මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

154

දුප්පත්කම

සුදාගේ සැලුන් එකට ගිය වෙලාවේ කීප දෙනෙක් බර කතාවක:

“හතරවරං ගැහුවත් ජීවත් වෙන්න පුළුවන් ගතමනාවක් හොයාගන්න බෑ බං,” එකෙක් කියනවා. “දැන් ඉතිං ඉතුරු වෙලා තියෙන්නෙ කුඩු බිස්නස් විතරයි!” ඒ, අනෙකාගේ උත්තරේ. “මොනර කොළ ලැබෙනවා නම් මොන රස්සාව කළත් මොකෝ!” තවත් කතාවක්. “මොනර කොළවලට කරන්න හැකි කෙහෙම්මලක් නෑ බං. ඔන්න කහපාට කොළ ලැබෙනවා නම් මොන දේ කළත් කමක් නෑ!”

මං කට්ටියට බාධා කළේ නෑ. මගේ උත්තරේත් වැඩි වෙනසක් නැති හින්දා. මං සුදාගෙන් කොණ්ඩෙ විතරක් කපාගෙන ගෙදර ආවා. ගෙදර ආවත් මට කල්පනා වුණේ හන්දියේ කතාබහ. ඇත්තටම දිළිඳුකම තරම් මිනිහෙක් වැටෙන්න පුළුවන් තවත් අඩියක් නෑ ලෝකෙ. මට එතකොට හිතුණෙ කොහොමද මං දිළින්දෙක් වුණේ කියල. හැබෑට මං කොහොමද දුප්පතෙක් වුණේ? මං ඉපදුණේම දුප්පත් වෙලා තමයි, ආයේ අමුතුවෙන් දුප්පතෙක් වෙන්න දෙයක් නෑ කියල එතකොට මට මතක් වුණා. ඒත් හිත හිතා ගිහින් මගේ දුප්පත්කමේ කතාව අන්තිමේ විතැන් වුණේ මගේ රස්සාව පිළිබඳ කාරණයට. බිරින්දෑ කියන්නෙ මං හරි රස්සාව කාලයක් කළා, ඒත් පස්සෙ ඒ රස්සාව අත්හැරියා කියල. මං කලින් ගුරු වෘත්තිය කළා තමයි. ඒත් මං ඒක අත්හැරියෙ මගෙ කැමත්තක් නොතිබුණු හින්දා ඒකට. එහෙනම් මං කැමති රස්සාව මොකක්ද? ඇත්තටම මං කැමති රස්සාවක් ලෝකෙ නෑ. මං කැමති රස්සාවක් තියෙනවා. ඒ තමයි මොනවත් නොකර නිකන් ඉන්න එක. රැකියා විරහිතයෙක් විධියට ඉන්න එක. දැන් අපේ රටේ රැකියා විරහිත උපාධිධාරියො ඉන්නවා. ලක්ෂ ගාණක් ඉන්නවා. මං රැකියා නැතුව ඉන්න එක සලකන්නෙ උතුම් රස්සාවක් විධියට. ඒත් මං කියන දේ මිනිස්සු පිළිගන්නෙ නෑ. රැකියා විරහිත උපාධිධාරියො පිළිගන්නෙත් නෑ. ගෙදර පවුල මං කියන කිසිවක් පිළිගන්නෙ නෑ. මං මගේ අදහස් කියන්න හඬ ඔසොවද්දි පවුලෙන් ලැබෙන උත්තර දිහා බැලුවාම මට හිතෙන්නෙ රස්සාව විතරක් නෙවෙයි, මට පරස්තාවක් වැරදිලා කියල. ඒත් වැරදුණු තැන් දැන් නිවැරදි කරන්න බෑ. ගිය හකුරට අඬලා වැඩක් නෑ. තියෙන හකුර රැකගැනීමයි වැදගත්. තව හකුරු තියෙනවාද ගෙයි ඇතුළෙ? හකුරු තියා සීනිවත් ගෙයි අහලක නෑ. සීනි තියෙනවා කඩේ. ඒත් බදු ගහලා හින්දා සීනි කන්න බෑ. සීනිවලට ආදේශක නැද්ද? අර තියෙන්නෙ නියඟලා. කන තරමට රහයි. නෙල්ලි වගේ. ඒක තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ කන්න.

මං දුප්පතෙක් වුණු එකට මං කාටවත් දොස් කියන්නෙ නෑ. කටුටො, මයිනො ඒකට පලි නෑ. ඒකට පලි මංමයි. මං ගුරුකම අත්හැරියා. ඒක මගේ තීරණයක්. මට ඕන වුණේ ලෝකෙ සැබෑ පිංතූරය දකින්න. ඒකට නිකන් ඉන්න ඕන වුණා. ඒත් ඊළඟට තව ප්‍රශ්නයක් ආවා. සැබෑ පිංතූරය දැක දැක නිකන් ඉන්න බෑ. මට ඕන වුණා දකින දේ ලියන්න. මං පත්තරේකට ගියා. පත්තරේකට ගිහින් ටික දවසයි වැඩ කළේ. මට තේරුණා මං ලියන්නෙ මගේ අදහස් නෙවෙයි, අනුන්ගේ ඇණවුම් කියල. මං පත්තරේට සමුදුන්නා. ඊළඟට ප්‍රකාශකයෙක් ළඟට ගියා. එතනත් වැඩි දොහක් ඉන්න ලැබුණෙ නෑ. ප්‍රකාශකයා ඉල්ලන දේ මිස වෙන දෙයක් කරන්න බැරි බව තේරුම් ගියා. විශේෂයෙන් කර්තෘභාග සහ මුද්‍රණ අංක වංචාව මට කරන්න පුළුවන් වුණේ නෑ. නෑ, ඒවා කළා මං. ඒත් කළා කියල මට ලැබුණු ගතමනාවක් නෑ. අන්තිමට ප්‍රකාශකයාට ආයුබෝවන් කියල මං ලේඛකයෙක් ළඟ වැඩට ගියා. මට හිතුණා ප්‍රකාශකයො මොනවා වුණත් ලේඛකයො හොඳ මිනිස්සු කියල. සාහිත්‍යයට හොඳ යමක් දෙන්න යම් පමණකින් දායක වෙන්න මටත් පුළුවන් කියල. ඒත් ඒකත් බොරුවක් බව පස්සෙ වැටහුණා. ඉතිං මං මහගත්කරුවාට සමුදීලා ගෙදර ආවා. ඒත් ඒ එනකොට ගෙදර, එකා දෙන්නා වෙලා. දෙන්නා තුන් දෙනා වෙලා. තුන් දෙනා හතර දෙනෙකුත් වෙන්න මඟ බලාගෙන. මං ඉවර වුණා. මං දිළින්දෙක් වෙලා ඊළඟට හිඟන්නෙක් වුණා.

හැබැයි දැනුත් මං රස්සාවක් සොයනවා. දැන් මං ඉස්සර වගේ ප්‍රතිපත්ති පුරන්නෙ නෑ. පුවත්පත් කලා ආචාරධර්ම හෝ සිංහල නවකතාවේ ප්‍රකාශක උත්තමාචාර සොයන්නෙ නෑ. ඒ සියලු දේ පහුගිය ආර්ථික ගරාවැටීමත් එක්ක ගරාවැටිලා ගියා. දැන් මට තියෙන එකම ප්‍රතිපත්තිය හෝ ආචාරධර්මය ඉල්ලන දේ ලිවීම. ඉල්ලන්නේ ලේද එහෙනම් ගනිව් බොලෟ ඉල්ලුම – සැපයුම න්‍යායෙදි මට මයිනා – කපුටාත් එකයි, ටෙලිපෝන් – අලි – ගන්ටාරත් එකයි. කවුරුහරි කොටි කොඩිය අරගෙන ආවොත් මං ඒකත් උස්සනවා. හොඳ වෙලාවට මේ දවස්වල එන්ජීඕ නඩ හාන්සියි. ඒත් සල්ලි හින්දා. මේත් සල්ලි හින්දා.

ගෙයක් දොරක් හදාගැනීම ගැනත් මගෙ ඉස්සර හීනයක් තිබුණා. ඒකත් පහුගියදා වැටුණු ගේත් එක්ක වැටිලා ගියා. බස්මාමාට කියල ගෙයක් අරගන්නත් මගෙ කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒත් මට සැබෑ කරගන්න එක හීනයක් තියෙනවා. ඒ තමයි ෂම්මි මහත්තයා හරි ධර්මෙ මහත්තයා හරි හම්බෙලා වර්ල්ඩ් කප් එක බලන්න ටිකට් එකක් ඉල්ලගන්න එක. දැනටම මං පමා වැඩියි. හැබැයි වර්ල්ඩ් කප් එක බලනවා කිව්වෙ මැච් එක බලන එක නෙවෙයි, කුසලානය බලන එක. මැච් බලපු කාලෙ ඉවරයි. දැන් බලන්නෙ කප්. ඉන්දියාව අපේ අල්ලපු රට වුණත් මට කප් එක බලන්න එහෙ යන්න සල්ලි නෑ. අනෙක, සමහර විට ඒ දෙන්නා හම්බුණොත් කනිපින්දන් ගහලා මට ඉස්පිරිතාලෙක හරි රස්සාවක් සොයාගන්න බැරිකමක් නෑ. මොනවා වුණත් ඔවුන් දෙන්නාම අවංක පුද්ගලයො. පුළුවන් නම් පුළුවන් කියයි. බැරි නම් බෑයි කියයි. අර නිළියො ඔස්ටේ්‍රලියාවේ ගියේ ක්‍රිකට් එකේ සල්ලිවලින් නෙවෙයි කියල දෙන්නාම කිව්වානෙ. ඒ තරම් සත්‍යගරුකයි දෙන්නා.

දුප්පත්කම ගැන අපි ඕනවට වඩා කලබල වෙලාද කියලත් මට හිතෙනවා. කලබල වෙන්න එපා. කලබල වෙන කාලෙ තවම ආවේ නැහැ. කලබල කාලෙ එන්නෙ ණය ගෙවන්න පටන්ගන්න කාලෙ. මේ අපි ණයවලින් එල්ලෙ ගහන කාලෙ. සවුදිය පුරන්න ඕන කාලෙක කඳුළු වගුරන්න එපා. හැබැයි ඉතිං අපි ණය ගෙවන්න ගනීද කියලත් මට සැකයි. දෙයක් අරගත්තාට පස්සෙ ඒක දෙන්න ඕන කියල හිතන ජාතියෙ මිනිස්සු නෙවෙයිනෙ අපි. මොනවා වුණත් දුප්පත්කම අපි ලොකුවට ගණන් ගන්න නරකයි. දැන් ඉන්දියාව ගන්න. ඉන්දියාව දුප්පත්. ඒ වගේම පොහොසත්. අපායත් තියෙනවා. සුරපුරත් තියෙනවා. අපිටත් බැරිද ඉන්දියාව වගේ නිර්භීතව ඉදිරියට යන්න? සමහර විට එහෙම ගියොත් අපට පුළුවන් ඉන්දියාව ඉර ළඟට යවපු රොකට් එක ඉර ඇතුළටම යවන්න.

දිළිඳුකම කියන එක අපි සුබවාදීව ගන්න ඕන. අසුබයි, කරන්න බෑයි කියල දෙයක් ලෝකෙ නෑ. එහෙම වුණොත් අපට මොනවත් කරන්න බෑ. දැන් ත්‍රෛයිලෝක විජය පත්තර අපට පුළුවන් ආණ්ඩුවේ මුදලින් අච්චු ගහලා ලෝකෙට බෙදන්න. නයිට් ක්ලබ්, කැසිනෝ, අරක මේක ගෙනල්ලා රාත්‍රී ආර්ථිකයක් ඇති කරන්නත් පුළුවන්. ඕන නම් සුද්ද සිංහලෙන් දෙකක් කියල කලිසම ගලවලා දාන්නත් පුළුවන්. ගෑනු වුණත් මන්තිරිලා වුණත් අයිආර්සී වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපට පුළුවන් දිළිඳුකමෙන් ගැළවෙන්න. දිළිඳුකම කියන්නෙ වෙස් වළාගත් ආශිර්වාදයක්. ඒ ආශීර්වාදයෙන් ඵල නෙළා ගන්න පුළුවන් සුපිරි බඩු ටිකක් අපි කවුන්සිලේට යවලා තියෙනවා. ඔවුන් හිතන්නෙම අපි මේ මොහොතේ වේල පිරිමහ ගන්නෙ කොහොමද කියල. ඒත් එකක් කියන්නම්. අපි වෙනුවෙන් ඔවුන් මොන දේ කළත් මං ඔවුන් ළඟට රස්සා හොයාගෙන නම් යන්නෙ නෑ. මට ප්‍රතිපත්ති නෑ. ඒක හැබැයි. ඒත් මට තවම හෘදසාක්ෂියක් තියෙනවා. මගේ හෘදසාක්ෂිය මේ මොහොතේ මට කියන්නෙ දැන් ජීවත් වුණා ඇති කියල. තවත් ජීවත් වෙන්න ඉඩක් මෙහෙ නෑ කියල. වෙන රටක තියෙන්න පුළුවන්. ඒත් එහෙම රටකට යන්නත් මට වීසා ලැබෙන්නෙ නෑ. වීසා ගන්න පුළුවන් මිනිස්සු ඕන තරම් ගත්තාට පොඩි මිනිහාට ලැබෙන්නෙ රට යන වීසා නෙවෙයි, පරලොව යන වීසා විතරයි. ඉතිං මං බලා ඉන්නවා, අනිච්චාවත සංඛාරා!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment