ගත් යාචකයන්, බඩේ කටේ පෙණහල්ලේ පිළිකා ඇති යයි කියන ඒවා මතු කර පෙන්වන යාචකයන් අද අනන්තය.

ටවුන් හෝල් එකෙන් උදේට 138 බස් එකේ නගින ඊට පසු දවස පුරා විවිධ බස්වලට නැග නගරය පුරා ගමන් කරමින් සිඟා කන අත් දෙකම වැලමිට ගාවින් නැති කළු පුතා දවසකට හොඳ ගාණක් හොයයි. ඔහු කියන පරිදි ඔහුගේ දෑත් අහිමි වුණේ කෝච්චියට හසුවීමෙනි. නමුත් ඇත්ත කතාව ඊට වෙනස්ය. කළු පුතා තම මවට පහර දීම නිසා ඇය බිම වැටී මියගොස් ඇත. මෙයින් උරණ වූ ඔහුගේ සහෝදරයකු කළු පුතාගේ දකුණු අත වෙන් වෙන්නට කපා දැමීය. ඊට අවුරුදු කීපයකට පසු කළු පුතා කර ඇත්තේ කොම්පඤ්ඤ වීදියේ රේල් පාර අයිනේ බිම නිදාගෙන ඈතින් ආ කෝච්චියට තමාගේ අනිත් අතත් බිලි දීමයි. ඒ අන් කිසිවක් නිසා නොව තමාට මත් කුඩු මිලදී ගැනීම සඳහා මුදල් හොයා ගන්නට ඇති හොඳම ආදායම් මාර්ගය අත් කොට දෙක පෙන්වා සිඟමන් යැදීම බව ඔහුට තේරුණ නිසයි. දැන් දවසකට විසි දාහකට වඩා හොයන කළු පුතාට මත් කුඩු රත් කර පෙවීමට බටය සහ ගිනිකූර ඇල්ලීමට පමණක් නොව නෑවීමට හිස මසාජ් කිරීමට මෙන්ම වැසිකිළි ගිය පසු පශ්චාත් භාගය සේදීමටත් අතවැසියන් දැසි දස්සන් බොහෝය. ඔහු ෆාතිමා නමැති තරුණිය තම අඹුව ලෙස තියාගෙන සිටින්නේ කායික ආසාවන් සන්තර්පනය කිරීමට නොව රෑට කඩෙන් අරන් එන කොත්තුව හෝ රයිස් එක අනා කවා ගැනීමටය. පාතිමා ඇතුළු කළු පුතාට බැලමෙහෙවර කරන අනිත් සියල්ලෝම තදබල ලෙස හෙරොයින් මත් කුඩට ඇබ්බැහිවූ කොඳු කඩා ගත් ඔළ මොළ සිඳවාගත් අමනයෝය.

පිළිකාවක් නිසා තම පියයුරක් ඉවත් කළ බව කියා හැට්ටය විවර කොට ප්ලාස්ටර්වලින් වසා ඇති එම පියයුර මගීන්ට නිරාවරණය කර සිඟමන් යදින තරුණ ගැහැනුන් දෙදෙනෙකු මම දනිමි. එකියක් කොලොන්නාවේ සුදු බේබිය. අනිකිය ගාල්ලෙන් කොළඹ ඇවිත් දැන් නාරාහේන්පිට ලෑලි කාමරයක් කුලියට අරන් මහ මග ගැවසෙන පූපාය. ඔවුන් ඉතා කෙසඟ මස් දියවුණු ගැහැනුන් නිසා ලැම සහ පපු පෙදෙස් ලෑලි මෙන් පැතලිය. පිරිමියෙකුගේ සිත් වශී කරන පුන් පියයුරු ඔවුන්ට නැත. එහෙත් හැට්ටයේ බාගයක් විවර කොට ලෑලි පියයුරු මතින් අලවා ඇති බැන්ඩේජ් ප්ලාස්ටරයට යටින් යන්තම් පේන ලොට තන් දෙක දිහා නෙතගින් බලා ලොකු මුදල් නෝට්ටු පිරිනමන පිරිමින් ද මං දැක ඇත.

හිඟන්නාගේ තුවාලය ගැන පොඩි කාලයේදීම අසා ඇතත් ලේ පෙරෙන ඕජස් ගලන ගඳ ගහන තුවාල ඇති යාචකයන් මා අනන්ත දැක ඇතත් නිතර ලේ කාන්දු වන බලාගෙන සිටින විට රුධිර පැල්ලම ලොකු වෙන අලුත් ලේ සුවඳ නිතර හමන අමුතුම තාලයේ තුවාලයක් මං දැක්කේ එරාන්ගේ නළල් තලයේ තිබිද්දීය. එරාන් කරන්නේ හරක් මස් කඩේකට ගොස් අලුත් හරක් පීකුදු කෑල්ලක් හෝ කුඩා ඇලදිව කෑල්ලක් ඉල්ලාගෙන එය ගෝස් හෝ පුලුන් කෑල්ලක ඔතා නළල මත තියා ඒ වටේ බැන්ඩේජ් එතීමයි. සමහරදාට එවන් තුවාල කීපයක් ඔහු තම සිරුරේ තනා ගනී. මුලින්ම ඔහු මෙසේ කළේ ඇක්සිඩන්ට් එකක් වුණා බෙහෙත් දාන්ඩ ඕනි කියා තම මව රවටා මුදල් ගැනීමට මුත් පසුකාලෙක මහජනයා වෙත ගොස් මුදල් ඉල්ලා ගැනීමටද පුරුදු විය.

● ජීවමාන හිඟනාධාරක හෙවත් ලිවිං ප්‍රොප්ස්

අවසාන වශයෙන් අප කතා කරන්නේ ඇසි පිය ගසන නාඩි වැටෙන කය චලනය වෙන ජීවමාන යාචකාධාර පිළිබඳවයි. හිඟාකෑම සඳහා යාචකයන් ප්‍රධාන ආධාරකයක් මුක්කුවක් ලෙස අද අවභාවිත කරන්නේ කුඩා දරුවන්ය. සමහර විට ඇත්තටම අසනීප වුණු තමන්ගේම දරුවන්ය නැතහොත් අසනීප වුණු වෙනත් කාගේ හෝ දරුවෙකි. එසේත් නැත්නම් කිසිම අසනීපයක් නැති එහෙත් කිසියම් මත්ද්‍රව්‍යයක් වැනි දෙයක් පොවා කෘතිම අසනීප තත්ත්වයක් ඇති කළ කාගෙන් හෝ තාවකාලිකව ඉල්ලා ගත් හෝ කුලියට ගත් නොදරුවෙකි.

හිඟා කෑම සඳහා කුඩා දරුවන්ව කුලියට දෙන නරුමයන් සහ එවැනි පිරිස් කීපයක් ගැන අපට ඉව වැටුණු නිසා අපි ඉන් එක් පිරිසක් සොයා ගියෙමු. ඒ කොළඹ කෙළවරේ එක්තරා ජනාකීර්ණ වත්තකටයි. ඒ ඇත්තටම වත්තක් නොව මිහිපිට අපායකි. අවශ්‍ය පුද්ගලයා සොයා මට ගමන් කරන්නට සිදුවුණේ දුර්ගන්ධය හමන කුණු වතුර හතර අතේ ගලා යන ඒකටම අසූචි වළකින් මල මුත්‍රා එකතු වන කාණුවක් මැදිනි. හොරි හැදුනු බල්ලන් රංචුවක් විසින් මාව වටකර ගත් අතර බලු බාසාව සහ බලු ඇවැසිතා මදක් දන්නා නිසා උන්ගෙන් මිදෙන්නට මට හැකි විය.

නිරුවත් සහ වැරහැළි ඇඳගත් කුණු පෙරා ගත් මන්ද පෝෂණයෙන් පෙලෙන දරුවන් තැන් තැන් වලය. බ්‍රැසියරයේ පටිය පෙනෙනසේ දියරෙද්දක් ඇඳගත් ගෑණු දෙන්නෙක් පයිප්පයක් ළඟ අමු කුණුහරුපයෙන් බැණ ගනී. ඒ මේ අත වැනෙමින් පාවෙන්නේ පිරිමින් නොව ඇවිදින ඇටසැකිලිය. උන් සොම්බිලා මෙනි. ගංජා දුම් සුවඳ හැම පැත්තෙන්ම නැගුණත් මේ වත්තෙන් එන අසූචි ගඳ කුණු කාණු ගඳ පිළුණු ආහාර ගඳ මකන්නට ඒවාට බැරිය.

දරුවන් කුලියට දෙන ජඩයාගේ බිරිඳ සමග බොරු සීයක් පමණ කියා අමාරුවෙන් යාළුවී ඇගෙන් අප දැනගත් කරුණු මේවාය.

● බොහෝවිට මෙසේ කුලියට දෙන්නේ දෙමාපියන් නැති හෝ විදේශගත වුණු අයගේ දරුවන්ය.

● සමහර ළමුන්ගේ මව, පියා හෝ දෙදෙනාම සිරගතව ඇත. ඒ මත්ද්‍රව්‍ය භාවිතය නිසා හෝ ඒ ආශ්‍රීත චෝදනා නිසාය.

● නාඳුනන අයෙක් සමග මුලින්ම හිඟමනේ යෑමට දරුවන් අකමැති වුවත් දින කීපයක් යද්දී දරුවන් එයට හුරුවෙයි.

● ඒ රසකැවිලි ටොපි චොකලට් බුරියානි වැනි කෑමත් තෑගි බෝගත් ලැබෙන නිසාය.

● අකමැති දරුවන් කැමති කරගන්නේ තරවටුවෙන් හෝ සිහිමද කරන මත් පෙති හෝ කරල් බොන්නට දීමෙනි. තාම කිරි බොන වයසේ අතදරුවන්ට මේ මත් පෙති පොවන්නේ සුදු කිරි සමග මුසු කර බෝතලයක හෝ සූප්පුවක ආධාරයෙනි.

● කුඩු උරණ අම්මලා කීදෙනෙකු තම දරුවන්ව කැමැත්තෙන්ම යාචකයන්ට බාර දෙන අතර දවසකට රුපියල් දෙදාහේ සිට පන්දාහ දක්වා කුලියක් අය කරයි.

● උදේ හත වෙනකොට දරුවන් රැගෙන යා හැකි අතර රෑ බෝවිමට පෙර යළි රෑගෙනවිත් තැරැව්කරුට මුදල් සමගින් බාර දිය යුතුය.

● ළමයින්ට තාඩන පීඩන කරන්නටත් ලිංගික අතවර කරන්නටත් තහනම් වෙයි.

තව කරුණු බොහෝය. ඒවා කියන විට අසන විට අපට නැගෙන්නේ තද කෝපයකි. ඒ මෙවන් ජඩ වැඩ කරන අධමයන් සමග පමණක් නොවේ. රටේ නායකයන් දරුවන් වෙනුවෙන් වැඩකරන රාජ්‍ය දෙපාර්තමේන්තු මණ්ඩල සහ රජයේ නොවන සංවිධාන ළමා හිමිකම් සංවිධාන ගැන ඇතිවන්නේද තරහකි. පිළිකුළකි. ළමයින්ට කරන වැඩ නොවළක්වන උන්ට සහගහනු ඇත.

“මේවා ගැන මේ පැත්තේ ඉන්න ලොකු මිනිස්සු නීතිය කරවන අය දන්නෙ නැද්ද?”

මම මට ඒ නරුමයන්ව පෙන්වූ වත්තේ මයිකල් ගෙන් ඇසීමි.

මොකැ නොදන්නේ මහත්තයො… හිඟාකන්න බස්වලට නගින උන්ගෙන් බස් කාරයො තමයි ඉස්සෙල්ලම ජරාව කන්නේ. ජරාව දුන්නෙ නැත්නම් බස්වල හිඟාකන රස්සාව කරන්න බෑ. අනික කුඩු විකුණන ජාවාරම් කාරයන්ගෙන් ජරාව කන පොලිස් කාරයෝ ළමයි පෙන්නල හිඟා කාල උන්ගෙන් ජරාව නොකා ඉඳීද?

අනේ නිකා ඉන්න මහත්තයො මගෙ කට අවුස්සගන්නේ නැතුව. වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අවනඩුව කියන කියමන මට සිහිවිය.

මේ මොහොතේ යාචකයින් සෑහෙන තරමේ “ගතමනාවක්” දෛනිකව උපයන අතර ඉන් බොහෝමයක් වැයවන්නේ සුපිරි කෑම බීම වලටත්, මත්ද්‍රව්‍යවලටත්, මත්පැන්වලටත් බව අමුතුවෙන් කිවයුතු නැත.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment