කෝච්චි නෑ… බස් නෑ… මරුවා අතේ අරන් වැඩට යන අපේ මිනිස්සු…\

461

ඉන්දියාව නොවේ මේ ශ්‍රී ලංකාවේ…

වර්ජනයෙන් දුම්රියත් අඩපණ වෙයි කාර්යාල දුම්රිය 50න් ඊයේ ධාවනය වුණේ 21යි

ඡායාරූපය – අසංක ආටිගල මුහුණු පොත

කෝච්චි නෑ... බස් නෑ... මරුවා අතේ අරන් වැඩට යන අපේ මිනිස්සු...\

ඡායාරූපය – බණ්ඩාරගම ආර්. එස්. ප්‍රේමතිලක


දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 50න් ඊයේ (06දා) ධාවනය වුණේ 21ක් පමණි.

 මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 07ක්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ 07ක්, කැලණිවැලි දුම්රිය මාර්ගයේ 03ක් සහ හලාවත දුම්රිය මාර්ගයේ 04ක් ලෙස දුම්රිය ධාවනය වී තිබේ. දුම්රිය ස්ථාන කිහිපයකම මහජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා දුම්රිය ස්ථානවල ආරක්‍ෂාවට ඊයේ (06 දා) සිට පොලිසිය හා හමුදාව යෙදවීමට ද කටයුතු කර තිබිණි.

 සේවයට වාර්තා කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනාගාර සේවකයන් විසින් දුම්රිය ස්ථාන වෙත දුම්රිය මුදා නොහැරීම නිසා පෙරේදා (05 වැනිදා) පස්වරුවේ කාර්යාල දුම්රිය හා දුර ගමන් සේවා දුම්රිය

 රැසක් අත්හිටුවා තිබිණි. මේ හේතුවෙන් දුම්රිය ස්ථානවල මගීන් අතරේ නොසන්සුන්තා ඇති විය.

 දුම්රිය ස්ථානවල හටගත් තත්ත්වයන් පාලනය කිරීමට නොහැකි බව පවසමින් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානාධිපතිවරු පෙරේදා පස්වරුවේ සිට සිය සේවාවෙන් ඉවත් වූහ. දුම්රිය පාලනාධිකාරිය සමග පැවැති සාකච්ඡාවකින් පසු පෙරේදා රාත්‍රියේ එම වර්ජනය අවසන් කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්, යළි ඊයේ (06 වැනිදා) උදේ සිට වර්ජනය අරඹා තිබිණි.

 මේ ගැන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතාගෙන් විමසූවිට මෙසේ පැවසීය.

 පානදුර දුම්රිය ස්ථානයේ කනගාටුදායක සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. මගීන්ගේ පහරදීමකින් දුම්රිය ප්‍රවේශපත්‍ර කවුළුවට හානි සිදුවෙලා. දුම්රිය ස්ථානාධිපතිවරුන් බේරා ගන්න පොලිසියේ සහාය ගන්න සිදුවුණා. මෙවැනිම තත්ත්වයක් සිදුවෙන්න ආවා කොටුව දුම්රිය ස්ථානයේත්. කොටුව, මරදාන, රාගම, කොල්ලුපිටිය සහ පානදුර දුම්රිය ස්ථානවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්‍ෂාව පතා මේ මොහොතේ ඉවත්කර තිබෙනවා. අපි හමුදා ආරක්‍ෂාව ඉල්ලා තිබෙනවා. ජනතාව පීඩාවකින් ඉන්නේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක. දුම්රියක් නැති වුණාම ඔවුන්ගේ පීඩාව පුපුරා යන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හරහායි.

 දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

 කාර්යාලයීය දුම්රිය 48ක් 50ක් විතර ධාවනය වෙන්නෙ ඕනෑ. ඒකෙන් අද කාර්යාල දුම්රිය 25ක් පමණයි ධාවනය වුණේ. රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, අලුත්ගම, ගාල්ල, වැනි දුම්රිය ස්ථානවලින් එන්න තිබූ දුම්රියත් අවලංගු වෙලා තිබුණා.

 නමුත් ආසන වෙන් කළ දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වූ බව ද හෙතෙම කීය.

 කෙසේ වෙතත්, අවම දුම්රිය ප්‍රමාණයක් ධාවනය වීම හේතුවෙන් දුම්රිය මගීන්ගේ ආරක්‍ෂාව දැඩි අවදානමකට ලක්ව තිබෙනු දැකගත හැකි විය. බොහෝ දුම්රිය මගීන් දුම්රිය වහලය මත, එන්ජිම දෙපස, පාපුවරුවල දැඩි අවදානම් සහගතව ගමන් කරනු දැකගත හැකි විය.

 කීයක් හරි හොයා ගන්නනේ මිනිසුන් යන්නේ. නොගියොත් එහෙම ඒ පඩියත් නැහැනේ. ආණ්ඩුවට අපේ දුක තේරෙන්නේ නැහැ. වැඩට ගියේ නැත්නම් ළමයි බඩගින්නේ. සෞභාග්‍යයේ දැක්ම දෝරේ ගලනවා පේනවනේ යැයි දුම්රිය මගීහු කීහ.

 තත්ත්වය බොහොම කනගාටුයි. අපිට රස්සාවට යන්න විදිහක් නැහැ කෝච්චි නැහැ. බස් නැහැ. උයා ගන්න ගෑස් නැහැ. භූමිතෙල් නැහැ. අපි බොහොම දුකෙන් ජීවත් වෙන්නේ. අද කෝච්චියේ කොළඹට ආ සියලු දෙනා අතරමංවෙලා ඉන්නේ. රටේ කිසිම පාලනයක් නැහැ. කෝච්චි යන එන වෙලාවක් කියන්න බැහැ කියනවා. ජනතාව හැම අතින්ම අසරණ කරලයි තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දුවන දුම්රිය ටිකවත් දුවාගන්න බැහැ. තමන්ට ඕන වෙලාවට කෝච්චි දැන් එන්නේ යැයි මගීහු එහිදී කීය.

 චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, අකිත පෙරේරා

 පින්තූරය – පින්සිරි ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment